අලි-හරක් මදිවට බලධාරීන්ගෙන් ද හිටු කියා බැට කන කෙවිලියාමඩුවේ කල්ලතෝනියෝ

195

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති සිංහල ගම්මාන කිහිපයෙන් එකක් වන කෙවිලියාමඩුවට හිමිව ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. බොහෝ දෙනකු හිතාගෙන ඉන්නේ කෙවිලියාමඩුව ඉන්නේ කල්ලතෝනියෝ කියා ය. රාජ්‍ය නිලධාරීන්ගෙන් කිසිදු පිළිසරණක් නොමැති මේ අහිංසක ජනතාවගේ එකම ගැලවුම්කරු වන්නේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පමණි.

යුද්ධයට පෙරදි මඩකලපු දිස්ත‍්‍රික්කයේ විශාල සිංහල ජනතාවක් ජීවත්ව සිටිය ද යුද්ධය දරුණු වී සිංහල ජනතාව කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග මඩකලපු නගරයේ සහ අවට ගම්මානවල සිටි සිංහල බොහෝ දෙනකු ගම්බිම් අතහැර ආරක්ෂිත ප‍්‍රදේශ සොයා යන්නට වූහ. යුද ගිනි දැල් මැද මඩකලපුව පුදබිම සහ සිංහල ගම්මාන ආරක්ෂා කරගනිමින් සිටි අම්පිටියේ සුමනරතන හිමියන් කෙවිලියාමඩුව සිංහල ගම්මානය රැකගැනීම සඳහා මහා මෙහෙයක් සිදු කරන්නට විය.

එදා මෙදා කාලය තුළ බලධාරීන් මෙම ගම්මානයේ ජනතාවට කිසිදු සහනයක් නොදුන්හ.

අලි-හරක් මදිවට බලධාරීන්ගෙන් ද හිටු කියා බැට කන කෙවිලියාමඩුවේ කල්ලතෝනියෝ

පසුගිය දා කෙවිලියාමඩුව සංචාරය කළ අපට ඇසුණේ දුක් අඳෝනාවන් ය. කෙවිලියාමඩුව ගම්මානය පිළිබඳ මඩකලපුව මංගලාරාම අධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ මෙලෙස අදහස් දක්වන්නට වූහ. මේ ජනතාව 2008 ඉඳන් මේ වෙනකම් කෙවිලියාමඩුව පදිංචි වෙලා ඉන්නවා. අහිංසක ජනයා තමන්ගේ අයිතිය ඉල්ලලා කෑ ගහනවා. සාධාරණය ඉල්ලනවා. නමුත් එහෙමත් සාධාරණයක් ලැබිලා නෑ. දිනපතා ම ජනතාවට විවිධ බලපෑම් පීඩනයන් එල්ල වෙමින් තිබෙනවා. පරිපාලනය තිබෙන්නේ මඩකලපුව ට. පොලිසිය භාරව කටයුතු කරන්නේ අම්පාරෙන්. පුළුකුණාව ඉඳන් අරන්තලාව, කෙවිලියාමඩුව ,මහඔය ආදි ගම්මානවල ජනතාවගේ වගා බිම් සිය හරක් සිය දහස් ගණනක් අනිත් විනාශ කරනවා. අපි අවස්ථා කීපයක් හරක් අල්ලලා කටුකම්බි ගහල කොටු කරල තිබ්බා. සමහර දාට ?ට අයිතිකාරයො ඇවිත් ඒ හරක් අරන් යනවා.

එක් දවසක් අපි අල්ල ගත්ත හරක් කටුකම්බි වැටවල් ගහලා කොටු කරලා තිබ්බා. එදා රෑ අයිතිකාරයො එයි කියලා රැකල හිටියා. හරක් පට්ටි ඉතුරු හරක් ඇවිල්ලා කටුකම්බි අංවලින් උස්සලා, වැට කඩලා අල්ලං හිටපු හරක් ටික බේරා ගත්තා. පුදුම ආකාරයට උන් වැටවල් කඩන්නේ හරක් දිනපතා ඇවිල්ලා හානි කරනවා. ඒවා තක්සේරු කරන්න නිලධාරීන් නෑ. පොලිසිය ඒ ගැන ගනන් ගන්නෑ. දැනට මේ සම්බන්ධව නඩු කිහිපයක් තිබෙනවා. මම පට්ටිපොළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා ම ජනතාවගේ ගැටලූ කතා කරන්න, ඒ කාර්යාලයේ සේවය කරන අය එළියට බැහැලා මට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ පට්ටිපොළ ප‍්‍රාදේශීය ලේකම්වරිය පොලිසියට කෝල් කරලා මම රාජකාරියට බාධා කරනවා කියලා කියනවා. පස්සේ පොලිසියෙන් ඇවිත් ඒක විසඳන්නේ නැතිව උසාවියට දානවා.

අලි-හරක් මදිවට බලධාරීන්ගෙන් ද හිටු කියා බැට කන කෙවිලියාමඩුවේ කල්ලතෝනියෝ

මේ ආකාරයේ ගැටලූවකට මට දෙවතාවක් ම මුහුණ දෙන්න වුණා. අපට රජයේ ආයතනයකට ගිහිල්ලා මේ ගමේ මනුස්සයකුගේ ගැටලූ විසඳීමට කථා කරන්න වත් ඉඩක් ලැබිලා නෑ. ගමේ පවුල් සියයකට ආසන්න ප‍්‍රමාණයක් ජීවත් වෙනවා. එයින් පන්සලේ ගොවිපළේ වැඩ කරන පවුල් 50ක් පමණ ජීවත් වෙනවා. මම පුළුවන් විදිහට පිටින් හිතවත් අයට කියලා ලැබෙන ආධාර උපකාර ලබාදීලා ගම ජීවත් කරනවා. මේ වෙද්දී කෙවිලියාමඩුවේ වැව් දෙකක් හැදුවා. මේ වනවිට කළවංචිකුඩි මඩකලපුව අම්පාර ආදී උසාවිවල මට විරුද්ධව නඩු 40කට ආසන්නව තිබෙනවා. එදා සිට මේ දක්වා මට විරුද්ධව නඩු සියයකට ආසන්නව දාලා තියෙනවා. මේ සියල්ල ම ජනතාවගේ ගැටලූ විසඳන්න ගියා ම තමයි වෙන්නේ. පොලිසිය ගැටලූ විසඳන්නෙ නැහැ. පොඞ්ඩක් ඇත්නම් පොඩිදේටත් උසාවි දානව. රජය මේ ගැන සොයන්න බලන්නේ නැහැ. අපි හිතුවා වත්මන් රජය බලයට පත්වුණාට පස්සේ කෙවිලියාමඩුව ඇතුළු මඩකලපුවේ සිංහල ජනයාට තියෙන ගැටලූ ටික විසඳෙයි කියලා. නීතිය අතට අරගෙන කටයුතු කරන නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ කරලා සාධාරණයක් ඉටු වෙයි කියලා. නමුත් ඒ ගැටුලූ එහෙම මයි. තාමත් වෙනදා වගේ නීතියට පිටින් ගිහින් සිංහල ජනතාව පීඩාවට පත් කරනවා. අඩුම තරමින් මඩකලපුව සිංහල ජනතාව නියෝජනය කරන්න ප‍්‍රාදේශීය සභාවට මන්ත‍්‍රීවරයකුවත් නැහැ. රජයේ නිලධාරීන් හිටියට වැඩ කරන්නේ නැහැ. පොලිසිය හරියට වැඩ කරන්නේ නැහැ. මේ නිසා ම ජනතාව අන්ත අසරණ වෙලයි සිටින්නේ. බලධාරීන්ට රජයට කොච්චර කිව්වත් බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ යැයි අම්පිටියේ සුමනරතන හිමියෝ අදහස් දක්වන්නට වූහ. මඩකලපුව අය තමන්ගේ වගා කරන සමයේ දහස් ගණනක්වූ ගව සේනාව දක්කන්නේ කෙවිලියාමඩුව, පුළුකුණාව, මහඔය, අරන්තලාව ආදි ප‍්‍රදේශවලට ය. එසේ එන හරක් සේනාව මාර සේනාවක් වී මෙම ප‍්‍රද්ශවල ජනයාගේ වගාවන් මුළුමනින් ම විනාශ කරලා දමද්දී වගකිව යුත්තන් මර නින්දේ සිටිති.

දිවුලපොතාන, මඩකලපුවට අයත් ඉපැරණි ගම්මානයකි. යුද සමයට පෙර සිට ම සිංහල ජනයා මෙම ගම්මානයේ පදිංචි වී සිටින්නට වූහ. මෙම ගම්මානයේ පාසලක් ද තිබුණු අතර ත‍්‍රස්තවාදී සමයේ දී යුද හමුදාවේ කඳවුරක් පවා තිබෙන්නට විය. අවසානයේ දී ත‍්‍රස්තවාදී කරදර ටිකින් ටික ම වැඩිවෙද්දී පණ බේරා ගෙන ගම අත්හැර පුළු පුළුවන් තැන්වලට මෙම ගම්මානයේ ජනතාව යන්නට වූහ. යුද්ධය නිමාවීමත් සමග මෙම ගම්මානයේ පදිංචිකරුවන් නැවත දිවුල්පොතාන ගම්මානයට පැමිණ වගා ආරම්භ කර පදිංචි වන්නට වූහ. නමුත් පසුගිය යහපාලන සමයේදී එලෙස පදිංචි පිරිස පන්නා දමන්නට ඊළාම් සිහින දකිමින් සිටින ටී.එන්.ඒ.නඩය ඇතුළු මඩකලපුවෙ වගකිවයුත්තන් කටයුතු කරන්නට වූහ. එපමණක් ද නොව, ටී.එන්.ඒ.සංවිධානය විසින් විටින්විට මඩකලපු ප‍්‍රද්ශයේදී මඩකලපුව හාමුදුරුවන් විසින් කෙවිලියාමඩුව ප‍්‍රද්ශයේ ඉඩම් බලෙන් අල්ලා ගන්නා බවත් එම නිසා මඩකලපුව ජනතාවගේ හරකුන්ට තණබිම් නොමැති බවත් පවසා විරෝධතා ඇතිවන්නට විය. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ දැනට ඉතිරිව සිටින සිංහල ජනතාව ද පන්නා දැමීමට කරනා සංවිධානාත්මක ක‍්‍රියාව මේ රටේ පාලකයන්ට නොපෙනීම නිසා මඩකලපුව දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව බැට කමින් සිටිති.

ඩබ්.එම්.ඒ.චාන්දනි මල්ලිකා මහත්මිය මෙලෙස පැවසුවා ය.

මගේ වත්තෙ මඤ්ඤොක්කා, දඹළ ,ආදි ගොඩක් දේවල් වගා කරලා තිබ්බා. හරක් රංචු පිටින් ඇවිල්ලා වැට කඩල වගාවන් විනාශ කළා. මගේ වැට ට පිටින් තිබ්බ පටස්, මාන පඳුරු ටික සුද්ද කරලා දැම්මා. වත්තට සත්තු ආවොත් කියලා පොඞ්ඩක් හරි පේන්න. අන්තිමේදී වන සංරක්ෂණයෙන් කැලෑ කැපුවා කියලා කළවංචිකුඩි උසාවියේ නඩුවක් දැම්මා. මම මහ කැලේ කැපුවේ නැහැ. හරක් එන එක පේන්න තමයි වැට මායිමේ පොඞ්ඩක් සුද්ද කෙළේ. ඒ වගේ රාජ්‍ය නිලධාරීන් අපිට පුදුම විදියට හානි කරනවා. අපිව පීඩාවට පත්කරනවා යැයි චන්ද්‍රානි මල්ලිකා පවසන්නී ය.

එම්.එම්.මංජුලා කුමාරි මහත්මිය කීවේ මෙවැනි කථාවකි.

ගමේ පදිංචි වෙලා වසර 12ක් පමණ වෙනවා. පොල් පැළ ඉන්දුවා. එවත් අලි කෑවා. ඊට පස්සෙත් පොල් පැළ ඉන්දුවා. ඒවත් අලි කෑවා. පීදුණු කොස් ගස් තිබ්බා. ඒව කඩලා දැම්මා. අන්තිමේදී දෙහි ටිකක් විතරයි ඉතුරු වුණේ. දවල්ට හරක් ටික මිනිස්සු බලාගෙන රෑට අතඅරිනවා එක් පට්ටියක්. හරක් 200ක් 300ක් වගේ ඉන්නවා. ඒ හරක් පට්ටි පිටින් ඇවිත් වැටවල් පෙරළ ගෙන එනවා. වැටවල් ගහලා තිබ්බත් වැඩක් නෑ. අංවලින් උස්සලා වැටවල් පෙරළ ගෙන එනවා. හරක් නිසා පාරේ දිනපතා ම වගේ අනතුරු ගොඩක් වෙනවා. හරක් මැරෙනවා. අන්තිමේදී ඒවා වළ දාන්න අයිතිකාරයො නෑ. අපිට තමයි වළ දාන්න සිද්ධ වෙන්නෙ. මාගේ මහත්තයා අසනීපෙන් ඉන්නෙ. ආදායමක් නෑ. සමෘද්ධියත් නෑ. ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. පන්සලේ හාමුදුරුවන්ගේ ගොවිපළේ වැඩ කරලා ලැබෙන මුදලින් ජීවත් වෙනවා. මුළු ගම ම මඩකලපුව හාමුදුරුන්ට පින්සිද්ධ වෙන්න ජීවත් වෙන්නෙ. හාමුදුරුවෝ මාසයකට දෙතුන් වතාවක් හරි හිතවත් අයට කියලා ගමට හාල්, පොල්, ටිකක් ගෙනැල්ලා අපිට බෙදලා දෙනවා. මඩකලපු හාමුදුරුවො නිසා තමයි ගමේ මිනිස්සු වේලක් ඇර වේලක් කාලා හරි ජීවත් වෙන්නෙ. බලධාරීන්ට කොච්චර කිව්වත් අපේ දුක අහන්නේ නෑ. ගණන් ගන්නේ නැහැ. යනුවෙන් මංජුලා කුමාරි පවසා සිටියා ය.

හරක් පමණක් නොව, මෙම ගම්මානයට කඩා වදිනා වන අලි පිරිවර ද ගම්වාසීන්ට රාජ්‍ය නිලධාරීන් මෙන් ම අරියාදු ම සිදු කරති. ගෙවල් දොරවල් පෙරළති. වගා බිම් විනාශ කරති. අලි පිරිවර, හරක් පිරිවර සමගින් රාජ්‍ය නිලධාරීන් රොත්ත බුරුත්ත ම මෙම අහිංසක ජනතාවට වටකොට පහර දෙති.

අලි-හරක් මදිවට බලධාරීන්ගෙන් ද හිටු කියා බැට කන කෙවිලියාමඩුවේ කල්ලතෝනියෝ

ඒ.එම්.විමලාවති මහත්මිය මෙලෙස අදහස් දැක්වූවා ය.

වත්තෙ මොනාහරි වගා කළා ම හැමදා ම අලි හරක් ඇවිල්ලා ඒවා විනාශ කරනවා. පන්සලේ වැඩ කරල ලොකු හාමුදුරුවෝ දුන්න සල්ලි ටිකක් එකතු කරගෙන රුපියල් විසිදාහක් වියදම් කරල අලිවැටක් ගහගත්තා. ඒ නිසා පහුගිය දවස් ටිකේ වත්තෙ වගා කරගත්තා. දැන් කරන්ට් එක තිබ්බත් හරක්,අලි ඇවිත් අලි වැට කඩන්න පුරුදු වෙලා. වගාවන් විනාශ කරනවා. එතකොට අපි කොහොම ද ජීවත් වෙන්නෙ. දරුවන් දෙන්නෙක් පාසල් යනවා. පාසල් යන්න හරියට බස් නෑ. බස් එක සමහර දවස්වල අපේ දරුවන්ට නතර කරන්නේ නැතිව යනවා. පොත්පත්, පාසල් උපකරණ ඒ සියල්ල පාසල් දරුවන්ට අරන් දෙන්නෙ අපේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ පුළුවන් ආකාරයට මුළු ගම ම රැකබලා ගන්නවා. හාමුදුරුවෝ නැත්නම් කෙවිලියාමඩුව ගම්මානේ අපිට මොනවා වෙලාද කියලා හිතාගන්නත් බෑ යනුවෙන් විමලාවතී මහත්මිය පවසන්නී ය.

ඒ. ඒ. අනෝජ් නන්දන කුමාර මහතා මෙලෙස කීවේ ය.

මම මේ ගම්මානයේ පදිංචියට ආවේ 2015 වසරේ. වසර කිහිපයක් යනකම් ග‍්‍රාමසේවක මහත්තයා මගේ පදිංචිය භාර ගත්තේ නැහැ. පස්සේ අපිට 2017 දී දින 14කින් අයින් වෙන්න කිව්වා. පස්සේ ග‍්‍රාමසේවක මහත්තයා ඉඩම් පහක පදිංචි අපට නඩු දැම්මා. ඒ නඩු තාම ඉවර නෑ. අපිට අලිමංකඩ ක පදිංචිව ඉන්නවා කියලයි කියන්නේ. මගේ ඉඩමේ දෙපැත්තේ ගෙවල් දෙකට ම වතුර ලයිට් දුන්නා. එයාලටත් නඩු තිබෙනවා. නමුත් මට විතරක් වතුර, ලයිට් ලැබුණේ නෑ. මට ස්ථිර රැකියාවක් නෑ. අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. මඩකලපු හාමුදුරුවන්ගේ උදව් නිසා තමයි වේලක් හරි වෙලා කාලා ජීවත් වෙන්නේ. අපිට පහසුකම් නෑ. නිලධාරීන් එක එක්කෙනාට එක එක විදිහට තමයි සලකන්නේ. ඔවුන් හිතු හිතූ ආකාරයට කටයුතු කරනවා. අපිට සාධාරණයක් ලැබෙන්නෙ නෑ. අපේ දුක කාටවත් පේන්නෙත් නෑ… යනුවෙන් අනෝජ් නන්දන කුමාර පවසා සිටින්නට විය.

මෙම ගම්මානයේ මුල් කාලයේ පදිංචි වූවන්ට නඩු දමා තාඩන පීඩන කර පලවා හරින්නට බලධාරීන් කටයුතු කරන්නට වූහ. ඇතැමුන් බැරිම තැන කෙවිලියාමඩුව අත්හැර ගිය හ. අන්ත අසරණව, යන්නට කිසිදු තැනක් නොමැති පිරිස දුක ම විඳ විඳ තවමත් කෙවිලියාමඩුව ගමේ වෙසෙති. ඒ දිනවල නීති දමා මෙම ජනතාව පන්නා දමන්නට වූ ඇතැම් පිරිස් දැන් කෙවිලියාමඩුවෙන් ඉඩම් අල්ලා ගෙන සිටිති. පොලිසියේ සහ හමුදාවේ සේවය කරනා 20කට ආසන්න පිරිසක් ඉඩම් අල්ලා ගෙන ඇති බව ප‍්‍රදේශවාසීන් කියති.

පොලිස් නිලධාරියකුගෙන් සිදු වූ අවනඩුව කියන්නේ කෙවිලියාමඩුව පදිංචි එස්.එම්. සෝමරත්න මහතා යි.

මමයි දරුවනුයි,නෝනයි කෙවිලියාමඩුවෙ පදීංචි වෙලා ඉන්නේ. අපේ ඉඩම් කොටසක අම්මා ගෙයක් හදන්න අත්තිවාරම දාලා තියෙනවා. එතැන පොලිසියේ අයෙක් කොටසක් බලෙන් අල්ලන්. ඉතිරි කෑල්ල දෙමළ කෙනෙක් අල්ලන්.

පසුගිය දා අම්පාර පොලිසියේ සේවය කරන පොලිසියේ සාර්ජන් කෙනෙක් තව කිහිපදෙනකු සමග ඇවිත් මටයි, බිරිඳටයි පහර දුන්නා. බිරිඳ දින කිහිපයක් ඒ නිසා රෝහල් ගත වෙලා ප‍්‍රතිකාර ලබා ගත්තා. අපි මේ පිළිබඳව පැමිණිලි 03ක් දැම්මා.

පොලිසියේ කෙනා කියනවා එයා ආවේ නෑ කියලා. අපි බොරු කියන්නේ කියලා. අපේ ඇත්ත කතාව අදාළ නිලධාරීන් පිළිගන්න කැමැති නෑ වගේ. ඒ නිසා අපිට පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැති හැඩයි, යනුවෙන් සෝමරත්න පැවසුවේ ය.

මෙම ගම්මානයේ ජනයාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හඬ නැඟුවේ සුමනරතන හිමියන් පමණි. එදා පොලිසිය ද ගම්වාසීන් එලවා දමන තැන සිටිය හ. නමුත් දැන් ඉඩම් අත්හල අයගේ සහ දැනට සිටින අයගේ ඉඩම් අල්ලා ගන්නට පොලිසිය ඇතැමුන් කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

2015 වසරේදී මෙම ගම්මානයේ ජනයා එවකට ජනාධිපති ජනහමුවක් සඳහා මඩකලපුව නගරෙට පැමිණි අවස්ථාවේදී යුද්ධය දිනූ ජනාධිපතිතුමනි, අපට ඡන්ද අයිතිය ලබා දෙන්න යනුවෙන් මඩකලපුවේදී සාමකාමී උද්ඝෝෂණයක් කරන්නට වූහ. එය ජනපතිට එරෙහිව නොව, ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා ය. මෙයින් කුපිත වුණ මඩකලපු පොලිසියේ නිලධාරීන් පිරිසක් නින්දිත ආකාරයට කෙවිලියාමඩුව අහිංසකයකුහට මඩකලපු නගරයේ දහස් ගණනක් ජනයා මැද ඇඳුම් ගලවා නිරුවත් කොට පහර දී මහ පාරේ ඇදන් ගිය අයුරු අද ද ලියුම්කරුට සිහි වෙයි. එය නිලධාරීන් මේ ගම්මානයේ ජනතාවට දක්වන සැලකිල්ලේ තරම ලොවට ම කියාපාන අවස්ථාවකි.

අලි-හරක් මදිවට බලධාරීන්ගෙන් ද හිටු කියා බැට කන කෙවිලියාමඩුවේ කල්ලතෝනියෝ

පොලිසියේ ගෞරවය කෙළසන එවන් කාකිකෝට් කාරයෝ දැන් කිසිදු හිරිකිතයකින් තොරව කෙවිලියාමඩුව ජනයාගේ ඉඩම් කොල්ල කෑම අරඹා ඇත. කෙවිලියාමඩු ගම්මානයට අයත් මංගලගම පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙමින් යන බව ජනතාව නඟන වචනවලින් පැහැදිලි වේ. කෙවිලියාමඩුව පන්සලේ ඉඩමක් සම්බන්ධව සිවිල් ආරක්ෂක බළකායේ අයකු සම්බන්ධ ගැටලූවක් දිගින් දිගට ම ඇදී යන අතර ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් එය නිදහස් කර පන්සලට ලබා දෙන ලෙස පවසා තිබුණත් මේ වනතෙක් එම ගැටලූ විසඳීමට පොලිසිය ඇතුළු බලධාරීන් කිසිදු මැදිහත්වීමක් කර නොමැති අතර ගැටලූ විසඳනවා වෙනුවට ඒවා උසාවිවලට යොමුකර ඇඟ බේරා ගැනීමේ කලාවේ නියැළෙමින් තිබීම කනගාටුදායක කරුණකි. මඩකලපුව සුමනරතන හිමියන් සමග මඩකලපු පන්සල් වත්තේ තාප්පෙ පිළිබඳ අසල්වැසි නිවෙස් සමග ගැටලූවක් පැන නැඟී තිබුණි. දිනක් සුමනරතන හිමියෝ කුළු ගෙඩියක් ගෙන තාප්පය බිඳින්නට වූයේ අලූතින් ඉදි කිරීමට ය. එතැනට පැමිණි මඩකලපුව භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී නීතිඥ රත්නායක මහතා එම ගැටලූවක් උසාවි නොදා විසඳන ලදී. මඩකලපුවේ හාමුදුරුවෝ සම්බන්ධ ගැටලූවල දී කොන්ද කෙළින් තියාගෙන තම රාජකාරිය ඉටු කළ එකම අවස්ථාව ඒ බව අපට පෙනේ. අනෙක් හැම අවස්ථාවකදී ම පොලිසිය කොඳුනාරටිය රබර් කරගෙන ඇඟ බේරා ගැනීමේ කලාව හෙවත් ෂේප් න්‍යායේ යෙදී සිටිති. පසුගිය දිනවල කෙවිලියාමඩුව පුදබිමේ ආරක්ෂාව පිණිස ලබා දී තිබුණු සිවිල් ආරක්ෂක බළකායේ අය තුවක්කුවකින් වන සතුන් සහ හරකුන්ට වෙඩි තබා මස් කරන බවත්, එම තුවක්කුව සඟවා තිබෙන ස්ථානය පිළිබඳවත් මරා දැමූ සතුන්ගේ ඇටකටු කෙවිලියාමඩුව වැවේ තිබී ගොඩ ගත්තත් ඒවා මංගලගම පොලිසියට දැනුම් දුන්න ද ඒ පිළිබඳ නිසි පියවරක් නොගත් බව ද අම්පිටියේ සුමනරතන හිමියෝ චෝදනා කරමින් සිටී.

මේ ආකාරයට පීඩා විඳිමින් සිටිනුයේ මඩකලපු දිස්ත‍්‍රික්කයේ සිංහලයන් වීමේ පාපය නිසා පීඩා විඳින ජන පිරිසකි. උපන් රටේ ජාතිය සිංහල වීම නිසා කල්ලතෝනියන් වී විලාප නඟන පිරිසකි. ජනපති ඇතුළු අදාළ බලධාරීනී, දැත්වත් මඩකලපු සිංහල ජනයාගේ ගැටලූ විසඳීමට කටයුතු කරමු ද?

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment