ඇය තවමත් අනාරක්‍ෂිතය

376

පසුගිය මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනය සමරන ලදී. ඊට සමගාමීව අප රටේ ද කාන්තා දිනය නිමිති කරගෙන විවිධ සැමරුම් පැවැත්විණි. එහි ජාතික උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ සහ ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

‘ඇය දැයේ අභිමානයයි’ යන තේමාව යටතේ පැවති එම සැමරුම් උත්සවයේදී දිස්ත්‍රික් මට්ටමින් විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් දස්කම් පෑ කාන්තාවන් ඇගයීම ද සිදුවිය. අද වනවිට අප රට දැන් ආර්ථික අවපාතයනට ලක්ව ඇති අතර ඒ සඳහා වගකිව යුතු ආර්ථික අපරාධකරුවෝ සිටිති. නමුත් මෙම ආර්ථික අපරාධකරුවන් අතර අපේ රටේ කිසිදු කාන්තාවක් නොමැති බවද මෙහිදී ජනපතිවරයා සහතිකයක් ලබා දුන්නේය. රට අගාධයට නොව රට ගොඩනැගීමට කාන්තාව ලබාදී ඇති දායකත්වය මෙහිදී පැසසුමට ලක්කළ ජනාධිපතිවරයා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

මේ වන විට අප රටේ ආර්ථිකයේ සුවිසල් බරකට දායකත්වය ලබාදී ඇති කාන්තාව වරෙක දියණියක, බිරිඳක, මවක මෙන්ම වැඩිහිටි කාන්තාවක ලෙස සමාජයේ ඉදිරි ප්‍රගමනය සඳහා ලබාදෙන දායකත්වය සුළුපටු නැත. එනිසාම අප සමාජයේ වඩාත් ගෞරවනීය චරිතයක් ලෙස කාන්තාව එලෙස ඉදිරියට එද්දී ඊට පටහැනිව සමාජය තුළ ක්‍රියාත්මක වන සිදුවීම් කෙරෙහි ද අපගේ අවධානය යොමුවිය යුතුය.

28 හැවිරිදි දීපශිකා ලක්රුවනි කෘෂිකර්ම උපදේශිකාවකි. ඇය තංගල්ල නෙටොල්පිටිය කෘෂි කාර්යාලයට අනුයුක්තව සේවය කළාය. ඇය පෙරේදා (27 වැනිදා) ඝාතනයට ලක්වී තිබුණේ පුද්ගලයකු විසින් ඇයට මන්නයකින් පහර එල්ල කිරීමෙනි. පොහොර ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සමග උරණව මෙම ඝාතනය සිදුවූ බව සැක කරයි. මෙම සිද්ධියේදී ඇයගෙන් යම් අතපසුවීමක් වූවාද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් රාජකාරි ප්‍රශ්නයක් නිසාවෙන් තිරිසන් අයුරින් මෙලෙස ඇයව ඝාතනය කිරීම අතිශය පිළිකුල් සහගතය. විශේෂයෙන් මෙම ඝාතකයා තංගල්ල ප්‍රාදේශීය සභාවට එක්තරා පක්‍ෂයකින් ලැයිස්තුවෙන් පත්වීමට නියමිතව සිටි අයකු බව පැවසේ. අපේක්‍ෂක ලැයිස්තු සැකසීමේදී මෙවැනි නොහික්මුණ පුද්ගලයන් ඉවත් කිරීමට අදාළ දේශපාලන පක්‍ෂ කල්පනාකාරී විය යුතුය.

25 හැවිරිදි සචිනි ජිනාදරී උපාධිධාරිනියකි. ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේදී පෙරේදා (27දා) ඇයගේ මළ සිරුර හමුවන්නේ බොක්කුවක් යටිනි. ඇයගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී තිබේ. ඇයගේ මරණය ඝාතනයක්ද යන්න තවමත් අභිරහසකි.

මේ අතර පසුගිය මාර්තු 10 වැනිදා 26 හැවිරිදි ධනුකා මධුවන්ති නමැත්තිය ඝාතනය කර වෙළක මඩෙහි ඔබා තිබියදී සොයා ගනු ලබන්නේ අලවතුගොඩ පල්ලේගම ඇල්ලකඩේ ප්‍රදේශයෙනි. පොලිස් නිල සුනඛයකු යොදා ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

තවත් කාන්තා ඝාතනයක් ඊයේ (28දා) රත්නපුර බටුගෙදර ප්‍රදේශයෙන් වාර්තා විය. පොලිසිය සැකකරන්නේ 78 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව ජීවත් වූ නිවසේ පසුපස දොර කඩා ඇතුළු වූ මංකොල්ලකරුවකු මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි. ඇය සමග සිටි නැගනිය ද කම්පන තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.

අප ඉහතින් උපුටා දක්වනු ලැබූයේ මෙවර ලෝක කාන්තා දින සැමරුමෙන් දින කීපයකට පසුව සිදුවූ කාන්තා ඝාතන කිහිපයක් පමණි. අප රටෙහි කාන්තාව තවමත් සුරක්‍ෂිත නොමැති බව තේරුම් ගැනීමට ඉහත ඝාතන සිදුවීම් වුවද ප්‍රමාණවත්ය.

කාලයක් කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් කීපදෙනකු ඝාතනය වීම නිසා එම ප්‍රදේශයේ කාන්තාවෝ භීතියෙන් ඇළලී ගියහ. ඇතැම් පවුල් එම ප්‍රදේශය අත්හැර යෑමට තරම් එම සිද්ධීන් ප්‍රබල විය. මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කාන්තා ඝාතන ගැන නිලධාරීන්ගේ නිසි අවධානය යොමු කළ යුතුය. අදාළ ඝාතනකරුවන් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් ලබාදිය යුතුය. ඒ ගැන විවාදයක් නොමැත. එහෙත් අප රටේ කාන්තාවන්ගේ ජීවිත මෙන්ම ඇය ජීවත්වන වටපිටාව සැමවිටම සුරක්‍ෂිත කිරීම සඳහා අප රට සමාජ සංස්කෘතික වෙනසක් විය යුතුය. කුඩා දැරියකව සිටියදී පවා කාන්තාවට විවිධ අතවරවලට මුහුණ දීමට සිදුවන අවස්ථා අප රටෙන් කොතෙකුත් වාර්තා විය. තමන්ම දන්නා පුද්ගලයන්ගෙන් පමණක් නොව ළඟම ඥාතීන් අතින් ද දැරියන් දූෂණය වන විවිධ අවස්ථාවල වාර්තා වෙයි. ධර්මද්වීපය ලෙස හැඳින්වූ අප මාතෘ භූමියට එය මදිපුංචිකමකි. එනිසා මෙම මුළු මහත් සමාජයම අපේ කාන්තාවන්ට ගෞරවනීය ලෙස සලකන සමාජ සංස්කෘතික වෙනසක් ඇතිකිරීමට පෙළගැසිය යුතුය. එය පළමුව නිවසින් ආරම්භ කළ හැකිය. දෙවනුව පාසලෙනි. තෙවනුව ආගමික මධ්‍යස්ථානවලිනි. සමාජයට පිවිසෙන කාන්තාවන්ට මහමගදී මෙන්ම විවිධ ස්ථානවලදී සිදුවන අතවර නතර කළ හැක්කේ අප මුළු මහත් සමාජයම ඇයගේ ස්ත්‍රීත්වයට මාතෘත්වයට ගරු කරන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙනි. ඒ සඳහා අදාළ පාර්ශ්වවල වගකීම මේ මොහොතේ අනිවාර්යෙන්ම ඉටුකළ යුතුය. එසේ නොවනතාක් අපේ කාන්තාව අනාරක්‍ෂිතය.

advertistmentadvertistment
advertistmentadvertistment