බලාගෙනයි….. වංගු ගහනු බොරු!

6430

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස් සැමරුම් උළෙල අවසන් වූවා පමණි. තවමත් ගතවී ඇත්තේ දින දෙකක් වැනි කාලයකි. ඒ නිදහසේ සැමරුම් උළෙල පිළිබඳ සාධනීය මෙන්ම නිශේධනීය විවේචන ද ඇසුණි. තායිලන්ත අගමැති ශ්‍රෙෂ්ථා තව්සින් මහතා ආරාධිත අමුත්තා ලෙස උළෙලට සහභාගිවී සිටි අතර ජනාධිපති, අගමැති හා මැති ඇමැතිවරු පිරිසක් ද එයට එක්වී සිටියහ. මාධ්‍ය වාර්තා අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ද උත්සවයට සහභාගි නොවූහයි සඳහන් විය. එසේම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද එම උළෙලට එක්නොවීම කැපී පෙනුණි. ඒ හැර දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයන් සිටි බවක් ද වාර්තාවී නැත. කුමක් වුවත් මේ පැමිණීම් හා නොපැමිණීම් වලින් පැහැදිලි වන්නේ මේ රටේ ජාතික නිදහස් දිනය සම්බන්ධයෙන් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික නායකයන්ට පවා අභිමානවත් හැඟීමක් නැති බවය. උත්සවයේ සම්භාවනීය අමුත්තා ලෙස එක්ව සිටි තායිලන්ත අගමැතිවරයාට මේ සිදුවීම් ප්‍රබල ලෙස දැනෙන්ට ඇතැයි කිව නොහැක. එහෙත් තම රටේ ජනතාව මෙන්ම නායකයන් ද මෙවන් ජාතික උත්සවයකදී ප්‍රමුදිතව සිටින ආකාරය නම් තායිලන්ත අගමැතිවරයාට සිහිපත් වන්නට ද ඇත. තායි වැසියෝ එරට රජුට අප්‍රමාණව බුහුමන් දක්වන්නෝය. ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය හා නිදහස පිළිබඳ උදාර සිතිවිලි ද තායි ජනතාවට තිබේ. 1960 වන විටත් දුප්පත් රටක්ව තිබුණු තායිලන්තය අද මැදි ආදායම් ලබන රටකි. ආසියාවේ විශාලතම ආර්ථික වර්ධනය අනුව තායිලන්තයට හිමිව ඇත්තේ නවවැනි ස්ථානය බව ද පැවසේ.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මෙන්ම දේශපාලන වශයෙන් අවුල් ජාලයකට ද පත්ව සිටින රටක් ලෙස මෙම 76 වැනි නිදහස් සැමරුම එළැඹ තිබුණු බව ද කව්රුත් දනිති. එහෙත් තවමත් මේ සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද සමනය කර රට මෙහෙයවිය හැකි දේශපාලන නායකත්වයක් අපට ඇති බවක් ද නොපෙන්. එළැඹෙන ජනාධිපතිරණයෙන් හා මහ මැතිවරණයෙන් මේ රටේ ලක්ෂ 220 කට නොඅඩු ජනතාවගේ ඉරණම වෙනස් වනු ඇද්ද යන ප්‍රශ්නය ද අපට තිබේ. මෙම නිදහස් උළෙලේ තේමාව බවට පත්වූයේ ද ‘හදමු අපි අලුත් රටක්’ යන්නය. එහි තේරුම තවම මේ රට හැදී නැති බවය. නැතහොත් සමාජ, ආර්ථික හෝ දේශපාලන පිබිදීමක් ඇතිවී නැති බවය. ඉකුත් වසර හැත්තෑ පහකම අපේ සමාජ – ආර්ථික දේශපාලන ශේෂ පත්‍රය ඉතා හිස් එකක් බවය. මේ නිදහස් උළෙල පැවැත්වෙන්නේ ද අන් කවරදාකටත් වඩා දුෂ්කර ආර්ථික අභියෝග මැදය. එසේ වූයේ පැහැබර රාජ්‍ය නායකත්වයක් මේ රටට නොලැබීම නිසා යැයි තනි වැකියකින් ලිවීම සෑහේ.

බලාගෙනයි….. වංගු ගහනු බොරු!

මෙම නිදහස් සමරුව වෙනුවෙන් බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයකදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් කරන ලද ප්‍රකාශය මේ දේශපාලනඥයන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයක් බඳු විය. කාදිනල් හිමියන් විසින් ප්‍රශ්න කරන ලද්දේ ආර්ථික හා දේශපාලන ප්‍රපාතයක තිබෙන මේ රටේ සමරන්නේ පාලකයනගේ නිදහස ද? නැතහොත් ජනතාවගේ නිදහස ද? යන්නයි. විදේශ තානාපතිවරුන් සහ වෙනත් ප්‍රභූන් කැඳවා ඔවුන් ඉදිරිපිට හමුදා පෙළපාලි, පෙරෙට්ටු පෙන්වා කරන්නේ, බඩගින්නේ සිටින ජනතාවට සමච්චලයක්දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ. එපමණක් නොව රටට ආදරය කරන නව නායකත්වයකට රට භාර කළ යුතු බවට උන්වහන්සේ යෝජනාවක් ද ඉදිරිපත් කළහ. ජාතික නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වීම මෙන්ම ඒ ජාතික ප්‍රබෝධය පුරවැසියන් තුළ ජනිත කරවීම ද වරදකැයි කිව නොහැක. එහෙත් ජාතික හා සංස්කෘතික අභිලාෂයන් ඇතිකරවීමට වඩා වෙනත් පටු අරමුණු උදෙසා පාලකයන් එබඳු අවස්ථා යොදාගන්නා ආකාරය පිළිබඳව අපට ද විවේචනයක් තිබේ.

බොහෝවිට අපේ දේශපාලනඥයන්ට තිබෙන සැණකෙළි මානසිකත්වය හා සෝභන වියදම් රටාව නිසා ජනතාව වුවද මෙබඳු අවස්ථා දකින්නේ අනිසි ලෙස ජනතා මුදල් වැය කිරිමක් ලෙසය. සාමාන්‍යයෙන් අප බොහෝදෙනකු දන්නා පරිදි ගම්වල ජීවත්වන ඇතැම් අයද මඟුල් තුලාවකදී ණයට හෝ මුදලක් ගෙන අලංකාර ලෙස ඒවා පැවැත්විමට ද පුරුදුව සිටිති. අද රටේ තිබෙන අසීරු ආර්ථික දුෂ්කරතා මෙන්ම බදු බරින් පීඩනයට පත් ජනතාව ගැන සංවේදී නොවී, රාජ්‍ය මුදල් වැය කිරීම ගැන විපක්ෂය මෙන්ම වෙනත් සිවිල් සංවිධාන පවා ප්‍රශ්න කර තිබුණි. අනෙක් අතට වත්මන් සමාජ වටපිටාව නිසා ජනතාව තුළ යම් පමණක් හෝ ජාතික හැඟීමක්, ස්වදේශීය ආලයක් තිබිය හැකි ද යන්නත් අවිනිශ්චිතය. මෙම ජාතික නිදහස් සැමරුම පිළිබඳ දැක්වූ අදහස්වල හරය වූයේ මේ දුගී බවේත් පීඩනයේත් බර දරාගෙන මොහොතකට හෝ සතුටු විය නොහැකි බවය. කාලතුවක්කු වෙඩි හඬින් හාත්පස ගගුම් දුන්නත් ඒ කිසිවකින් පීඩිත කඳුළ සුසුම යටපත් කළ නොහැකි බව ද සමහරු කීහ. එහෙත් සිංහල ජනවහරේ එන පරිදිම මරණ තුනක් තිබුණත් පැණි කෑමේ ජාතික දුබලතාවක් ද අපට තිබේ. ඒ ගැන ඊට වඩා කතා කළ යුතු නැත.

කෙසේ හෝ අපට හැඟෙන පරිදි නම් වත්මන් සමාජ දේශපාලනය කැළඹූ තවත් සිදුවීම් කීපයක්ම මේ නිදහස් සැමරුම් කාලයට පෙර සිදුවී තිබුණි. එකක් ආණ්ඩුව විසින් ලහි ලහියේ සම්මත කළ ඔන්ලයින් පනතය. ඊට අමතරව මේ වනවිට අධිකරණය අබියස අභියෝගයට ලක්ව තිබෙන ප්‍රතිත්‍රස්ත පනතය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට හරස් වන්නක් ලෙස ජාත්‍යන්තර සංවිධාන පවා කනස්සල්ල පළකර තිබෙන ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත පැහැදිලිවම දේශපාලන අරමුණක් සහිත එකකි. එහි අපේක්ෂාව ජනතාව සුරැකීම නොව තම පාලනයට එරෙහිව ඉදිරිපත් විය හැකි විවේචන, චෝදනා ආදියට පෙර සූදානමක් බව සැඟවිය නොහැක. මෙවන් පනතක් වුවමනා ඇයි? පාලකයන්ට වුවමනා පරිදි නිලබල යොදාගනිමින් මහජන මුදල් වංචාකිරීමට හො ඔවුන්ගේ ව්‍යාපාරික චෞරයන්ට රිසි ලෙස පෙම් කෙළීමට හෝ මේ සමාජ මාධ්‍ය මහා බාධකයක් වීම නිසා ද?

මේ රටේ බදු හොරුන්, කෝටි ප්‍රකෝටි ගණනින් ආණ්ඩුවලට පොලු තැබූ තක්කඩියන් පිළිබඳ රටම දැනගන්නේ මෙම සමාජ මාධ්‍ය නිසාය. මෙලෙස තොරතුරු සංසරණය වීම යනු දේශපාලන අධිකාරියට ප්‍රබල ප්‍රශ්නයකි. මඩගැසීම, අසත්‍ය ප්‍රචාර වැනි තේමාවන් යොදාගෙන මෙබඳු දුෂ්ට නීති සම්මත කිරීමට ඉඩදිය යුතු නැති බව සමාජය පිළිබඳ දන්නා පුරවැසියන්ගේ අදහසය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කිවේත් මෙම පනත ඉවත් කර ගත යුතු බවය. කාන්තා හා ළමා ආරක්ෂාව සඳහා මේ රටේ තිබෙන ව්‍යවස්ථාමය විධිවිධාන ප්‍රමාණවත් බව ද ඇය පෙන්වා දෙයි.

මෙම පනත සම්මත කිරීම දක්වා වූ ක්‍රියාවලියම යහපත් එකක් නොවන බව විපක්ෂවල ද අදහසය. පාර්ලිමේන්තු ක්‍රියාදාමයට මෙන්ම මෙම පනතට අභියෝග කළ අධිකරණ ක්‍රියාන්විතයට ද දායක වූ ජනාධිපති නීතිඥ ඇම්. ඒ. සුමන්තිරන් චෝදනා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද සංශෝධන ගණනාවක්ම පනතට ඇතුළත්වී නැති බවය. මෙය ව්‍යවස්ථා සම්පාදනය කරනු ලබන ආයතනයෙහි ගෞරවය සම්බන්ධයෙන් ද අදාළ විවේචනයකි. මේ පනත රටේ ව්‍යවස්ථාවට පටහැනි වගන්තිවලින් යුතු වූ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විය. එය සංශෝධනය විය යුතු ආකාරය ද පෙන්වා දී තිබුණි. එහෙත් ඒ කිසිවක් නොතකා මේ පනත සම්මත කර තිබේ ද යන්න එයට අත්සන් කළ පාර්ලිමේන්තුවේ කථානායකවරයා පැහැදිලි කළ යුත්තකි. පනත ඉදිරිපත් කළ ඇමැතිවරයාට අනුව අදාළ සංශෝධන පසුව ගෙන එන බව පැවසීම ද ගැටලු සහගතය. නීතියක් සම්මත වූ පසු එයට අණ්ඩ දැමීමට කල්පනා කරන්නේ ඇයි? කුමක්ද මේ හදිස්සිය යන්න අපටද ප්‍රශ්නයකි. රටේත් ජනතාවගේත් පොදු යහපත සඳහා සම්මත කරනු ලබන පනතක් නම් එහිදී වංගු ගැසිය යුතු නැත. සාකච්ඡාවෙන් – සම්මුතියෙන් එය කළ නොහැක්කේ ඇයි? කාගේ හෝ උද්ධච්ඡ මානසිකත්වයක්ද?

මේ රටේ දේශපාලනය, ජරපත් හා දූෂිත ව්‍යාපාරයකැයි පොදුවේ විවේචනයක් ඇත. අද වන විට ඒ දේශපාලන පන්තිවල නැතහොත් ස්ථරවල බලය වෙනුවෙන් ප්‍රබල ප්‍රතිචාර දෙකක් ඇත. එකක් මැර බලයයි, අනෙක මර්දන නීතියයි. ඉහත කී දේශපාලන පරිහානිය වළක්වා ගැනීම වෙනුවට ජනතාව මර්දනය, බලහත්කාරය වැනි ෆැසිස්ට් ප්‍රතිචාර සඳහා මේ බොහෝ පක්ෂ නැඹුරු වි සිටිති. පාතාලය ද මේ දේශපාලන සෙවණ යට වැඩුනකි. බෙලිඅත්තේදී ඝාතනයට ලක්වූ පක්ෂනායකයා හා සම්බන්ධ සිදුවීම් පෙළ සමග පාතාල සබඳතාවක් ද ඇතැයි කියති. ඒවායේ සුලමුල නුදුරු අනාගතයේදී හෙළිවීමට නියමිතය.

දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් බොහෝවිට ඒ ඒ පක්‍ෂවල නායකත්වය ද අනුමත කරන්නකි. මැති ඇමැතිවරුන්ගේ සිට ප්‍රාදේශීය දේශපාලනය දක්වා මේ මැර බලය යොදා ගැනීම සම්බන්ධ දැඩි චෝදනා පවා තිබේ. 1977 දී සමාජගත වූ මෙම මැර ක්‍රියාකාරකම් අද වනවිට හැම පක්‍ෂයකම යටිපෙළක් වෙමින් තිබේ. එහෙත් ප්‍රභූ නායකයන් ලෙස සිටින අය මෙබඳු දේවල්වලින් දෑත් කිළිටි කර නොගනිති. ඇතැම් පක්‍ෂවල සිටින චරිත මෙබඳු මැර මෙහෙයුම්වලට ද කුප්‍රකටය. 2022 ගාලුමුවදොර විරෝධතා භූමියට ප්‍රහාරයක් එල්ල කළේ ද එබඳු මැර මන්ත්‍රීවරයකුගේ මෙහෙයවීමෙන් බව ද ජනතාව දනිති. මේ ගනයට අයත්වන බොහෝ මැරයන්ට ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් තබා ශීලාචාර ගුණධර්ම ද නැත. එහෙත් ඔවූහු ඇමැති, රාජ්‍ය ඇමැති ලෙස ද පත්කර ගනිති. මැතිවරණවලදී මේ මැරයන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම්, සාමාන්‍ය දේවල් බවට ද එදා පත්ව තිබුණි. අදත් යම් ප්‍රමාණයකට ඒවා දැකගැනීම අසීරු නැත. පසුගිය දිනවල සාමකාමී විරෝධතාවන්ට බාධා කළ මුහුණු ආවරණය කළ මැර කණ්ඩායමක් පිළිබඳව කොල්ලුපිටියෙන් ද වාර්තා විය. ඒවා නිහඬව ඉවසීමට පොලිසියට ද සිදුවන අවස්ථා ඇත.

අවසාන වශයෙන් අප අවධානය යොමු කළ යුතු තවත් සුවිශේෂී සිදුවීමක් ද වේ. ඒ ආණ්ඩුවත් එහි නායක කාරකාදීනුත් ජාතික නිදහස් උළෙලට ලකලෑස්ති වෙමින් සිටියදී, ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු රිමාන්ඩ් භාරයට පත්වීමය. ඒ වූ කලී ආන්දෝලනාත්මක වූ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරමක් සම්බන්ධ සිද්ධියකට සැකපිට ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වූ කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් භාරයට පත්වීමය. ඔහු දැන් මේ ආණ්ඩුවේ පරිසර ඇමැතිවරයාය. මෙම අදාළ ඖෂධ ජාවාරම සිදුවන අවස්ථාවෙහි, සෞඛ්‍ය ඇමැති ධුරය හොබවන ලද්දේ කෙහෙළිය විසිනි. අධිකරණයේදී මේ ඖෂධ මගඩිය පිළිබඳව නඩුව විභාගයට ගත්විට කෙහෙළියගේ කාර්යභාරය අනාවරණය වනු ඇත. දැනට ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙස නම්කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් පැවසීමට අපට අවකාශ නැත. එහෙත් මේ සිදුවීම ඔස්සේ ලැබෙන අගනා දේශපාලන පිණිවුඩයක් ඇත. ඒ වනාහි මහජනයා වෙනුවෙන් ක්‍රියා කිරීමට බැඳී සිටින්නා වූද තම කාර්යභාරය පිළිබඳ ජනතාවට වගකිවයුතු ධුරයක් හොබවන්නා වූද අයකුට තිබෙන භාරදූර සමාජ වගකීම කෙබඳු ද යන්නයි.

ඉහත සඳහන් කළ පරිදිම මෙරටේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් සිටියදීම රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්වූ ප්‍රථම ඇමැතිවරයා කෙහෙළිය රඹුක්වැල්ලය. මෙසේ අත්අඩංගුවට පත්වන තුරුම කෙහෙළියට එරෙහිව දැවැන්ත විරෝධයක් සිවිල් ක්‍රියාකාරීන්ගේ මෙන්ම වෛද්‍ය ක්‍ෂේත්‍රයට අයත් විවධ පුද්ගලයන්ගෙන් ද එල්ල විය. ඔහුට සමීප ඇතැම් නීතිඥයන්ගෙන් ඔහුව පිරිපහදු කර ගැනීමේ ප්‍රයත්නයන් ද දැකගත හැකිවිය. එපමණක් නොව සිය නිලබල අනුහසින් රහස් පොලිස් නිලධාරීන් නිල නිවසට කැඳවා ප්‍රකාශ ලබාදීමට ද ඔහුට හැකි විය. ත්‍රාසය හා කුතුහලය පිරුණු මාලා නාටකයක් ලෙස දින ගණනාවක් ඔස්සේ රූපවාහිනී නාලිකාවල ඔහු හා සම්බන්ධ ක්‍රියාකාරකම් දෙස ජනතාව බලා සිටියහ. මුලදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විසින් ද ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කරන ලදී. හරි වැරැද්ද කුමක් වුවත් තම සගයා රැක ගැනීමට ආණ්ඩුවේ බහුතරයක් කෙහෙළියට පක්‍ෂව ඡන්දය දී ඔහු බේරා ගත්හ.

ජනාධිපති රනිල් ද තම කැබිනට් ඇමැතිවරයාට එරෙහිව ගොඩනැඟෙන සමාජ, දේශපාලන විරෝධය කෙබඳුදැයි දැන සිටින්ට ද ඇත. ඒ අනුව සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඔහු ඉවත් කර පරිසර ඇමැතිවරයා ලෙස පත්කරනු ලැබුණි ද? එය එසේ සිදුනොවිය යුතු දෙයක් වුවද අපේ රටේ දේශපාලන භාවිතය තුළ එය සාමාන්‍ය දෙයකි. ඇත්තටම දේශපාලනයේදී සම්මතයක් වී ඇත්තේ ‘අපේ හොරා අපට හොඳා’ යන්නයි. ජයවර්ධන පාලන සමයෙහි සිටම මැති ඇමැතිවරුන්ට මැර චෝදනාවලට අමතරව දූෂණ-වංචා-අයථා ධනය ඉපයීම් වැනි චෝදනා තිබුණි. මහජන මුදල් ගසාකෑම් සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ එබඳු චෝදනා, රාජපක්‍ෂ පාලනයේදී හා ඉන් පසුවත් ශීඝ්‍ර වර්ධනයකට ලක්වූ බවක් ද පෙනී යයි. මෛත්‍රී-රනිල් යහපාලන සමයේදී එබඳු දූෂණ, වංචා, මගඩි ගැන ලැබුණු චෝදනා විමර්ශනයකට පවා බඳුන් විය. එහෙත් කිසිවෙක් නීතිය ඉදිරියට පමුණුවාලීමක් සිදුවූයේද නැත. සිංගප්පූරුවේ, චීනයේ හෝ කොතැනක හෝ රටක දූෂිතයන්, වංචනිකයන් හිරේ යද්දී ‘ලංකාවේ’ එහෙම වෙන්නේ නෑ නෑ’යි කියමින් ජනයා ද හුරේ දැමූහ. ඒ සිය කෝපය වෙනුවෙනි. තමන් විසින් ඡන්දයෙන් පත්කර ගන්නා ලද පුද්ගලයාට කුමන හෝ වරදකට දඬුවමක් දීමට ක්‍රමයක් ද අපේ රටේ නැත. චෝදනා තිබුණාට ඒවා ඔප්පු වෙන්නටත් එපා යැයි කීමට හොරුන්ට ද අවකාශ ලැබුණි. එසේම පහළ අධිකරණයකින් වැරදිකරුවන් වන මැති ඇමැතිවරුන්ට වුවද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර එහි තීන්දුව ලැබෙන තෙක් වරප්‍රසාද, ඇමැති ධුර විඳීමට බාධාවක් නැත. මන්ත්‍රීවරයකු හොරෙක් ලෙස තහවුරු වී දඩ ගැසුම් කෑවත් ඔහු තවදුරටත් ගරු මන්ත්‍රීවරයකු ලෙස රටේ නීති සම්පාදනයට ද දායක වෙයි. මේ එහෙව් විකෘති දේශපාලන සංස්කෘතියක් සහිත රටකි. ඇත්ත වශයෙන්ම ඕනෑම සමාජ දේශපාලන අපරාධයක් කර නිදහසේ සිටීමට ඒ තුළ බාධාවක් නැත.

අද මෙරටේ පවතින දේශපාලනය, සංස්කෘතික හා බුද්ධිමය ව්‍යාපාරයක් බවට පත්විය යුතුය යන අවධාරණය 2022 ගාලුමුවදොර අරගලයෙන් රටට ලබාදුන්නකි. දැන් කෙහෙළිය සම්බන්ධ ක්‍රියාදාමයෙන් බල කෙරෙන්නේ ද ගැඹුරු හා බුද්ධිමය දේශපාලනයකට රට යොමුවිය යුතු බවය. ජනජීවිත සමග සෙල්ලම් කිරීමට මෙන්ම තම අභිමතය පරිදි වග විභාගයකින් තොරව ක්‍රියා කිරීමට ද දේශපාලනය තුළින් බලයට පත්වන අයට ඉඩ නැති බව නිවැරදිව තේරුම් ගැනීම, පක්‍ෂවල හා නායකයන්ගේ ද වගකීමකි. පැරණි වැඩවසම් ප්‍රභූ කේන්ද්‍රීය දේශපාලන බලය අසීමිතව නැතහොත් ගෙඩියපිටින්ම භාවිත කර වුවද නීතියෙන් ගැලවිය හැකිය යන මානසිකත්වය දැන් අවලංගු වෙමින් තිබෙන බවද කෙහෙළියට ලැබුණු අධිකරණ ප්‍රතිචාරයෙන් තහවුරු කර ඇත. දේශපාලන බල අධිකාරිය ප්‍රශ්න කිරීම සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීමක් බව ද මෙහිදී සනාථ වී තිබේ. මහජන ජීවිත අවදානම් තත්ත්වයකට ඇද දමන කැබිනට් ඇමැතිවරයකුට වුවද ජනතාවට වගඋත්තර බැඳීමට සිදුවන බව මේ සිදුවීම තුළින් සියලු නිල බලවලට ද නිකුත් කෙරෙන ප්‍රබල සංඥාවකි.

අද මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ප්‍රතිවිරෝධතාවන්ගෙන් මෙන්ම ඛේදජනක සිදුවීම්වලින් ද ගහන වූවකි. ජනතාව තුළ අනාරක්‍ෂිත බව පිළිබඳ භීතියක් ද වැඩෙයි. ජනතාව මුහුණ දෙන ප්‍රබල ප්‍රශ්නය ජීවන වියදමයි. ආහාර සුරක්‍ෂිතතාවක් නැත. වැටුප් ලබන අයගේ වැය බර ශීඝ්‍රයෙන් ඉහළ යයි. රැකියා අහිමිවීම් ගැන ද මැසිවිලි බොහෝය. සමාජ-ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව දැඩිව දැනුණත්, එබඳු සැලැස්මක් ද කිසිවෙක් ඉදිරිපත් කර නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment