ජනපති අපේක්ෂකයා කියන්න ආණ්ඩුව හොරගල් අහුලයි

356

ජුලි තෙක් අනෙක් වැඩ

මැතිවරණ කොමිසම විසින් නියමිත කාලවකවානු අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ වෙනත් කිසිදු පක්‍ෂයක් විසින් තම ජනාධිපති අපේක්‍ෂකයා නම් නොකිරීමටත් ඒ පිළිබඳ අදහස් පළ නොකිරීමටත් තීරණය කර ඇත.

ඉකුත් 25 වැනිදා රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.

ඒ අනුව ලබන ජූලි මාසය දක්වා රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂවල සහයෝගයෙන් සිදු කිරීමට ද එකඟතාවකට පැමිණි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් මෙවර මැයි දින රැලි ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ වෙන වෙනම පැවැත්වීමට එකඟතාවකට පැමිණ ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය ඒ අනුව මැයි 01 වැනිදාට වෙන වෙනම මැයි රැලි පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව වෙනදාට වඩා වැඩි අවධානයකින් පසුවන බවට ශ්‍රී ලංකාවේ සිටින එම රටවල තානාපතිවරුන් මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ නායකයනට පවසා ඇති බවද වාර්තාවේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment