සුන්දර බව සුරැකෙන කන්විදීම

174

සුන්දර වූ කාන්තාවන් තවදුරටත් අලංකාරවත් වීම සඳහා ආභරණ පැළදීම සිදු කෙරේ. ස්වභාවිකවම ආභරණ පැළඳිය හැකි ලෙස නිර්මාණය වී ඇති නළල, බෙල්ල, අත් සහ පාද සඳහා ඔවූහු ඊට අනුරූපව ආභරණ පළඳිති. එහෙත් කන, නහය, පෙකණිය වැනි ස්ථානවල ස්වභාවිකව ආභරණ රැඳවීමට නොහැකි බැවින් උපක්‍රමශීලීව ඒවා පැළඳීම සඳහා හම හෝ කාටිලේජ සිදුරු කිරිම සිදු කරයි. කන්විදීම යනු මෙම උපක්‍රමවලින් එකකි.

කන්විදීමෙන් පසු එම සිදුරෙහි කරාබු, අරුංගල් පැළදීම සිදු කරන කාන්තාවෝ බොහෝ විට ලෝකේ උෂ්ණ කලාපීය ප්‍රදේශවල වාසය කරති. ශිත කලාපය තුළදී සීතල දුරුවීම සඳහා පොරෝණයකින් කන් වැසීම සිදු කරන හෙයින් එවැනි ආභරණ බාහිර මිනිසුන්ට නොපෙනී යයි. එබැවින් දෝ ශීත දේශගුණය සහිත රටවල හා පළාත්වල සිටින කාන්තාවන්ගේ කන්වල ආභරණ පැළඳීම ගැන උනන්දුවක් නොමැත.

ඉතිහාසයේ මුලින්ම සිදු කර ඇත්තේ කනේ කරාබු පැළඳීම නොව, කනේ මල් ගැසීමයි. ලිඛිත ඉතිහාසය අනුව මෙසේ මුලින්ම මල්වලින් අලංකාර වී ඇත්තේ අභිසාරිකාවන්ය. මල් ආභරණ අනුව අභිසාරිකාවන් වර්ග තුනකට ගැනේ.

  1. ජ්‍යොතිෂ් අභිසාරිකාව
  2. අන්ධ අභිසාරිකාව
  3. දිවා අභිසාරිකාව

ජ්‍යොතිෂ් අභිසාරිකාවෝ බැබළෙන සඳ එළියේ රිදී පැහැයෙන් පරිසරය බැබළෙද්දි සුදු පැහැති මල් කනේ පැළඳ සැරිසරන්නෝය.

අන්ධ අභිසාරිකාවෝ රතු පැහැති මල් කනේ පැළඳ අන්ධකාරයේ සැරිසරන්නෝය.

දිවා අභිසාරිකාවෝ විවිධ පාටින් මල් කනේ පැළඳ දිවා කාලයේ සමාජය තුළ සැරිසරන්නෝය. ආභරණ ලෙස මල් පැළඳීම ස්ථාවර කාරියක් නොවන බැවින් පසු කලෙකදී කන්විදීම සිදු කර මල නොබැඳෙන ලෝහ හෝ වෙනත් ද්‍රව්‍යයක් උපයෝගි කරගෙන කනේ ආභරණ පැළඳීම කාන්තාව විසින් සිදු කළ බව ඉතිහාසය අපට හෙළි කරයි.

වත්මන් කල කන්විදීම සිදු කරන්නේ වෛද්‍යවරුන් විසින්ය. එහෙත් මුල් යුගයේ කන්විදීම සිදු කළේ ප්‍රදේශයේ සිටින අත්දැකීම් බහුල ප්‍රවීණ කාන්තාවක හෝ පුරුෂයකු විසිනි. මෙහි සැබෑ අරුත නම් මුල් යුගයේ සෑම මැනිසකුම ප්‍රාථමික වෛද්‍යවරයකු වී සිටි බවයි. කැස්සට, හෙම්බිරිස්සාවට, උණට, හිසේරදයට, අතපය රුදාවට වෛදයවරයකු හමුවන සිරිතක් එදා නොතිබිණි. ප්‍රාථමික වෛද්‍ය දැනුම සහිත පැරණි මිනිසා තම පවුලේ සුළු සුළු රෝගාබාධ සමනය කර ගැනීමට අවශ්‍ය අත්බෙහෙත් පිළිබඳ දැනුම ලබා සිටියේය. අද එවැන්නක් නොමැත. වෛද්‍යවරු ඉදිරිපිට මිනිස් පෝලිම් බිහිවී ඇත්තෙත්, සෑම පවුලකම නිරන්තරයෙන්ම රෝගියකු සිටින්නෙත් අපගේ සංස්කෘතිය සතු වූ ඒ අපූරු දැනුම් සම්භාරය අපගේ හිතුවක්කාරකම් සහ නොසැලකිලිමත්කම නිසාම ගිලිහී ගොස් ඇති බැවිනි.

කන්විදීමේදී අත්දැකීම් සහිත කාන්තාවක් දැරියගේ කනට පිටුපසින් දෙහි ගෙඩියක් තබා අමු කහ ආලේප කර ඉඳිකටුවකින් කනේ කාටිලේජය සිදුරු වී දෙහි ගෙඩිය ද පසාරු කරගෙන යන පරිදි කන විදී. එම ඉඳිකටුව ආපසු ගන්නා විට දෙහි ගෙඩියේ ඇති ඕජස ඉඳිකටුවේ තැවරී ඇති බැවින් තුවාල වූ සිදුර අමු කහ සහ දෙහි යුෂයෙන් ආලේප වේ. මෙම තුවාල වූ සිදුරේ කරපිංචා නැට්ටක් තබන ඇය තම ප්‍රාථමික වෛද්‍ය කාර්යය හමාර කරයි. ඉඳිකටුවෙන් කනේ කාටිලේජය සිදුරු කරන විට තුවාලයේ අමුකහ ආලේප වන බැවින් ද ආපසු ඉඳිකටුව ගන්නා විට එහි දෙහි යුෂ ආලේප වන බැවින් ද ඉන්පසුව විෂබීජ නාශක ගුණයෙන් යුතු නැට්ටක් තුවාලය මත තබන බැවින් ද කන් සිදුර ඉතා ඉක්මනින් සුවපත් වී ආභරණ පැළඳීමේ තත්ත්වයට දැරිය පත්වේ.

මෙම කන්විදීමේ කාර්යය වෙනත් ආකාරයකට සිදු කෙරෙන අවස්ථා ද ඇත. ප්‍රථමයෙන්ම දැරියගේ කනේ ප්‍රමාණයට තඹ ලෝහයෙන් තෝඩු දෙකක් සාදනු ලැබේ. සුබ නැකැත් වෙලාවට දැරියගේ කන්පෙතිවල තල තෙල් ආලේප කර, මෙම තෝඩු දෙක කන් පෙති හරහා ක්‍රමක්‍රමයෙන් තද කරයි. මෙහිදී එක්වරම කන්විදීමක් සිදු නොකරයි. බොහෝ විට දැරිය නිදා සිටින අවස්ථාවේදී වැඩිහිටියා විසින් කන්පෙතිවල තල තෙල් ආලේප කර තෝඩු දෙක තදකිරීම සිදු කරයි. මෙසේ කරන විට සතියක් වැනි කෙටි කාලයක් තුළදී කන්පෙති සිදුරු කළ හැකිය.

වත්මන් කල බටහිර වෛද්‍යවරයා ප්‍රථමයෙන් දැරියගේ කන්පෙතිවල සර්ජිකල් ස්ප්‍රීතු තවරයි. ඉන්පසු කරාබුවේ කඳේ සහ උලේ ද ස්ප්‍රීතු තවරයි. අනතුරුව සුබ මුහුර්තය යෙදෙන වේලාවට කන්පෙති කරාබු කඳේ තුඩින්ම සිදුරු කර රන් කරාබු පළඳවයි. ඉන්පසු යළිදු කන් සිදුරු ආසන්නයේ සර්ජිකල් ස්ප්‍රීතු තවරයි.

විශ්වයේ පවතින නැකැත් 27 න් නැකැත් 12 ක් කන්විදීමේ කාර්යය සඳහා යොදා ගනී.

සුන්දර බව සුරැකෙන කන්විදීම

යනු එම නැකැත් 12 යි. දැරිය ඉපදි දින 10 කින් පසු යෙදෙන ඉරට්ටේ දින, මාස, වසරවලදී කන්විදීම සිදු කරයි. දැරිය උපත ලැබූ ඇයගේ ජන්ම නැකතට සම්පත්, සාදක, මිත්‍ර, පරම මිත්‍ර යන ගුණාත්මයට ගැළපෙන පරිදිත් ඉහත සඳහන් නැකැත් 10 න් 01 ක් එන පරිදිත් සියලු දොස් දුරු වන පරිදිත් කන්විදීමේ නැකත සාදනු ලැබේ. මෙම කාර්යයේදී හඳේ ගමන අනුව සිදුවන විෂ කලාව ගැන අවධානය යොමු කළ යුතුය. පුර පක්ෂයේ 06 සහ 13 යන තිථිවලදි විෂ කලා පිහිටන්නේ කන ආශ්‍රිත ප්‍රදේශවල බැවින් එම දිනවලදී කන්විදීම සිදු නොකරයි.

සුබ නැකැත සාදන විට සිංහ, වෘශ්චික සහ කුම්භ යන රාශි සුබ නැකැත සඳහා උදා කිරීම ද, තත්කාල කේන්ද්‍රයේ 6, 8 හා 12 භාවයන්ගේ බ්‍රහස්පති සිටීම හා හය, හත, අට භාවයන්ගේ සිකුරු සිටීම ද සුදුසු නැත. සුබ ග්‍රහයකු සහිත චර හෝ උභය රාශියක් උදා කරවන්න. පුර පක්ෂයේ තියවක, එකොළාස්වක, සතවක හා විසේනිය තිථි යෙදීම ඉතා යහපත්ය. 3, 6, 11 යන භාවයන්හි පාප ග්‍රහයන් සිටීම සුදුසුය. 08 වැනි භාවයේ කිසිදු ග්‍රහයකු නැත්නම් වඩාත් මැනවි. දරුවාගේ උපන් ලග්නයෙන් 6, 8, 12 ලග්න අත්හරින්න. දැරිය ඉපදී දින 10 න් පසු යෙදෙන ඉරට්ටේ දින, මාස, වසරවලදී කන්විදීම සිදු කළත් මෙහිදී මුහුර්ථි චින්තාමණියේ මතය කෙරෙහි ද අපගේ අවධානය යොමු කිරීමට සිදුව තිබේ. මුහුර්ථි චින්තාමණියේ මතය අනුව දැරිය ඉපදී දින 30 ක් යනතුරු ජන්ම මාසයයි. ජන්ම මාසය තුළ මෙවැනි සුබ කාර්යයන් කිරීම සුදුසු නැත. එබැවින් ඇය ඉපදී දින 30 න් පසු යෙදෙන ඉරට්ටේ දින, මාස, වසරවලදී කන්විදීම සඳහා සුබ නැකැත් පිළියෙල කිරීම වඩාත් නිවැරදිය.

යෝග විදය්‍යාව අනුව කුණ්ඩලිනි ශක්තිය ශරීරයේ 07 තැනක ඇත. මෙයින් තුන් තැනක කාන්තාවන් ආභරණ පළඳිති. නළල, බෙල්ල සහ පෙකණිය එම ස්ථාන තුනයි. නළල් පටිය පළඳින කාන්තාව බෙල්ලට තැල්ල හෝ මාලය පළඳී. පෙකණිය සිදුරු කර කරාබු පළඳින කාන්තාවෝ ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද සිටිති. ඇමසන් නදිය හා ආරම්භ වුණු මායා ශිෂ්ටාචාරයේ කාන්තාවන් පෙකණිය විද ආභරණ පැළඳි බව සඳහන් වේ.

කාන්තාවන් නහය සහ පෙකණියේ ද ආභරණ පැළඳීම සිදු කරන බැවින් ඒ ගැන ද යමක් කිව යුතුව ඇත. කන්විදීමේදී අප අනුගමනය කරන ජ්‍යොතිර් විද්‍යා සිද්ධාන්ත මෙහිදී ද උපයෝගි කරගත යුතුව ඇත. ඉහතින් සඳහන් කළ නැකැත් දහයෙන් දෝෂ රහිත දිනවල ඉරට්ටේ දින, මාස, වසර සුබ නැකැතින් එසේ සිදු කළ හැක. පුර පක්ෂයේ 4 සහ 5 වන තිථිවලදී නාසය ආශ්‍රිත ප්‍රදේශයේ විෂ කලාව පවතී. එබැවින් එවැනි දිනවලදී නාසය විදීම සිදු නොකරයි. අව පක්ෂයේ 4, 5 තිථිවලදී පෙකණිය ආශ්‍රිත ප්‍රදේශවල විෂ කලාව ඇත. එබැවින් එම දිනවලදී ආභරණ සඳහා පෙකණියේ සම විදීම සිදු නොකරයි.

අලංකාරය සඳහා කරන සැරසිවලදී නූතන යුගයේ සමහර අහිතකර ප්‍රතිඵල ලබා ගන්නේ වෙනත් පැති නොබැලීම නිසාය. හිසකෙස් වර්ණවත් කිරීම නිසා විවිධ හානි ඇතිකර ගැනීම, තොල් වර්ණවත් කිරීමට ගොස් එහි හම කළු හා පළුදු කර ගැනීම වැනි දේ සිදුවීම මෙකල බහුලය. එහෙත් පැරැන්නෝ විෂ කලාව නැකැත, ස්වභාවික රෝග නිවාරණ උපක්‍රම යොදා ගනිමින් අහිතකර ප්‍රතිඵලවලින් තොරව අලංකරණය කර ගත්හ.

ශරීරයේ කරාබුව, තෝඩුව, කඩුක්කම පළඳින ස්ථානය අනුව තත්කාලයේ සඳේ ගමන හා තිථිය සලකා සුබ නැකැත හා දිනය පිළිබඳ අප විසින් තීරණය කරනු ලැබේ. සිංහල පංචාංග ලිත්වල මෙම චක්‍රය පළවී තිබේ. පරීක්ෂා කර බලන්න.

මෙම චක්‍රය අනුව ව්‍යවහාරික මාසයක් හෙවත් ගිනෝරියන් මාසයක දින 30 ක කාලයක් තුළ පුරපස තිථි 15 ක් ද, අවපස තිථි 15 ක් ද ඇත. එහි දින ගණන් අනුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ පුද්ගල ශරීර තුළ දෙපසේ විෂ කලාව නැඟීම බැසීම සිදු වෙයි. පුර පක්ෂයේ 6 සහ 13 යන තිථිවලදී කන්විදීම සිදු නොකරන බව මා මීට ඉහතදී සඳහන් කර ඇත. ඒ කියමන කුමන පදනමක් මත පවසා ඇති දැයි අප දැන් විමසමු.

විෂ කලා චක්‍රය දෙස බලන්න. එම චක්‍රය අනුව පුරපස 06 වැනි තිථියේදී කාන්තාවන්ගේ වම් කනේ ද, පුරුෂයන්ගේ දකුණු කනේ ද, 13 වැනි තිථියේදී කාන්තාවන්ගේ දකුණු කනේ ද, පුරුෂයන්ගේ වම් කනේ ද විෂ කලාව ඇති බව දක්වා ඇත. එබැවින් එවැනි අවස්ථාවකදී කන්විදීම සුදුසු නැත. එසේම නාසය විදීමේදී පුරපස 04 සහ 15 තිථිය ද, පෙකණිය විදීමේදී, අවපස 04 සහ 05 තිථිය ද නොගන්නා බව මා මීට පෙර ද සඳහන් කළෙමි. විෂ කලා චක්‍රය අනුව පුරපස 04 වැනි තිථියේදී කාන්තාවන්ගේ නාසයේ වම්පස ද, පුරුෂයන්ගේ නාසයේ දකුණු පස ද, විෂ ඇත. පුර 15 වන තිථියේදී කාන්තාවන්ගේ නාසයේ දකුණු පස ද, පුරුෂයන්ගේ නාසයේ වම්පස ද විෂ කලාව ඇත. එබැවින් එම අවස්ථාවේදී නාසය විදීම සුදුසු නැත.

අවපස 04 සහ 15 තිථිවලදී පෙකණිය විදීම සිදු නොකළ යුතු බව මම මීට ඉහතදී පැවසුවෙමි. විෂ කලා චක්‍රය අනුව අව 04 වන තිථියේදී කාන්තාවන්ගේ පෙකණියේ දකුණුපස ද පුරුෂයන්ගේ පෙකණියේ වම්පස ද විෂ කලාව ඇත. අව 15 වන තිථියේදී කාන්තාවන්ගේ පෙකණියේ දකුණුපස ද පුරුෂයන්ගේ පෙකණියේ වම්පස ද විෂ කලාව ඇත. එවැනි දිනවල පෙකණිය විදීම නුසුදුසු බව මා සඳහන් කළේ මෙම තිථි පදනම නිසාය.

අනාගතයේදී එළැඹෙන විවිධ විලාසිතා අනුව ශරීරයේ විවිධ ස්ථානවල ආභරණ පැළඳීමක් සිදු කිරීමට ඉඩ තිබේ. එවිට ඒ ඒ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සුබ නැකැත් සෑදීමට ඔබට සිදු වේ. යටිතොල විදීමෙන් පසු ආභරණයක් පැළැඳ සිටින විදේශිය සංචාරක කාන්තාවක මෑතකදී මම දුටුවෙමි. එවැනි විලාසිතාවන් ලාංකික කාන්තාවන් ද අනුගමනය කර තොල විදීම සඳහා සුබ නැකැතක් සාදන ලෙස ඔබට ඉල්ලීමක් කළේ නම් ඔබ අත්හරින්නේ කුමන තිථියක් ඇති දවසක්ද? තොල ඇත්තේ නාසයත් ගෙලත් අතරය. විෂ කලා චක්‍රය අනුව පුරපස 15 වැනි තිථියේදී විෂ කලාව නාසයේ ඇත. අවපස 01 වැනි තිථියේදී විෂ කලාව ඇත්තේ ගෙලෙහිය. ඒ අනුව තොල විදීමක් සිදු කරන්නේ නම් පුර 15 සහ අව 01 යන තිථි දෙකම අත්හරින්න. මේ ආකාරයෙන් යම් පුද්ගලයකුගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව හඳේ පුර හෝ අව ස්වභාවය අනුව විෂ කලාව පිහිටන තැන් චක්‍රය දෙස බලා හඳුනා ගන්න.

සුන්දර බව සුරැකෙන කන්විදීම

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ, දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment