ඊනියා වීසා වෙනස මගඩියක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

38

බංකොලොත් රටේ තවම පාඩම් ඉගෙන ගෙන නැහැ

බංකොලොත් රටෙත් දූෂණය වංචාව හොරකම වැඩි වී ඇති බවත් වීසා ලබා දෙන මගඩියත්, කුප්‍රකට දේශීය හා ජාතික සම්පත් මංකොල්ල කන ක්‍රියාදාමයක් බවට පත්ව ඇති බවත් මේ වීසා ක්‍රමය වෙනස් කිරීමේ දී ප්‍රසම්පාදන වැඩපිළිවෙළක්, ටෙන්ඩර් වැඩපිළිවෙළක්, තරගකාරි ක්‍රමයක් නිර්මාණය කළේද කියා ගැටලු‍වක් ඇති බවත් බංකොලොත් රටේත් තවම පාඩම් ඉගෙන ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය කියා ටෙන්ඩර් ක්‍රමවේදවලින් බැහැරව ජාතික දේපල හා සම්පත් මහ දවලේ මංකොල්ලකමින් සිටින යුගයක ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් දූෂණය වළක්වා දූෂණ විරෝධී ක්‍රියාදාමයකට ශක්තිය ලබාදිය යුතු බවත් දූෂණය වැළැක්වීම අණපනත්වලින් පමණක් නොව ඒ සඳහා වඩාත් ස්වාධීනත්වයක් ලබාදී පහසුවෙන් වෙනස් කළ නොහැකි පරිච්ඡේදයක් ලෙස සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 178 වැනි අදියර යටතේ ඊයේ කොළඹ කැස්බෑව ආනන්ද සමරකෝන් විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගන බවට දේශපාලනඥයෝ කියාගෙන ගියත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කිරීමට අවශ්‍ය දේවල් අප රටේ අධ්‍යාපන පද්ධතියේ නොමැති බවත් කී විපක්ෂ නායකවරයා ක්‍රමයේ වෙනස ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගය දේශපාලන ක්‍රමය පවා වෙනස් කළ නිසා අධ්‍යාපන ක්‍රමයේද වෙනසක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉදිරියේ දී බිහි වන විපක්ෂයන්ට කතාවට පමණක් සීමා නොවිය යුතු බවත් කතාව විවේචන මෙන්ම රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීමට සිදුවන බවත් රජය ඔවුන්ට පැවරී ඇති වැඩ ඉටු කරන විට විපක්ෂයද කටවචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රට වෙනුවෙන් වැඩකොටසක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සංවෘත වැහුණු රටක් ලෙස කණ්නාඩිය ඉදිරියට ගොස් සූරයන්, වීරයන් යැයි පුරසාරම්බාමින් රටකට ගොඩ ආ නොහැකි බවත් සූරයන්, වීරයන්, දක්ෂයන් විය යුත්තේ ජාත්‍යන්තරය සමඟ තරඟ කර අංක 1ට පත් වීමෙන් බවත් 96 ක්‍රිකට් ජයග්‍රහණය එවැන්නක් බවත් ඒ ආකාරයෙන් අප ද කටයුතු කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි අධ්‍යාපනයකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment