යාවත්කාලීන නොවූ අපේ සෞඛ්‍ය සේවය

316

ඔස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසිභාවය පවත්නා කිසිවෙකුත් රෝහලකට ඇතුළත් වූ පසු මුදල් ගෙවීමක් සිදු නොකරයි. ඒ අය කරන්නේ තමන්ගේ හැඳුනුම්පත ලබාදීම පමණයි. ඒ අය තමන්ගෙ බදු මුදල් හරහා රක්ෂණ ආවරණයකට බැඳී සිටියි. ලංකාවේද, ඒ අයුරින් දැවැන්ත බද්දකට යටත්ව එකී බද්දෙන් සෞඛ්‍ය සේවය නඩත්තු කළද, එවැනි රටක මෙන් සේවයක් ලබා නොදෙනවා පමණක් නොව රෝගීයාට මනුෂ්‍යයෙකු ලෙස ගෞරවාන්විතව සැලකීම හෝ දක්නට නොලැබෙයි. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය පමණක් නොව චීනය වැනි රටවල පවා පුරවැසියන් රෝහල්ගත වනවිට රැගෙන යන්නේ තමන්ගෙ හැඳුනුම්පත පමණකි. එයට බදු ගෙවා ඒ වෙනුවෙන් ලබාගත් රක්ෂණාවරණයක් ඇතුළත්ය. අප රටේද, බදු මුදල් විවිධ ලෙස විවිධ නම්වලින් ලබාගත්තත්, ඒ මගින් නඩත්තු වන සෞඛ්‍ය සේවයට එය සෘජුව සම්බන්ධ වුවත්, ඒ බව රජය පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවා පිළිගන්නා බවක් නොපෙනෙයි.

ආකල්පමය වෙනසකින් තොරව රටට කිසිදු සාර්ථක දියුණුවක් අත්පත් කරගත නොහැකිය. මෙවර මා විසින් අවධානය යොමු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇසුරින් මේ බව සැකෙවින් විමසා බැලිය හැකිය. බොහෝ දෙනෙකු විසින් මෙරට “නිදහස් සෞඛ්‍ය සේවය“ ගැන කියා සිටියද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එහි අදහස පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබේදැයි සැක සහිතය. මන්ද යත් එය නොමිලේ ලැබෙන බවක්ද, ඒ නිසාම එය කිසිදු වග විභාගයකින් තොරව භාරගත යුතු බවට මතයක්ද, සමාජය තුළ තහවුරුවී ඇති බැවිනි. නොමිලේ ලබාදෙන නිසාම ලබා දිය හැක්කේ මෙපමණක් පමණක් බවත්, ලබාදෙන දෙයින් සෑහීමට පත්විය යුතු බවත්, බලධාරීන් පවා අවධාරණය කරනු ලබන අවස්ථා අපට දකින්නට ලැබේ. එහෙත් අප විසින් අමතක නොකළ යුතු කාරණයක් ඇත. එය නම් රටේ නිදහස් සෞඛ්‍ය සේවය ලබාදෙනු ලබන්නේ ජනතාවගේම බදු මුදලින් බවයි. වෙනත් අයුරකින් කිවහොත් ජනතාව සිය බදු මුදල් හරහා දැනටමත් තම සෞඛ්‍ය සේවය වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවයි. එහෙත් මෙම සත්‍යය පිළිගැනීමට කැමති වන්නේ කවුරුන්ද?

පුද්ගලික රෝහලකට ගිය විට වාහන අංගණයේ සිට ලැබෙන ආගන්තුක සත්කාරය, නිසි පිළිගැනීම, ගෞරවාන්විතව සැලකීම රජයේ රෝහලකට ගිය විට නොලැබෙයි. බැංකුවක මුදල් තැන්පතුවක පොලියට කපා ගන්නා මුදලේ සිටම ජනතාව විවිධ අවස්ථාවන්හි අතිවිශාල මුදලක් බදු වශයෙන් ගෙවයි. එවන් බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවයක් හුදු වචනාර්ථයෙන් “ නිදහස්“ වුවද, සැබවින්ම නිදහස් නොවන බැව් පිළිගත යුතුය. මෙම වචනය පිළිබඳ පවා ආකල්පය වෙනස් විය යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම රෝගී ජනයාට තමාගේ මහන්තත්ත්වය පෙන්වන්නේ මේ බව නොදැනය. නැතිනම් දැනුවත්වම නොසලකා හැරීමෙනි. රෝගී ජනයා යනු දන්සැලක පිං බත් බුදින්නට එන පිරිසක් නොවන බැව් මොවුන් වටහා ගත යුතුය. ඔවුන් ගෙවා ඇත්තේ තමන්ට ලැබීමට නියමිත සේවයට පමණක් නොව වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලවල වැටුප් හා වරපස්‍රාදවලටත් එක්කමය.

රජයේ රෝහලකට සේවය ලබා ගැනීමට රෝගියා කැටුව එන වාහනය නවතා ගැනීමට වත් ඔවුන්ට ඉඩක් නැත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වාම වාහන අංගණය පුරවාගෙන සිටියි. ඒ අනුව රෝගියෙකු රෝහලට පැමිණෙන මොහොතේ සිටම වෙනස් කොට සැලකීමට ලක්වෙයි.

ඔස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසිභාවය පවත්නා කිසිවෙකුත් රෝහලකට ඇතුළත් වූ පසු මුදල් ගෙවීමක් සිදු නොකරයි. ඒ අය කරන්නේ තමන්ගේ හැඳුනුම්පත ලබාදීම පමණයි. ඒ අය තමන්ගෙ බදු මුදල් හරහා රක්ෂණ ආවරණයකට බැඳී සිටියි. ලංකාවේද, ඒ අයුරින් දැවැන්ත බද්දකට යටත්ව එකී බද්දෙන් සෞඛ්‍ය සේවය නඩත්තු කළද, එවැනි රටක මෙන් සේවයක් ලබා නොදෙනවා පමණක් නොව රෝගීයාට මනුෂ්‍යයෙකු ලෙස ගෞරවාන්විතව සැලකීම හෝ දක්නට නොලැබෙයි. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය පමණක් නොව චීනය වැනි රටවල පවා පුරවැසියන් රෝහල්ගත වනවිට රැගෙන යන්නේ තමන්ගෙ හැඳුනුම්පත පමණකි. එයට බදු ගෙවා ඒ වෙනුවෙන් ලබාගත් රක්ෂණාවරණයක් ඇතුළත්ය. අප රටේද, බදු මුදල් විවිධ ලෙස විවිධ නම්වලින් ලබාගත්තත්, ඒ මගින් නඩත්තු වන සෞඛ්‍ය සේවයට එය සෘජුව සම්බන්ධ වුවත්, ඒ බව රජය පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවා පිළිගන්නා බවක් නොපෙනෙයි.

අනෙක් අතට වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සේවා පහසුකම් රට පුරා බෙදීයාමේ බරපතළ විෂමතාවක් නිර්මාණය වී තිබේ. ජනාධිපතිතුමා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ආදී සියලුම දෙනා ඊට වගකිව යුතුය. මන්දයත් මෙම විෂමතාව කෙරෙහි අවධානය යොමු නොකොට සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් දළ ජාතික ආදායමෙන් කොපමණ ප්‍රතිශයතයක් වෙන් කරන්නේද, අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක් වෙන් කරන්නේද, යන්න දැවැන්ත පුවත් මවා ප්‍රචාරය කිරීම යනු මැතිවරණයක් ආසන්නයේ හාල් මිටි බෙදීමේ ක්‍රියාදාමයට වඩා වැඩි වෙනස් යමක් නොවන බැවිනි.

වෛද්‍ය කේන්ද්‍රීය සෞඛ්‍ය සේවය

අපට මෙරට අත්දැකිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහසුවට ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබූ සෞඛ්‍ය සේවයකි. නිදසුනක් ලෙස ජනතාවගේ අවශ්‍යතාව අනුව වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය හැසිරවීමක් දක්නට නොලැබෙයි. සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය උපකරණ පවා ලබාදෙන්නේද, භාවිතා කරන්නේද, අවශ්‍යතාවට අනුව නොවීම දැවැන්ත ඛේදවාචකයකි. නිදසුනක් ලෙස රටට ලැබුණු වකුගඩු රෝහල ස්ථාපිත කෙරුණේ පොළොන්නරුවේය. වකුගඩු රෝගීන් බහුලව දකින්නට ලැබෙන්නේ කුරුණෑගල, අනුරාධපුර හා පොළොන්නරුවය. කුරුණෑගල වකුගඩු රෝගියාට ලේ පිරිසිදු කර ගැනීමට (dialysis) පොළොන්නරුවට යා යුතුය. එම රෝහල මෙම දිස්ත්‍රික්කවල මධ්‍යයට වෙන්නට ස්ථාපිත කළේ නම් සියලු ජනයාට පහසුවෙන් සේවය ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ අයුරින් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපන් ගම හෝ මැතිවරණ බල ප්‍රදේශය අනුව සෞඛ්‍ය සේවයට ප්‍රමුඛස්ථානයක් ලැබීම සිදුනොවිය යුත්තකි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය පිළිබඳ අවධානය යොමුකරන විටද, තත්ත්වය වෙනස් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට මාරු කර යැවීමට සෞඛ්‍ය කළමනාකරිත්වය බියක් දක්වන අතර මනාව පුහුණුව ලත්, අත්දැකීම් ඇති සියලු විශේෂඥ වෛද්‍යවරුන් සේවය සපයන්නේ කොළඹ අග නගරය හා තදාසන්න ප්‍රදේශවල වීම කෙතරම් විහිළුවක්ද? නිදසුනක් ලෙස ගතහොත් ලෝකයේ දියුණු රටවල ඇත්තේ පවුල් කේන්ද්‍රීය (Family Centered) හෝ ප්‍රජා මූලික (Community Centered) සෞඛ්‍ය සේවයකි.

සිංගප්පූරුවේ ඇත්තේ පවුල් කේන්ද්‍රීය සෞඛ්‍ය සේවයකි. මවුන්ට් එලිසබෙත් රෝහල සලකා බැලුවහොත් එහි රෝගියාගේ පවුලේ උදවියට රෝගියා සමග නැවතී සිටිය හැකිය. රෝගියාට සත්කාර කළ හැකිය. එවිට රෝගියාට තමන් තනිවී ඇති බවක් නොදැනෙයි. වෙදකම තරමටම හෙදකමද ලැබෙයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රජා මූලික ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබේ. ඒ අනුව තම ප්‍රජාවේ කෙනෙකු රෝහල් ගත වුවහොත්, ප්‍රජාව නියෝජනය කරන උදවියට අදාළ රෝහලේ නැවතී එහි උද්‍යාන අලංකරණය, පරිසරය පිරිසිදු කිරීම, විනෝදාස්වාද කටයුතු සඳහා සහයවීම ආදිය කරනු ලබයි. එවිට රෝගියාට තමන් රෝගියෙකු පමණකැයි යන මානසික්වය වෙනුවට තම ප්‍රජාව තුළම තවදුරටත් සතුටින් සිටින බව දැනෙයි. එය අතිශය වැදගත් එළඹුමකි.

මේ අයුරින් එවැනි ලෝකයේ දියුණු රටවල් පවුල් කේන්ද්‍රීය, ප්‍රජා මූලික සෞඛ්‍ය සේවා පිළිබඳ අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකාවේ සිදුවන්නේ හණමිටි අදහස් සමග ආපස්සට ගමන් කිරීමයි. එනම් වෛද්‍ය කේන්ද්‍රීය සෞඛ්‍ය සේවයක් තවදුරටත් පවත්වාගෙන යාමයි. රෝහලක ගොඩනැඟිල්ලක් ස්ථාපිත කිරීම, ඇතුළත වාට්ටු බෙදා වෙන් කිරීම, වෛද්‍ය උපකරණ ලබා ගැනීම පවා සිදුවන්නේ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යමණ්ඩලයේ අවශ්‍යතාවටය. එය කළ යුත්තේ රටේ භූගෝලීය විෂමතාවක්, ජන ඝනත්වය, රෝග ව්‍යාප්තිය ආදී සාධක සැලකිල්ලට ගනිමිනි. එහෙත් අවාසනාවට සිදුනොවන්නේද එයයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය මිලියන එකහමාරකි. වෛද්‍යවරුන් විසි පන්දහසකි. රෝහල්වල ඇඳන් 85,000කි. කොවිඩ් වැනි දරුණු වසංගත තත්ත්වයක් හැරුණු විට සාමාන්‍ය වාතාවරණයකදී දවසකට ඇඳන් 35,000-40,000ක පමණ ප්‍රමාණයක් හිස්ය. එහෙත් සමහර රෝහල්වල ඇඳන් උඩ විතරක් නොව යටත්, බංකුවල, කොරිඩෝවල පැදුරු මත පවා රෝගීන් සිටියි. එහෙත් මේතාක් ඊට නිසි පිළියමක් යොදා නැත.

ගැලපෙන තාක්ෂණය වෙනුවට අධිතාක්ෂණය

විදේශ රටවල පුහුණුව ලබා ලංකාවට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම අනුව අධිතාක්ෂණික වෛද්‍ය උපකරණ (High technology) ලබාගැනීම සිදුවෙයි. එහෙත් ලෝකයේ භාවිතා වන්නේ වඩා යෝග්‍ය තාක්ෂණයයි. (Appropriate technology) නිදසුනක් ලෙස එම්.ආර්.අයි යන්ත්‍රයක් 5 ටෙස්ලා ප්‍රමිතියෙන් යුතු වුවද, අපට එතරම් ප්‍රයෝජනයක් නැත. වෛද්‍ය කේන්ද්‍රීය පරිපාලනය විසින් ඉහළ තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ ඇනවුම් කිරීම, නිර්දේශ කිරීම නිතර සිදුවෙයි. එහෙත් අධික පිරිවැය මිසක එකී තාක්ෂණයෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමක් සිදු නොවෙයි. එනම් කළ යුත්තේ රටේ ජනගහනයට හා පවතින රෝගීන්ට ගැලපෙන තාක්ෂණය සහිත යන්ත්‍ර ලබා ගැනීමයි.

පුද්ගලික රෝහල් විසින් අධික ලාභ ලබමින්, තම කාර්ය මණ්ඩලයට ඉහළ වැටුප් හා බෝනස් ආදිය ද ලබාදෙමින් කටයුතු කරන්නේ මෙලෙස ගැලපෙන තාක්ෂණය යොදාගෙන ඒ ඔස්සේ ගමන් කරන නිසාවෙනි. එහෙත් අප අමතක නොකළ යුතු උත්ප්‍රාසජනක කාරණය වන්නේ මෙරට පුද්ගලික රෝහල්වලද, විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කරනු ලබන්නේ රජයේ රෝහල්වල පත්වීම් ලද වෛද්‍යවරුන්ම වීමය. ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ ද, ලාංකේය ජනතාවම වීමය. දවසකට රජයේ රෝහලක එම්.ආර්.අයි පරීක්ෂණ 10-12ක් කරද්දී, ඒ සේවයම ඒ යන්ත්‍රයකින්ම පුද්ගලික රෝහලකදී 20-25ක් පමණ සිදුකරනු ලබයි. එසේ වන්නේ පුද්ගලික රෝහලක උපරිම කාර්යෂමතාවකින් අදාළ යන්ත්‍ර භාවිතා කිරීම නිසාය. ඇතැම් රෝහල්වල ඇතැම් වෛද්‍ය උපකරණ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ මාරුවීමෙන් හෝ ඉවත්ව යාමෙන් අනුප්‍රාප්තික වෛද්‍යවරයා විසින් භාවිතා නොකරන අවස්ථා දක්නට ලැබෙයි. ඒ අදාළ යන්ත්‍රය තමාට හුරු පුරුදු නොමැතිවීම, එවැනි යන්ත්‍ර වලින් සේවය ලබා ගැනීමට ඇති නොකැමැත්ත ආදිය වැනි ඉතා පටු ආකල්ප නිසා මිස වෙන යම් සාධාරණ හේතු නිසා නොවේ. මේ අයුරින් භාවිතයට නොගෙන ඉවත් කොට ඇති යන්ත්‍ර, ඉතා සුළු අඩුපාඩු සහිත යන්ත්‍ර, නඩත්තුවේ ගැටලු නිසා භාවිතා කළ නොහැකි යන්ත්‍ර ආදී බොහෝ වෛද්‍ය උපකරණ තොග පිටින් විනාශවෙමින් තිබෙනු දකින්නට ලැබෙවයි. මෙලෙස අධික වියදම් දරා ගෙන්වූ සම්පත් විනශ වෙන්නට ඉඩ හැරීම කෙතරම් ඛේදවාචකයක්ද?

සෞඛ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක් දක්නට ඇතත්, ඒ සියලුදෙනාම තමන් සේවයට වාර්තා කිරීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය නිසි ලෙස භාවිතා නොකරයි. ඇතැම් විට ඒවා විනාශ කරනු ලබයි. තමන් දෙන සේවය පිළිබඳ තමන්ට නිසි තක්සේරුවක් ඇත්නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? එයින් ගම්‍ය වන්නේ එක් එක් දේශපාලන න්‍යාය පත්‍ර ආරක්ෂා කිරීම විනා ජනතාවට යහපත් සෞඛ්‍ය සේවයක් ලබාදීම මෙම කිසිදු සෞඛ්‍ය වෘත්තීය සමිතියක අරමුණක් නොවන බවයි. වසරේ මූලාරම්භයේදී තමන්ගෙ වාහනයට අංගණයේ ඉඩක් ගන්නට පාර්කින් පාස් වෙනුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෙත කී දෙනෙකු ඉල්ලීම් කරනු ලබයිද? ඒ කිසිවෙකුත් රෝගීන්ට කාර් පාර්ක් එකේ ඉඩක් ලබාදිය යුතු බවට ඉල්ලීම් කර ඇත්ද? මේ ආකල්පමය වෙනස ඇති වෙන තාක් කිසිදු දියුණු සෞඛ්‍ය සේවයක් අපේක්ෂා කළ නොහැකිය.

යාවත්කාලීන නොවූ අපේ සෞඛ්‍ය සේවය

ආචාර්ය – රංග ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment