ජෙරම් ආගමික දේශන පවත්වන්න ඒත් පිස්සු කෙලින්න එපා!

1499

ගුඩ් නිව්ස් ජාත්‍යන්තර පල්ලිය හා එහි ප්‍රධාන දේවගැති පෝල් මැකෙන්සි මීට සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් විය. නැගෙනහිර කෙන්යාවේ කැලෑබද ප්‍රදේශයක් අසල එතරම් ගැඹුරට නොකපන ලද වළවල් වලින් මිනිස් සිරුරු හමු වන විට ගුඩ් නිව්ස් පල්ලිය දෙදරන්නට විය.

ඇත්තෙන්ම මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වළ දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 200ක් දක්වා ඉහළ තිබිණි. මේ ක්‍රිස්තියානි ආගමික කල්ලියේ සාමාජිකයන් බඩගින්නේ මිය ගියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හමු වීමේ අපේක්ෂාවෙනි. බඩගින්නේ මියයන්නට උපදෙස් දුන්නේ මෙම පල්ලියේ නායකයා ලෙස සලකන පෝල් පාස්ටර් ය. දැන් මේ ඊනියා පූජකයා පොලිස් අත්අඩංගුවේ පසුවේ. කෙන්යාවේ පාස්ටර් ගැන කතා කරන විට ලංකාවේ පාස්ටර් කෙනෙක් ද මතක් වෙයි. ඔහු ජෙරම් වේ. ඉංග්‍රීසියෙන් දේශන තියෙන මොහු සිය රූපවාහිනී නිවේදකයා මගින් ඒවා සිංහලට පරිවර්තනය කරයි. මොහුගේ දේශන සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය වී ඇත. කළු කෝට් අඳින ප්‍රභූ පැලැන්තිය මොහු ගේ දේශනා අසන්නට පැමිණ අත් උස්සා දඟලති. පසුගිය දිනක ජෙරම් බුදුන් ට නිග්‍රහ කරන විට ද කටුනායක ඩෝම් පල්ලියේ රැඳී සිටි අනුගාමිකයෝ අත්පුඩි තලන්නට වූහ. බොර්න් එගෙන් සාමාජිකයෝ කොහොමත් මේ මෙරට මහා සංස්කෘතිය ට විරුද්ධ ය. අරගලය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ද බෝන් එගේන් කල්ලියෙ අනුග්‍රහය ලබන්නන් ය. ලංකා පාර්ලිමේන්තුවේ පාස්ටර් ලා වෙති. ඔවුන්ට වෙන ම පල්ලි ඇත. එක් පල්ලියක් කිරුළපන මහ පාර අසල ඉදි ව ඇත.

ජෙරම් පාස්ටර් කාලෙක සිට සිය දේශන වලින් දෙවියන්ගේ ආලෝකය ගැන කතා කරමින් අනෙක් ආගම් වලට නිග්‍රහ කිරීම සිදු කරනු ලබයි. ජෙරම් එක් දේශනයකදී කියන්නේ ලංකාව බහුතර ක්‍රිස්තියානි රටක් කළ යුතු බවයි. මේය ඉතා බරපතළ ප්‍රකාශයකි. මේ බෞද්ධ රට විනාශ කිරීමට ජෙරම් ට හැකියාවක් නැතත් මේ කුමන්ත්‍රණය අප හොඳින් වටහා ගත යුතු ය. එයට දේශපාලන න්‍යාය පත්‍රයක් ද ඇත. එම දේශපාලන න්‍යාය පත්‍රය පසුගිය වසරේ ගාලු මුවදොර දී ක්‍රියාත්මක විය.

තමා දිවැසිවරයෙකු යැයි කියා ගන්නා මේ පාස්ටර් එක්දහස් නවසිය හැත්තෑ නමයේ උපත ලබා ඇත. ඔහු අධික ධනයක් ඇති පුද්ගලයෙකි. කොළඹ ප්‍රභූ සමාජයේ බොර්න් එගෙන් නිකායට අයත් ප්‍රමුඛ පූජකයා මොහුය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවලට ගොස් මොහු දේශන පවත්වයි. භානුක රාජපක්ෂ මොහුගේ ප්‍රකට අනුගාමිකයෙකි. කුමාර සංගක්කාර ද මොහුගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කර ඇති නමුත් දැන් සම්බන්ධයක් නැතැයි කිය යි. එහෙත් ඔහුගේ බිරිය බැට් එකට බෝලෙ වදින්නේ ද දෙවියන්ගේ කැමැත්තෙන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. මෙවර අයි පී එල් ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ ට නම් දෙවියන්ගේ බැල්ම ලැබුණේ නැත. ඔහු ක්‍රීඩා කළ තරග දෙකම අසාර්ථක විය. පන්ජාබ් කණ්ඩායමේ වතුර අදින්නට දමා තිබේ. මෙය වැළැක්වීමට ජෙරම් ට කිසිවක් කළ නොහැකි වූයේ මන්ද? දෙවියන් බිසී නිසා දැයි අපි නො දනිමු. ලංකාවේ ක්‍රිකට් විනාශ කරනු ලැබුවේ මේ බෝර්න් එගේන් කල්ලිය විසිනි. ඒ ගැන පසුගිය කාලය පුරා ම සාකච්ඡා විය. නමුත් මේ ජෙරම් ගේ නාඩගම ට තිත තැබිය යුතු ය. මේ උන්මත්තක ආගමික කල්ලියකි. කටුනායක ඩෝම් පල්ලිය හදන්නට බිලියන තුනක් පමණ වැය වී ඇතැයි පැවසේ. එහි ඇති පහසුකම් ලංකාවේ වෙන කොහෙවත් නැත මේවා ට සල්ලි එන්නේ කොහෙන්ද?

දිවැසිවරයෙකු ට හානියක් කළ හොත් එහි විපාකය පල දෙන බව තියන ජෙරම් පාස්ටර් පොලිසියේ අත්අඩංගුවට පත් වීමට බියෙන් දාහතර වෙනි දා රාත්‍රියේම සිංගප්පූරුවට පැන ගියේ ය. තමා ඉරිදා ලංකාවට එන බව ප්‍රකාශ කර ඇති නමුත් අපිට මේ ගැන විශ්වාසයක් නැත. එහෙත් ඔහු වහාම අත්අඩංගුවට ගත යුතුය. එය කොළඹ බෝර්න් එගේන් නිකායේ පැලැන්තියට ද පහරක් වනු ඇත. අන් ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් ටකරම් බෙදමින් කක්කුස්සි පෝච්චි බෙදමින් මීට වසර දහයකට විස්සකට පෙර පටන් ලංකාව පුරා ආගම් ප්‍රචාරයේ යෙදෙන අයුරු දැක ගන්නට හැකි විය. මේවට එරෙහිව මීට වසර විස්සකට විසි පහකට පමණ පෙර පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ රට දැනුවත් කළ අයුරු අපට මතකය. උන් වහන්සේ අද නැතත් ක්‍රිස්තියානි මූලධර්මවාදී උමතු ව වඩා හොඳින් දක්නට ලැබේ. කතෝලික පල්ලියේ නම් කියන්නේ ජෙරම් ඔවුන්ට අයත් නැති බවයි. ලංකාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායන් තුන්සියයකට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. කතෝලික පල්ලිය මේ ගැන හොරෙන් බලා සිටී. ඔවුන්ට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම හැර අන් දෙයක් නොවේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොව බෞද්ධයෙක් බව කියන්නට පල්ලිය දත කයි. එය වෙනම කතාවකි. චාල්ස් තෝමස් නම් පාස්ටර්වරයා ද පසුගිය කාලය පුරා පන්සල් වලට ම ගොස් ගීත ගයන්නට විය. මෙය බරපතළ ප්‍රශ්නයකි. අපේ හාමුදුරුවරුන්ටත් මේ ආගමිකයන් නිකායේ කූට ප්‍රයත්න ගැන අවබෝධයක් නොමැත.

ඔවුහු නිද්‍රාවකට වැටී සිටිති ජෙරම්ටත් වඩා සිවුරු දරා ගෙන මේ සාසනය විනාශ කරන අය ද බහුල වෙති පෙරටුගාමී සරණ ගිය භික්ෂූන් ශාසනයට කරන හානිය සුළු පටු නැත. ඔවුන් නිතර දකින්නට ලැබෙන්නේ ක්‍රිස්තියානි ලෝගු කාරයින් සමග ය. එසේම බුදුන් ශ්‍රී ලංකාවේ උපන්නේය කියා, කියූ විට, සියලු පුරාවිද්‍යාත්මක සාධක, ලෝක බෞද්ධ ඉතිහාසය ආදිය පැත්තකට දමා, හිරිවඩුන්න පැත්තේ බෝධියක්, බුද්ධගයාව කියා වන්දනා කරන්නේය. ගංගා පිටින් පිරිත් කෙරූ ස්වාමින් වහන්සේ පස්සේ, කාලයක් ගියහ. තවත් කාලයක් නිකවැරටියේ ‘බෝ ගහේ කැටයම්’ බලා, ඒ පැත්තේ ගියේය. හොර රහතන් වහාන්සේ මෙන්ම රහත් භික්ෂුණියන් ගැන ද පසුගිය කාලයේ කතා අසන්නට ලැබිණි.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන් ගේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ මෝහය ගැන මෙසේ පහදා ඇත. සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කර ගත නොහෙන සැටියට, යම් කිසි කරුණක සැබෑ ආකාරය හසු කර ගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ, කාරණය වරදවන්නා වූ ධර්මය මෝහය ය. එය සිතට ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නේ කාරණය වරද වන්නේ අන් තැනක සිට ගෙන නොව සිතේ ම සිට ගෙන ය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනි යැයි ද, අඳුරක් වැනි යැයි ද, කීමට වටනේය.

මේ ආගමික නිකායන් හරහා ද පතුර වන්නේ මෝහය යි කෙසේ නමුත් ගේ ජෙරම් ට ආගමික දේශන පවත්වන්නට හැකි වුවත් ඒ හරහා පිස්සු කෙළින්නට ඉඩ දිය යුතු නැත. ආගමික සහජීවන නාමයෙන් ගේ මේ පාස්ටර් වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා බෞද්ධ නායකයන් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි රටම බලා සිටී.

අවසානයේ මෙලෙස බුදු වදනක් උපුටා දක්වමි ස්ත්‍රීන්ටත් බ්‍රාහ්මණයන්ටත් මිථ්‍යා ධර්මයටත් ගූඪතාව වුවමනාය. ගූඪත්වයෙන් තොරව මුළු ලෝ බැබළෙන වස්තු තුනක් ඇත්තේය ඉර හඳ තථාගත ධර්මය ඒ තුන ය මේ තුන ගූඪත්වයෙන් තොරව මුළු ලොවම බැබළෙමින් පවතී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment