‘ආනන්දපුරම්’ සිට නන්දිකඩාල් දක්වා වසර 15 කට පෙර මතකය

542

වසර 15කට පෙර මතකය

මීට වසර පහළොවකට පෙර එනම් 2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුන් 33 වසරක ඉතිහාසයේ කිසි දිනක අත්විඳ නැත. සැබැවින්ම කොටි නැවත නොනැඟිටින ලෙස පරාජය වුණේ ප්‍රකට ‘ආනන්දපුරම්’ සටනේදීය. එය නූතන විජිතපුර සටන ලෙස දැක්විය හැකිය. ප්‍රභාකරන්ගේ මරණයට සති හයකට කලින් මේ දරුණු සටන ඇවිලී ගොස් කොටි සාමාජිකයන් 625 ක් මරණයට පත්වූ අතර ඔවුනගේ සිරුරුද හමුදාව අතට පත්විය. ආනන්දපුරම් පිහිටා ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මේ සටනේදී එල්.ටී.ටී.ඊ.ය ලැබූ ප්‍රමුඛතම පරාජය වූයේ කර්නල් තීපන්ගේ මරණයයි. වසර 25 ක් තිස්සේ එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සටන් වැදුණු දක්ෂ යුද නායකයකු වූ හෙතෙම කන්දයියා බාලසේගරන් නොහොත් බාල්රාජ්ට පසුව එල්.ටී.ටී.ඊ.ය බිහි කළ හොඳම යුද නායකයායි. හමුදාවට එරෙහිව පස් බැමි තැනීමේ මූලිකයා වූයේ ඔහුය. රණමග ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථයේදී දින තුනක් තිස්සේ පැවැති පුදුකුඩිඉරිප්පු අවසාන සටන පිළිබඳ සටහනක් තබන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරන්නේ කරුණාගෙන් පසුව එල්.ටී.ටී.ඊ.යේ බිහිවූ දක්ෂතම සටන්කරුවා වන්නේ තීපන් බවයි. තීපන් ඝාතනය වන්නේ ගුවන් සංක්‍රමණික බළකායට අයත් 6 වැනි ගජබා බලඇණියේ සෙබළුන් විසින් එල්ල කළ ප්‍රහාරයකිනි. කොටි සන්නිවේදන ජාලය විසින් තීපන්ට ලබාදී තිබූ සංකේත නාමය වූයේ ‘ටොන්ගො පාපා’ යන්නය. තීපන් හිටපු කොටි සාමාජිකාවක් හා විවාහ වී සිටි අතර ඔවුනට දරුවන් නොවීය. තීපන් සමග මාලනී බළකායේ ප්‍රධානී විදූෂා, ඇගේ දෙවැනියා වූ කමලිනී ද සෝතියා රෙජිමේන්තුවේ ප්‍රධානී දුර්ගා හා දෙවැනියා වූ මෝහනාද මරණයට පත්විය. ආනන්දපුරම් සටනේදී නැගෙනහිර සටන්කරුවන්ගෙන් සැදුම්ලත් දක්ෂ සේනාංකයක් වූ ජෙයන්තන් බළකායේ ප්‍රධානී කීර්ති හා නාගේෂ් ද මිය පරලොව ගොස් තිබිණි.

ප්‍රභාකරන්ගේ සිහින ඊළම දෙදරා ගියේ ආනන්දපුරම් පරාජයෙන් අනතුරුවය. මේ සටනේදී 1996 දී පුලුකුණාවෙන් පැහැරගත් මිලි මීටර් 85 ප්‍රහාරක අවියක්ද සොයා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි ඇතුළු පිරිසක් මෙහි කොටුවී සිටියා නම් ඊළාම් යුද්ධය අවසන් වන්නේ 2009 අප්‍රේල් මුල සතියේදීය. එවිට සිදුවන ජීවිත හානිය තවදුරටත් අඩුකර ගැනීමට හැකි වන්නේය. නමුත් ප්‍රභාකරන්ගේ පණ තවත් සති හයකට දික්වී තිබිණි. එවක මේ සටන මෙහෙය වූයේ 58 වැනි සේනාංකයේ අධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා 53 වැනි සේනාංකයේ අධිපති වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන විශිෂ්ට හමුදා නායකයන් විසිනි. ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් ද ආනන්දපුරම්හි සිට ඇති නමුත් මේ සටන ඇවිළීමට පෙර මාර්තු 26 වැනිදා මොවුන් මේ ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබිණි.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාවන්තම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම අනුගාමිකයන්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය.

හරියටම මීට වසර 15කට පෙර මැයි 19 වැනිදා පෙරවරුවේ ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදී හමුවිය. රට විනාශ කළ ත්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළෙකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප්‍රභා කිසි විටක සිය ග්ලොග් පිස්තෝලයෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගන්නේ නැත. ළමා සොල්දාදුවන්ට පවා සයනයිඩ් පැළඳි මේ ඊනියා ත්‍රස්ත නායකයා සිය සයනයිඩ් කරල හපා කෑවේ ද නැත. ප්‍රභාකරන්ට සිය මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය. ඇත්තෙන්ම වෙඩි වදින අවස්ථාවේ ප්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවට ස්ථානගත වී සිටියහ. එහෙත් ප්‍රභාකරන්ගේ පණ සුන් සිරුර හමුවූයේ 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදීය. ප්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකිවිය. චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වන විටම සොයාගෙන තිබිණි. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්ඩායම් ගැන අසන්නට නොලැබේ.

සමහරුන්ට මීට වසර 15කට පෙර ඉතා බිහිසුණු යුද්දයක් මේ රට වෙලාගෙන සිටි බව හොඳින්ම අමතකය. එහෙත් මේ ඉතිහාසය කිසිවිටක අමතක කළ යුතු නැත. තව වසර 500ක් ගියද රණවිරු ජය සැමරිය යුතුය. මීට වසර දෙකකට පෙර අරගල භූමියේ මියගිය කොටි සැමරීමටද සමහරු පැමිණ තිබිණි. අරගලය සැබවින්ම සිංහල බෞද්ධ විරෝධීන්ගේ කුමන්ත්‍රණයකි. ඒ ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. කවරක් නමුත් 2009 මැයි 18 ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ බව ප්‍රකාශ කළේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වුවද තවත් ලක්ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඒ සමඟ නිමා විය. 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. ඊළාම් රාජ්‍යය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ. යේ පරාජය යනු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතිහාසයේ ලැබූ සුවිශාලම පරාජය විය. 2006 මහවිරු ප්‍රකාශය සිදුකරමින් ප්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වූහ. 2008 නොවැම්බර් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මහවිරු ප්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. එහෙත් 2009 දී සියල්ල වෙනස් වූයේ ලෝකයම මවිත කරවමිනි.

හිටපු කොටි නායිකා තමිලිනී ජෙයක්කුමාරන් පිළිබඳ මතකය මීට වසර කිහිපයකට පෙර අලුත් වූයේ ‘තියුණු අසිපතක සෙවණ යට” නමින් ඇගේ ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තිත කෘතිය ජනගතවීමත් සමගය. තමිලිනී තම ජීවිතයේ අග භාගයේදී රෝගීව මරණාසන්නව සිටියදී වුව, තමා උතුරේ අරගලයට කෙසේ එක්විණි ද, එහිදී ඇගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද මේ ග්‍රන්ථයේ මනා කොට විස්තර කර ඇත. මෙම ස්වයං චරිතාපදානය සිංහල බසින් පරිවර්තනය වී 2016 මැයි මාසයේදී ජනගත වූයේ ද්‍රවිඩ ලේඛක සාමිනාදන් විමල්ගේ අපූරු පරිවර්තනය තුළිනි. තියුණු අසිපතක සෙවණ යට කෘතිය ඊනියා කොටි හිතවාදීන්ගේ කෝපයට හේතුවිය. නමුත් මෙය සිංහල පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. කොටි සංවිධානය දෙමළ සමාජයේ විමුක්ති සඟයා නොවූ බවට ද කරුණු රැසක් “තියුණු අසිපතක සෙවණ යට” කෘතියේ ලියැවී ඇත. තමිලිනී පෙන්වා දී ඇති පරිදි සැබෑ කැමැත්තෙන් සංවිධානයට එක් වී ඇත්තේ ඉතාමත් සුළු කොටසක් පමණි. කොටි සංවිධානයට ළමුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉතා ගැඹුරින් සමාජය තුළින් ප්‍රශ්න කෙරෙන අවස්ථාවක් ප්‍රායෝගික සිදුවීමක් ඔස්සේ ඇය සිය ග්‍රන්ථයේ දක්වා ඇත. මෙය හද කකියවන සුළු පුවතකි. එයින්ම දෙමළ ජනයා ප්‍රභාකරන් නිසා කොතරම් පීඩනයට ලක්වූ බව පැහැදිලි නොවන්නේද? ඊළම සමග ප්‍රභාකරන් මියයෑම දෙමළ ජනයාට සැබවින්ම සහනයක් නොවන්නේ යැයි පවසන්නේ කවරකුද? මේ එම උපුටා දැක්වීමය.

“උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක් පුහුණුව සඳහා යොමුකර තිබුණි. දිනක් ඇයගේ පියා කඳවුරට පැමිණියේ ය. ඔහු වෙනත් මවුපියන් මෙන් සටන්කාමීන්ට බැණවැදීමක් හෝ තම දියණිය ඉල්ලා අඬා වැළපීමක් හෝ කළේ නැත. දෙපා අක්‍රීය ඔහු පැමිණ සිටියේ රෝද පුටුවක උපකාරයෙනි. ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සමඟ කතා කළ යුතු වන්නේ මාය. “නංගියේ මං අන්ත දුප්පත් හිඟන්නෙක්. හම්බවෙන කුලියක් මලියක් කරලා ලැබෙන තුට්ටු දෙක එකතු කරලා තමයි මගේ කෙල්ලට ඉගැන්නුවේ. දුව අරගලයට එකතු වුණ එක ගැන මගේ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනේ ඒක. ඒ වුණත් දුවේ හෙට පිටරටවල්වල ඉඳන් දොස්තරලා ඉංජිනියර්ස්ලා වෙලා ඉගෙන ගන්න අය මෙහෙට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තේ නැති හිඟන්නෝ හැටියටනෙ ඉන්න වෙන්නේ.”

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment