නුවරඑළියේ තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

58

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන අගෝස්තු 5 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන කහඳගමගේ පියසේන මහතා විසින් ගොනු කර තිබූ එම පෙත්සම එස්.යූ.බී. කරලියද්ද හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම තැපැල් කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සමාගමකට ලබාදීමට තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා වන බවත් රටේ විධායක ජනාධිපතිවරයා ගනු ලබන තීරණයක් අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව නොව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කර ඇති බැවින් එය අභියෝගයට ලක් කළ හැකි බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උචිත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යාංශයේ ලේකම්වරයා, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, තැපැල්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment