වතුරට බහින්නේ බලාගෙනයි!

173

ලංකාවේ දිය ඇලි විසිතුනෙන් දහතුනක්ම අධි අවදානම්

දියඇලි ආශ්‍රිතව සිදුවන මරණ සහ අනතුරු වසරේ මුල් මාසවලට සාපේක්ෂව මේ දිනවල ක්‍රමිකව ඉහළ යමින් පවතී. ඊට ප්‍රධානතම හේතුව කිසිදු ප්‍රවේසමක් නොමැතිව දිය ඇලි නැරඹීමට යෑමත් අනවශ්‍ය අවදානම් ගෙන ඡායාරූප ගැනීමත්ය. අවදානම් සහිත පෙදෙස්වල ඇවිද යමින් තමන්ගේ වීරත්වය හුවා දක්වන්නට ඇතැමුන් උත්සාහ කිරීම නිසාද හදිසි අනතුරු එමට ඇතිවෙයි. සංචාරකයන් වැඩි වශයෙන් නැරඹීමට යන ප්‍රධාන දිය ඇලි විසි තුනෙන් දිය ඇලි දහතුනක්ම අධි අවදානම් තත්ත්වයේ පවතින බව දිය ඇලි සංගමයේ සභාපති අසිත ඉන්දික මහතා ඉකුත්දා කියා සිටියේය. ඔහු ප්‍රකාශ කළේ දිය ඇල්ල හි සුන්දරත්වය දෑසින් විඳිමින් පමණක් යා යුතු වුවත් බොහෝ දෙනා ජලයට පැන අවදානම් ලෙස හැසිරීම නිසා අනතුරු වැඩිවන බවය. බෝපත් ඇල්ල, මාකෙලිය ඇල්ල, බඹරකිරි ඇල්ල, රාවණා ඇල්ල, පහන්තුඩා ඇල්ල, දුන්හිඳ ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල සහ මරක්කල ඇල්ල ඇතුළු දිය ඇලි වල ජල මට්ටම් මේ දිනවල ඉහළ ගොස් ඇත. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අධික වැසි පතිත වීම මත සෙසු දිය ඇලිද සක්‍රිය වී ඇත. මේ හේතුවෙන් ක්ෂණික දියසුලි නිර්මාණය වීමත් ගැඹුරු ආවාට ඇතිවීමත් එකවර අධික දිය පහරක් ගලා ගෙන ඒමත් යන අනතුරුදායී තත්ත්වයක් දියඇලි ආශ්‍රිතව ඇති වන බවත් මේ හේතුවෙන් දිය ඇලි අවට පරිසරය පිළිබඳ කිසිත් නොදන්නා නරඹන්නන් හදිසි අනතුරුවලට ලක්විය හැකි බවත් ඉන්දික පවසයි.

යම් හෙයකින් මේ වැසි කාලගුණික තත්ත්වයන් යටතේ දියඇලි නැරඹීමට යන්නේ නම් ජලයට බැසීම පිහිනීම ජලයට පැනීම අවදානම් ස්ථානවල ඡායාරූප ගැනීම දියඇල්ලට ඉහළ කොටසේ ඇවිද ගෙන යෑම දී ක්‍රියාවලියන් හි නිරත නොවන ලෙස ද ඔහු අවධාරණය කරයි.

රටේ බහුතරයක් ජනතාව විනෝද චාරිකා යන්නේ නාගන්නටමය. ජීවිත කාලයේ ලබන හොඳම අත්දැකීම ජලයට පැනීම යැයි සිතන බහුතරයක් දෙනා තැන නොතැන නොදැන ජලයට පනිති. දිය ඇල්ලක් ගලා හැලෙද්දී ඒ ජලය වැටෙන තැන ගැඹුර ගැන අවධානයක් දක්වන්නේම නැත.

ලෝකයේ රටවල් අතර වැඩිම දිය ඇලි ගණනක් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. ලංකාවේ වාර්තාගත දිය ඇලි 500ක් පමණ තිබේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයක් ගෙන තිබූයේ එල්සී ඩබ්ලිව් එෆ් සංවිධානයය. ඔවුන් රටේ දිය ඇලි 382 ක දත්ත ගබඩාවක් නිර්මාණය කළහ. මෙම ලැයිස්තුව එල්සී ඩබ්ලිව් එෆ් දත්ත සමුදාය මත පදනම් වී ඇති දිය ඇලිවලට අමතරව නම් නොමැති දිය ඇලි 17ක් පමණ ගූගල් සිතියම්වලට හා ඡායාරූපවලට සම්බන්ධ කොට සලකුණු කර ඇත. කවරකු හෝ කිසියම් ප්‍රදේශයක දියඇල්ලක් නැරඹීමට යන්නේ නම් මෙම සිතියම් අධීක්ෂණය කර යෑමෙන් ආරක්ෂාව තර කර ගත හැකිය.

ඒ අතර ප්‍රධාන පෙළේ දිය ඇලි පිළිබඳව සරල අවබෝධයක් ලබා ගැනීම පිණිස නිතර නරඹන්නන් ගැවසෙන දිය ඇලි පිළිබඳව අවධානය යොමු කොට බලමු.

බඹරකන්ද ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටි උසින් වැඩිම දිය ඇල්ලය. හෝර්ටන් තැන්නෙන් ඇරඹෙන මෙය මීටර් 265කි. බදුල්ල දිස්ත්‍රික්කයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.

දියලුම ඇල්ල ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ල වේ. උස මීටර් 220 කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා තිබේ.

ලක්ෂපාන ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 125කි. සමනළ කන්දෙන් ඇරඹී කැලණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි. දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත. එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

පූඬළුඔය ඇල්ල ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පූඬළුඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු හමුවෙයි. මෙම මනරම් ඇල්ල ඩන්සිනන් දිය ඇල්ල ලෙසද නම් කර ඇත. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328 (මීටර 100) පමණ වේ.

ඇබර්ඩීන් ඇල්ල ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 100 පමණ වේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබූ ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

රම්බොඩ ඇල්ල මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇත. උස මීටර් 109 ක් පමණ වේ. කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්න ඔයෙන් හට ගනියි. ඩෙවෝන් ඇල්ල ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නිර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිනි. එඩ්වඩ් බාන්ස් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භ කළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වූ ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත. මෙනිසා මෙම නම ලැබී ඇත. සෙන් ක්ලේයාර් ඇල්ල මනරම් ය. එයද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ. කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ. මෙම ප්‍රදේශයේ විසූ ඉංග්‍රීසි කෝපි වතු හිමියෙකු එංගලන්තයේ විසූ ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

දුන්හිඳ ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 63 පමණ උසය. බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. කඳුමුදුනේ සිට පහළට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපී වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මීට, දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ. කාලයාගේ ඇවෑමෙන් සිදු වූ භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වීම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.

වතුරට බහින්නේ බලාගෙනයි!

රාවණා ඇල්ල සුන්දරත්වයෙන් පරිපූර්ණ ය. එය ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ට නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැඳි පුරාවෘත්ත රාශියකුත් ඇත. එයින් රාවණා රජු සම්බන්ධ කතා පුවත් රැසකි. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම – රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රඳවා තැබුවායි සැලකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබඳ ඕනෑ තරම් ජනප්‍රවාද අප අසා ඇත. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රඳවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි. එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය (මෙම විහාරය ක්‍රි. පූ. 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රඳවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ. මෙම ඵෙතිහාසික බව නිසාම වැඩි දෙනා එය නැරඹීමට යති.

දූවිලි ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 39 පමණ වේ. පළල් දියඇල්ලකි. දූවිලි ඇළ නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. පහළට ඇදවැටීමේදී සියුම් දූවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයෑමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත. බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.

බෝපත් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ උස මීටර් 30 පමණ වන දිය ඇල්ලකි. දුර සිට බැලූ විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත. කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි.

බේකර්ස් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය. උස මීටර් 20 පමණ වේ. බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ. නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.

කිතුල්ගල ඇල්ල කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයට නුදුරුව මෙය පිහිටා ඇත. උස මීටර් 15කි. උනාලු කන්දේන් පටන්ගෙන කැලණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ.

මානාවෙල ඇල්ල උස මීටර් 23කි. මානාවෙල ඔය හා බූවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති මෙය ඉතා සුන්දරය.

ගැරඬි ඇල්ල රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 46කි. ජලය හිඟ කාලයට දුර සිට බැලූවිට මේ ඇල්ල පෙනෙන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.

නානු ඔය ඇල්ල. උස මීටර් 60ක් පමණි. නානු ඔයෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ. මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙය ඉතා අලංකාරය.

යකා ඇඬු ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 61ක් පමණ උසය. බුදුන්වහන්සේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිථ්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුණු නිසා ඊට මෙම නම ලැබී ඇත.

නවරත්තන ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ. උස මීටර් 110කි. වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසලක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. මේ ඇල්ලට මෙම නම ලැබී ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජ නිධානයක් මේ ඇල්ල අසල ඇතැයි යන විශ්වාසය නිසයි.

මාපනාන ඇල්ල රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි. ඇල්ල හාත්පස මාපනාන, මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.

කුරුදු ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසකින් පිහිටා ඇති අතර එම දියඇල්ලේ උස අඩි 676 (206ප) කි. එය ලංකාවේ උසින් දෙවන ස්ථානයට පත් වන දිය ඇල්ලද වේ. මෙය කුරුදු ඔයෙන් නිර්මාණය වන අතර එමගින් මහවැලි ගඟ හා රංදෙනිගල ජලාශය ද පෝෂණය කරනු ලබයි. කුරුදු ඔය බෑවුම් බිමක් ඔස්සේ වේගයෙන් පැමිණ ඇල්ල සාදමින් පහළ ගැඹුරු දෝණිකාවකට කඩා හැලේ.

මනං ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ රත්නපුර මාර්ගයේ ඇහැලියගොඩ පසු කර රත්නපුර දෙසට කිලෝමීටර 1 1/2 පමණ යනවිට රත්නපුර පානදුර මාර්ගයට පිවිසිය හැකි පිවිසුම් මාර්ගයක් හමුවේ. එම මාර්ගයේ කුරුගම්මෝදර දෙසට කිලෝමීටර 4 යනවිට ඉහළ කන්ද ග්‍රාමය හමුවේ එම ඉහළ කන්ද ග්‍රාමය කුරුදු තානායම ඉදිරියෙන් ඇති මාර්ගයේ ගියවිට ඉහළ කන්ද වතු යායෙන් මෙම සුන්දර දිය ඇල්ලට පිවිසිය හැක.

මේ සුන්දරත්වය පසුපස ඇති අසුන්දරම කතාව නොසිතනා මොහොතක ජීවිත බිලි ගැනීමේ අවදානමය. ඉකුත් වසර තුළ දිය ඇලි ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව එකසිය විසිහතකි. ඉන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතවය. විනෝද චාරිකා යමින් විනෝදවන පිරිස් දිය ඇල්ල අසලදී ජීවිත පරිත්‍යාග කරන්නේ ජීවිතය පිළිබඳව අවදානමක් නොගන්නා නිසාය. මේ සියලුම දිය ඇලි මේ දිනවල සක්‍රියය. අවදානම් සහිත බවින් අනූන නිසාම ජනතාව ආරක්ෂාකාරී ලෙස මෙම ඇලි නැරඹීමට යා යුතුය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් යෙදීම අත්‍යවශ්‍යය. ඒ හරහා දියඇලි ආශ්‍රිතව සිදුවන මරණ සහ අනතුරු අවම කරගත හැකි බවද ඒ පිළිබඳ අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ද දියඇලි සංගමයේ සභාපතිවරයා ද කියා සිටියේය. හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳවම අවධානය යොමු කර සිටින ආපදා කළමනාකරණ නිලධාරීන් මේ පිළිබඳව සැලකිලිමත් වීම වටී. අනතුර සිදුවන්නට පෙර සූදානමත් අවධානයත් වටින බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මේ රටේ බහුතරයක් ජනතාව ඇඟිල්ලෙන් ඇන තමන්ගේ ජීවිතයේ අගය පෙන්වන තුරුම දෑස් වසා සිටින්නෝය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment