ජාතික ජනබලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව පක්ෂ විපක්ෂ බොහෝ පාර්ශ්ව නොයෙක් අදහස් ඉදිරිපත් කරමින් තිබේ.අයි.එම්.එෆ්. ගිවිසුම සමාලෝචනය කිරීම සිදුකරන බව එම පක්ෂය සඳහන් කරයි.මෙම කාරණා ඇතුළු තවත් කරුණු කාරණා කීපයක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මුණ ගැසුනෙමු..පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමග සිදු කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ නායකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ අයි.එම්.එෆ්. එක පට්ට ගහපු ජවිපේ ට අද රෙදි ඇඳගෙන මේක හරි කියන්න බැරි නිසා ක්‍රමානුකූලව ඇවිත් අපි ගහපු ගිවිසුම හරි කියල කියන්න උත්සාහ ගන්නවා කියලා.

පිළිතුර – අපි කිසිම දවසක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළේ නැහැ. අපේ විවේචනය තිබුණේ අයි.එම්.එෆ්. එකේ මැදිහත්වීම් නිසි සැලසුමක් නොමැතිව තාවකාලික විසඳුම් ලෙස ආණ්ඩු භාවිතා කිරීම පිළිබඳව. අදටත් ඒ විවේචනය එහෙමම තමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට තාවකාලික විසඳුමක් පමණයි. නමුත් අපි ස්ථිර විසඳුමක් සෙවිය යුතුයි. ආණ්ඩුව හිතන්නේ තාවකාලික විසඳුම් ගැන පමණයි.

මේ ආර්ථික නිර්මාණය කළේ අපිද ? අවුරුදු හැත්ත හයක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි රට මේ තත්ත්වයට වැටුණේ. ආණ්ඩුව අපෙන් අහනවා උත්තරේ මොකක්ද කියලා. අපේ උත්තරේ ප්‍රායෝගික නෑ කියනවා. අපේ උත්තරේ හරි උත්තරේ නෙවෙයි කියනවා. හැබැයි ඒගොල්ලන්ගේ උත්තරේ මොකක්ද? ඒගොල්ලන්ගේ උත්තරේ මේ පැලැස්තරේම තමයි.

මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. අපනයන වැඩි කරන්න ඕන, කර්මාන්ත දියුණු කරන්න ඕනා, ආර්ථිකය හදන්න ඕනා, විදේශ විනිමය හොයන්න ඕනා. ඒක එක රැයින් කරන්න බැරි නිසා විදේශීය සහය අවශ්‍ය බව අපි පිළිගන්නවා.

ප්‍රශ්නය – ඔබ ඇතුළු ජාතික ජනබලවේගයේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පසුගිය 14 වැනිදා සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී ඔබගේ පාර්ශ්වයෙන් එම නියෝජිතයන්ට ඉදිරිපත් කළ අදහස කුමක්ද ?

පිළිතුර – අපි මූලිකව ඉදිරිපත් කළේ ජනවරමක් නැති ආණ්ඩුවක් සමග මෙවැනි ගිවිසුමක් එක දිගට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය ගැන අපි විමසා සිටියා. ඇත්තටම සිදුව ඇති ප්‍රගතිය ගැන කියන්න දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන සැලැස්ම තාම ආණ්ඩුව හරියට ක්‍රියාත්මක කර නැහැ. ගිය අවුරුද්දේ සැප්තැම්බර්, දෙසැම්බර් මාසවල එය ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඉන් පසුව මේ අවුරුද්දේ මාර්තු මාසය කිව්වා. දැන් ජූනි මාසේ වෙනකන් කල් දමා තිබෙනවා. මේවා ගැන ආණ්ඩුව රටට කියන්නේ නැත්නම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් හරි අහන්න ඕන. හැබැයි ඔවුන් ඒ ගැන දන්නෙත් නැහැ.

එම නියෝජිතයන් යහපාලන ආණ්ඩුකරණය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළා. හැබැයි මේ ආණ්ඩුව දූෂණ විරෝධී පනතක් ක්‍රියාත්මක කළා. හැබැයි දූෂණ අඩු වෙලාද? ඒ වෙනුවට තියෙන්නේ දූෂණය පාලනය කරන්න තියෙන ආයතනවලට හොරු පත් කරගන්න එක. කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අභයගුණවර්ධන පත් කරගන්නවා. දැන් කොහොමද හොරාගෙන් හොරු ගැන අහන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනව නෙවෙයි, දැන් හොරාගෙන් පේන අහන්න තමයි වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කර තිබුණා. දෙමළ ජාතික සන්ධානය හැරෙන්න අනිත් පක්ෂ එය වර්ජනය කළා. එම සාකච්ඡාවට සම්බන්ධ වුණානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ?

පිළිතුර – ඒ සඳහා අපට ආරාධනා කළාට එම සාකච්ඡාවට අඩුම තරමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට හෝ ආරාධනා කර තිබුණේ නැහැ. මේක හර්ෂ ද සිල්වයි ජනාධිපතිතුමයි හදාගත්ත මීඩියා ෂෝ එකක් විතරයි. ඒ දෙන්න කතා කරගෙන ඔයා මේ ප්‍රශ්නය අහන්න මම මේ උත්තරේ දෙන්නම් කියලා ඒකට පක්ෂ කැඳවලා මීඩියා ෂෝ එකක් කරන්නයි උත්සාහ කළේ. මීඩියා ෂෝ වලට සහභාගි වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව හැමදාම කළේ කපටි කෛරාටික වැඩ විතරයි. එහෙම නැතුව මේවා සද්භාවයෙන් කරන ඒවා නෙවෙයි. මේවා සද්භාවයෙන් කළා නම් අද රට මේ තත්ත්වයේ නැහැ. බැරි වෙනකොට විපක්ෂයට ආරාධනා කරන්නේ ඇඟ බේරා ගැනීම සඳහා පමණයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට ආරාධනා කර තිබුණේ නැති බව ඔබ සඳහන් කළා. එය ඔබ දැනගත්තේ කොහොමද? ඒ අය එහෙම කිව්වද?

පිළිතුර – අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා. ඔවුන්ට ආරාධනා කර තිබුණේ නැති බව ඔවුන් සඳහන් කළා.

ප්‍රශ්නය – අයිඑම්එෆ් ගිවිසුම නැවත සලකා බලන බව ජාතික ජනබලවේගය සඳහන් කරනවා. රජයන් දෙකක් අතර එළඹි ගිවිසුමක් එහෙම වෙනස් කරන්න පුළුවන්ද? ඔබලත් කරන්නේ මීඩියා ෂෝ එකක් නේද?

පිළිතුර – අපි මීඩියා ෂෝ පෙන්වන්නේ නැහැ. ගිවිසුම් එහෙම සලකා බලන්න පුළුවන්. මේ ආණ්ඩුවට මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න රටේ ජනතාව ජනවරමක් ලබාදී නැහැ. අපට ලැබෙන ජනවරම අනුව තමයි අපි ඒ ඒ ගිවිසුම්වලට එළඹෙන්නේ. අප මීළඟ ජනවරම ලබාගන්න ප්‍රථම රටේ ජනතාවට ඒ ගැන කියනවා.

මේ ගිවිසුම පමණක් නෙමෙයි, පසුගිය ආණ්ඩු විසින් ඇතිකර ගෙන ඇති රටට අහිතකර ගිවිසුම් යළි සලකා බලන්න අපි ජනතාවගෙන් ජනවරමක් ඉල්ලනවා.

ප්‍රශ්නය – ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරගෙන යන වැඩකටයුතු සාර්ථක නිසා ඊට අකුල් හෙළීම සඳහා ජාතික ජනබලවේගය කටයුතු කරන බවට චෝදනාවක් තිබෙනවා. රටට සල්ලි ටිකක් එනකොට එන්පීපී එකට බලාගෙන ඉන්න බැහැ කියලයි සමහරු කියන්නේ.

පිළිතුර – කොහෙත්ම නැහැ. නිකමටවත් හිතනවාද අපි එහෙම මිනිස්සු කියලා. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. අපි අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ කතා කළේ නැහැ. ආණ්ඩුව සමග ඇති ගැටුම්, දේශපාලන කාරණා අපි කතා කළේ නැහැ. අපි නිශ්චිත වශයෙන් කතා කළේ අයිඑම්එෆ් එක ආණ්ඩුව සමග ඇතිකරගෙන ඇති එකඟතා සහ එහි අඩංගු කරුණු ගැන පමණයි. අපට ආණ්ඩුව සමග ඇති ප්‍රශ්න ඔවුන් සමග කියලා වැඩක් නැහැ. අර ගෙදර කුණු පිටට දෙන්න ඕනේ නෑ කියලා කතාවක් තිබෙනවනේ, අපිත් එහෙමම තමයි.

අපි ඔවුන් සමඟ කතා කළේ මූලික වශයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ තත්ත්වය කුමක්ද? ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලීකරණ වැඩපිළිවෙළට ඔවුන්ගේ එකඟතාවය පළ කර තිබෙනවාද ? ආදී කරුණු ගැන. මේ කරුණු කාරණා ආණ්ඩුව කියන්නේ නැත්තං අපි අනිත් පාර්ශ්වයෙන් හරි අහගන්න ඕනේ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා යම් කලක පටන් සූදානම් වෙමින් සිටිනවා. දිස්ත්‍රික් සමුළු, කාන්තා සමුළු රැසක් දැනට පවත්වා අවසන්. මීළඟට මාතරින් තරුණ සමුළු ආරම්භ කරන බව සඳහන් කරනවා. කාන්තාවන් අපි එක මිටට පසු එන්නේ තරුණ සමුළුද ?

ආණ්ඩුව හැමදාම කළේ කපටි වැඩ

පිළිතුර – ඔව්.. ඉතා පැහැදිලිවම. අපි දේශපාලනය තුළ බලය ලබා ගත්තත් එහි ප්‍රතිලාභ ලබා ගන්නේ ජනතාවගෙන් තරුණ කොටස්. අපේ රටේ අනාගතය නිර්මාණය කරන්නේ වඩා හොඳ රටක් සකසන්නෙ තරුණයන්. එවන් වූ තරුණ ප්‍රජාව වත්මන් පාලනය යටතේ රටින් යන තැනට පත් කර තිබෙනවා. අද ලංකාවේ වැඩ කළ හැකි හොඳම තරුණයන් රැසක් ජීවත් වෙන්නේ කොරියාවේ, මැද පෙරදිග, ඉතාලියේ, ඇතුළු විදෙස් රටවල. වයස අවුරුදු 18 ත් 35ත් අතර තරුණ තරුණියෝ අද විශාල පිරිසක් ලංකාවේ නැහැ. ලංකාවේ ආර්ථිකයට දායක වෙන්න ඕන අය තමයි එහෙම පිටරටවල ජීවත් වෙන්නේ. අපි බලය ලබා ගත්තහම ඒ බලයේ ප්‍රතිලාභ ලබා ගන්නේ සහ ඊට නායකත්වය දෙන්නේ තරුණ තරුණියෝ. ඔවුන් සංවිධානය කිරීම අපේ ලොකු වගකීමක්.

ප්‍රශ්නය – ගැහැණු අපි එක මිටට කාන්තා සමුළු අවසන් ද ?

පිළිතුර – නැහැ. එයත් ඉදිරියට ක්‍රියාත්මකයි. ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක කාන්තා සමුළු පවත්වනවා.

තරුණ සමුළු මාතරින් පටන් අරගෙන එයත් රට වටේ ගෙන යනවා. කුරුණෑගල, අනුරාධපුරය, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක තරුණ සමුළුව පවත්වනවා.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් පසු පළමු මහජන රැළියට පසුගියදා එක්වුණා. ඒ කෑගල්ලේ පැවති එජාප සැබෑව ජන හමුවකදී. එහිදී ජාතික ජනබලවේගයේ නායකයාගේ රූප රාමු හා පක්ෂයේ ඇතැම් ප්‍රතිපත්ති විශාල තිරයක පෙන්වමින් අදහස් දක්වන බව පෙනෙන්න දක්නට තිබුණා. ඒක ටිකක් අලුත් අත්දැකීමක්. මොකද ඒ ගැන හිතන්නේ ?

පිළිතුර – ඒකෙන් පේන්නේ සියලු දෙනාගේ ප්‍රතිවාදියා වෙලා තියෙන්නේ අනුර කුමාර සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගය බවයි. රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා ලෙස එවැනි සමුළුවකදී කියන්න ඕනේ, එයා කරපු දේ සහ එයා කරන්න යන දේ. නමුත් එයා ඒකෙදි කියන්නේ අනුර කුමාර කරන්න යන දේ ගැන. ඒකෙන්ම පේනවා මාලිමාව අනුර කුමාර සහෝදරයා ආණ්ඩුවට සහ මොනතරම් තර්ජනයක්ද කියලා. ඒ ගැන අපි සතුටුයි.

කතාවක් තියෙනවනේ සාර්ථකත්වය මනින්නෙ මිතුරන්ගේ ප්‍රශංසාවලින් නොව සතුරන්ගේ තර්ජන ගර්ජනවලින් කියලා. අපට දැනෙනවා අපි ගොඩක් සාර්ථක බව. 2019 දී සියයට තුනක් වුණු අපි 2024 දී සියයට පනස් එක ලබාගෙන බලය ලබා ගන්නවා කියලා අපි ගැන තක්සේරුවක් අපේ ප්‍රතිවිරුද්ධවාදීන්ම ලබාදීම තමයි අපේ නැඟිටීමේ ප්‍රමාණය.

ප්‍රශ්නය – අද රටේ තියෙන්නේ එක පක්ෂයක් බවත් එය එක්සත් ජාතික පක්ෂය බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහුගේ කතාව තුළ ජනතා ජාතික පෙරමුණ නමින් පක්ෂයක් ගැනත් සඳහන් කරනවා. හැබැයි ඒ මොහොතේ ජාතික ජනබලවේගයේ රූප රාමු ප්‍රමාණයක් පුළුල් තිරයේ දිස්වන්නේ. ජනාධිපතිවරයාට ඔබගේ බලවේගයේ නම නිවැරදි ලෙස මතක තබා ගන්න තරම්වත් ඔබ පක්ෂය ජනප්‍රිය නැහැ නේද ?

පිළිතුර – ජාතික ජන බලවේගය පිළිබඳව ඇත්තටම ඔබට ප්‍රශ්නයක් තිබෙනවාද? අපගේ රැස්වීම්වලට එක සෙනඟ අනුව එහෙම හිතන්න පුළුවන්ද?

මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. ඕනෙම මනුස්සයෙක් වයසට යනකොට මතක ශක්තිය හීන වෙනව. ඒක තමයි ඇත්ත. අවුරුදු හැත්තෑ ගණනක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් වෙලා තියෙන්නේ ඒක. ඇත්තටම වචන තුනක පක්ෂයක නමක් මතක තියාගන්න බැරි මනුස්සයකුට රටක් පාලනය කරන්න පුළුවන් ද ? උත්තරය හරි සරලයි. ඒ වගේ මනුස්සයෙකුගෙන් තමයි රටක් හදන්න බලාපොරොත්තු වන්නේ. හරි නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ මොළේ පරීක්ෂා කරවන්න ඕනා. දැන්වත් තේරෙනවද මේ වයසක මිනිසුන්ට මේ දේ කරන්න බැහැ කියලා. ඇත්තටම මේ වයසක උදවියට හරි නම් අපි අනුකම්පා කළ යුතුයි.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය හමුවේ ඇති ප්‍රධාන අභියෝගාත්මක පක්ෂය කුමක්ද ?

පිළිතුර – අධිතක්සේරුවකින් හිතනවා නෙවෙයි. ඇත්තටම අපිට අභියෝගයක් නැහැ. අප රටේ ජනතාව අලුත් නායකත්වයක් හොයනවා. ඇත්තටම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය මේ තියෙන ආර්ථික අර්බුදය. එහෙම නැතුව දේශපාලන පක්ෂ හෝ පුද්ගලයෝ නෙවෙයි. පවතින ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න නම් අපි නව මාවතකට අවතීර්ණ වන්න ඕනා. වංචාව, දූෂණය, නාස්තිය නැති ඇත්ත ආණ්ඩුවක් හැදිය යුතුයි. රටට ආයෝජකයෝ එන්න ඕනා. රටට ව්‍යාපාර අවශ්‍යයි. කර්මාන්ත තියෙන්න ඕනේ. හැබැයි මේ තියෙන දූෂණ වංචා සමග ඒ දේවල් කරන්න පුළුවන්ද? රාජ්‍ය ඇමැතිවරුම රාජ්‍ය ආයතන විකුණන්න හදනවා. ඔවුන්ගේ හැම ගනුදෙනුවක් අස්සෙම කොමිස් තියෙන්නේ. මේ කොමිස් එක්ක පිටරට ආයෝජකයකුට ඇවිත් මෙහි ව්‍යාපාර කරන්න බෑ.

රට හදන්න නම් නායකයෝ ආදර්ශමත් වෙන්න ඕනා. රට හැදීමේ කාරණයේදී එක් එක් පක්ෂ කරන යෝජනා අතර ලොකු වෙනස්කම් නැහැ. වෙනස තියෙන්නේ එය ක්‍රියාත්මක කරන තැනයි. එය හරියට කරන්න නම් ආදර්ශයක් අවශ්‍යයි. ජනතාවට නොලැබෙන කිසිම දෙයක් වරාප්‍රසාද ලෙස දේශපාලනඥයාට දිය යුතු නැහැ. ඒවා නීතියෙන් අහෝසි කළ යුතුයි.

ප්‍රශ්නය – හොඳයි.. ජනාධිපතිවරණයද එසේ නොමැති නම් මහමැතිවරණයද පළමුව පැවැත්වෙන්නේ යන්න ප්‍රශ්නාර්ථයක් දැන් රට හමුවට පැමිණ තිබෙනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් පළමුව මහ මැතිවරණයක් එන බවට ඉඟි පළ කරනවා.

පිළිතුර – මහ මැතිවරණයකට යෑමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕනෑම මොහොතක තිබෙනවා. එක ඇත්ත. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවා රනිල් වික්‍රමසිංහ ඡන්දෙ ඉල්ලන්නේ මොන පක්ෂයෙන්ද? ජූලි 17 වෙනකොට ජනාධිපතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා. එහෙමනම් මහ මැතිවරණය තියන්න ඕනා ඊට කලින්. එහෙම කරන්න නම් දැන් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනා. වෙන ක්‍රමයක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය තිබ්බත් ජනාධිපතිවරණයේ කල් දාන්න බැහැ. රනිල් මේ මහ මැතිවරණය පෙන්නන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බය ගැන්වීම සඳහා පමණයි. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. අනිවාර්යෙන්ම ඊළඟට එන්නේ ජනාධිපතිවරණයක්.

වෙන ඡන්දයක් එන්නේ නැහැ. ඒ නිසැක ලෙසම ඉන්නේ ජනාධිපතිවරණයක්. ඒක හරි පැහැදිලියි. ඔවුන් මහ මැතිවරණයද ජනාධිපතිවරණයද යන දෙගිඩියාව හදන්නේ ජනතාව ව්‍යාකූල කිරීම සඳහා පමණයි. අපි ඕන ඡන්දෙකට ලෑස්තියි.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment