කිඹුල් නඩුවේ පළමු සාක්‍ෂිකරුට යළි වරෙන්තු

60

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූම් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුවේ’ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාර සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (4 දා) නැවත වරෙන්තු නිකුත් කළේය.

එම සාක්‍ෂිකරු හිතාමතාම අධිකරණ හමුවේ පෙනී සිටීම මගහැර සැඟව සිටින බවටත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට අකමැත්තක් දක්වන බවටත් තම අධිකරණයට පෙනී යන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී පැවසූ විනිසුරුවරයා එම නියෝගය කළේය. එම සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය ලබාගැනීමකින් තොරව පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලට ගැටලුවක් ඇති බව පෙනී යන්නේ යැයි ද පැවසූ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු 15 වැනිදා දක්වා කල් තැබීමට ද නියෝග කළේය.

පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු සහ තවත් පුද්ගලයකු යොදා 2019 ජනාධිපතිවරණ සමයේදී එනම් 2019.11.10 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් සුදු වෑන් භාවිත කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්නදී ඝාතනය කළබවට හා වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබී සොයා ගන්නා ලද රන් ආභරණ තොගයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිමිකර ගත් බවට අසත්‍ය ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ එම නඩුව පවරා තිබිණි.

එම සාක්‍ෂිකරු අධිකරණයට නොපැමිණීම නිසා මින් පෙර ද වරෙන්තුවක් නිකුත් කර තිබූ අධිකරණය ඔහුගේ බන්ධනාගාර භාරයේ සිටින්නේ නම් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබිණි. ඔහු ලංකාවේ කිසිදු බන්ධනාගාරයක රඳවා තබා හෝ අත්අඩංගුවේ පසුනොවන බවට ඉදිරිපත්වූ වාර්තා සලකා බැලූ විනිසුරුවරයා එලෙස යළි වරෙන්තු නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment