අනුමත වෛද්‍ය සහතිකයක් නොමැති වෛද්‍යවරු රට පුරාම

ලෙඩේට ඕන බෙහෙත් දෙන ෆාමසිකරුවෝ

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ පසුගිය කාලය පුරාවටම අසන්නට දකින්නට ලැබුණේ ඉතා අසතුටුදායී පුවත්මය. ව්‍යාජ එන්නත්, තත්ත්වයෙන් බාල වූ ඖෂධ, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව මෙරටට ගෙන්වූ බාල බෙහෙත් හා වෛද්‍ය උපකරණ ඉන් සමහරෙකි. තවද මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හිටපු ඇමැතිවරයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විවිධ වංචනික අකටයුතු ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලය මුළුල්ලේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගිඟුම් දෙන්නට විය. තවද බාල බෙහෙත් හා බාල එන්නත් ආදියෙන් මෙරට සුවහසක් රෝගී ජනතාවද විඳි පීඩා හා ඔවුන්ට අත්වූ ශෝචනීය ඉරණම් ගැනද හෙළිවන පුවත් මෙරට මාධ්‍ය වෙතින් අසන්නට දකින්නට ලැබුණි. එහෙත් අප අද කතා කරන්නේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පුරා අලුතින් කතා කරන මාතෘකාවකි. බෙහෙත් හිඟය, තත්ත්වයෙන් බාල ඖෂධ ආදී හේතු කාරණ වලින් බැටකන රටේ රෝගී ජනතාවට මේ වන විට ‘හොර දොස්තරලා’ ගෙන්ද බැට කෑමට සිදුව ඇත.

රට පුරාම හොර දොස්තරලා 40,000ක්

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කිසිදු වෛද්‍ය සභාවකින් අනුමත නොකරන ලද සහතිකයක් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන් 40,000 ක් සිටින බව සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චමල් විජේසිංහ මහතා පවසයි. කතාව මෙසේය. මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වළපල්ලටම ගොස් ඇති අවස්ථාවක හා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කෙරෙහි අබ ඇටයකුදු විශ්වාසයක්ද තැබිය නොහැකි අවස්ථාවක මේ ආකාරයට ව්‍යාජ වෛද්‍යවරුන් බිහිවීම රටේ පවතින සෞඛ්‍ය ප්‍රශ්නය තවත් තීව්‍ර කිරීමට සමත්ව ඇති බවද වෛද්‍යවරු විසින් පෙන්වා දෙයි. තවද මෙසේ හොර වෛද්‍යවරු මෙරට සියලු පළාත්වලම පාහේම බිහිවී ඇති බවද ඔවුන් විසින් ඉතා සුළු මුදලක් රෝගීන්ගෙන් අයකොට ඔවුන්ට ඖෂධ නිකුත් කරන බවද එසේ ලබාදෙන ඖෂධ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට ලක්වන බවද මෙරට වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.

ආර්ථිකයෙන් බැට කන ලෙඩ්ඩු හොර දොස්තරලාගෙන් බැටකන හැටි

ආර්ථික අර්බුදයෙන් බැට කන මෙරට ජනතාවට හොර දොස්තරලාගෙන්ද බැටකන්නට සිදුව ඇත්තේ පවතින නීතිමය රාමුව තුළ මෙවන් ව්‍යාජ වෛද්‍යවරුන් සඳහා නීතිමය පියවර නොගැනීම හා පවතින නීති පද්ධතියද ඉතා ලිහිල් තත්ත්වයක් පවතින නිසාද විය හැකිය. මෙරට තුළ නීති විරෝධී ලෙස ඖෂධ නිකුත් කරන හා රෝගීන් පරීක්‍ෂා කරන ව්‍යාජ වෛද්‍යවරුන් සඳහා නීතිය මගින් නිකුත් කරනු ලබන දඩ මුදල ඉතා අවම දඩ මුදලක පැවතීමද මෙවැනි හොර දොස්තරලාට හොර වැඩකරන්නට තවත් රුකුලක්ද වන්නේය. තවද මෙරට තුළ පවත්නා මෙවැනි හොර ඖෂධ මධ්‍යස්ථාන ගැන මේ වන විට ජනතාව මැසිවිලි නගමින් පවතින බවද ලැබෙන ආරංචි මාර්ගය මගින් පැහැදිලිය. බොහෝ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මෙම ව්‍යාජ වෛද්‍යවරුන් අතර බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන වෛද්‍ය සභා යටතේ ලියාපදිංචි වී ඇති නමුදු තමන් හදාරා ඇති වෛද්‍ය ක්‍රමය වෙනුවට වෙනත් වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ප්‍රතිකාර ක්‍රම වල යෙදෙන බවද ලැබෙන තොරතුරු මගින් අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම් අතර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රවලට යම් සම්බන්ධතාවක් ඇති හෙද නිලධාරීන් ද අතුරු වෛද්‍යකාර්ය මණ්ඩලවලට අයත් වන නිලධාරීන් පවා තමන්ට නැති සුදුසුකම් පෙන්වා ප්‍රතිකාර කටයුතු වල යෙදෙන්නන්ද මේ වන විට මෙරට තුළ ප්‍රතිකාර කටයුතු සිදුකරගෙන යන්නේය. නීතියේ ලිහිලෙන් අයුතු ප්‍රයෝජන ගන්නා මෙවැනි ප්‍රතිකාර සිදුකරනා හොර දොස්තරවරු නිසා මෙරට ජනතාවගේ ජීවිතද වැටී ඇත්තේ කබලෙන් ළිපටමය.

මේ වනවිට ලැබී ඇති ආරංචි මාර්ග අනුව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම හොර දොස්තරවරුන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර කරන බව සනාථ වී ඇත. සාමාන්‍ය රෝග තත්ත්වයන්හි සිට බරපතළ රෝග දක්වාම වෛද්‍ය කර්මයේ යෙදෙන මේ හොර දොස්තරවරු විසින් නීති විරෝධී ගබ්සා පවා සිදුකොට ඇති බවද වාර්තා වී ඇත. එමෙන්ම පිළිකා වැනි රෝගද, වකුගඩු රෝග සහ හෘද රෝග සඳහාද කිසිදු විiාත්මක පදනමකින් තොරව විශේෂ ප්‍රතිකාර ක්‍රම අසරණ රෝගීන්ට හඳුන්වාදෙමින් ජනතාවගෙන් විශාල වශයෙන් මුදල් වංචා කරමින් සිටින බවද තතු දත්තෝ පවසති. මේ ආකාරයට මෙරට ජනජීවිතවලට දැඩි අවදානමක් හා රටේ ජනතාවගේ මුදල් අයථා ලෙස සූරාකෑමට ලක්කරන දොස්තරවරු මෙරට දිනෙන් දින වැඩිවන බැවින් මේ වනවිටත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙරට වෛද්‍යවරුන් පෙළගැසී ඇත.

හොර දොස්තරලා ගැන මුලින්ම කතාව එන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන්ය. මේ කතාව ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දක්වන්නේද මෙවන් අදහසකි.

“ ලංකාවේ වෛද්‍ය කර්මයේ යෙදෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය තිබිය යුතුයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබිය යුතුයි. එමෙන්ම හෝමියෝපති වෛද්‍ය සංගමය අනුමැතියද තිබිය යුතුයි. මෙම වෛද්‍ය ක්‍රම තුනෙන් පිට වෛද්‍ය කර්මයේ යෙදෙන කණ්ඩායම් සමීක්‍ෂණයක් විදියට ගත්විට පසුගිය කාලය තුළ 40,000 සිටින බවට වාර්තා වුණා. මෙතන කණ්ඩායම් කිහිපයක් සිටිනවා. එයින් පළමු වැනි කණ්ඩායම කිසිම සුදුසුකමක් නැතිව වෛද්‍යවරුන් හැටියට පෙනී සිටින අය. තවත් කණ්ඩායමක් සිටිනවා තමන් ලියාපදිංචිය ලබපු වෛද්‍ය ක්‍ෂේත්‍රය හැර වෙනත් වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙත් නිකුත් කරන අය. මීට අමතරව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින වෙනත් වෛද්‍ය නොවන කණ්ඩායම්. ඒ අයත් මෙම වෛද්‍යවරුන් ලෙස පෙනී සිට ප්‍රතිකාර කරනවා. මේ සියලු කණ්ඩායම්ගේ එකතුව 40,000 ක් බවට සිදුකළ සමීක්‍ෂණ තුළින් හෙළිවී තිබෙනවා. ඇතැම් දේශීය වෛද්‍යවරු දියවැඩියාව වැනි රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නියම කරන අවස්ථා මේ අතර තිබෙනවා. මේවා වැරදි ක්‍රම. මේවා නීති විරෝධියි.”

ඉහත වෛද්‍යවරයා පවසන පරිදි මෙරට ව්‍යාජ ලෙස පෙනී සිටින වෛද්‍යවරුන් යැයි කියාගන්නා අය රෝගීන්ට ප්‍රතිකාර කිරීම හේතුවෙන් මේවනවිට දහස් ගණනින් රෝගී ජීවිත අමාරුවේ වැටී ඇත. එමෙන්ම මෙම ප්‍රතිකාර මුවාවෙන් රෝගීන්ගේ පසුම්බියට විදින මෙවැනි ‘ගොඩ දොස්තරලා’ දිවයිනේ සුලබවම දක්නට ඇති බවද මෙරට වෛද්‍යවරු පෙන්වා දෙන තවත් කාරණාවකි.

දොස්තර වෙනුවට බෙහෙත් දෙන ෆාමසි දොස්තරලා…

අපේ දොස්තරවරු පිටරට…හොර දොස්තරවරු 40,000ක් වටපිට

දිවයිනෙහි පවතින ෆාමසි තුළ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කිරීම යන කාරණාව මේ වන උද්ගත වී ඇති තවත් ගැටලුවකි. පවතින ආර්ථික ගැටලුව හේතුවෙන් වෛද්‍යවරයකු හමුවට නොගොස් ප්‍රතිකාර සඳහා ෆාමසියක් වෙත යනෙන පිරිස් අද සමාජයේ බහුලව වෙසෙති. මෙහිදී ෆාමසිකරුවා විසින්ද එසේ පැමිණෙන රෝගීන් වෙත නීති විරෝධී ලෙස ඖෂධ නිකුත් කිරීමට පියවර ගනු ඇත. ඇතැම් විට මෙහිදී නිවැරදි ඖෂධය වෙනුවට වැරදි ඖෂධද රෝගීන් අතට පත්වීමෙන් රෝගීන්ගේ ජීවිතයට පවා හානි සිදුවී ඇති අවස්ථාද වාර්තා වීමද එහි අනිසි ප්‍රතිඵලයකි. හොර දොස්තරලා මෙන්ම ඇතැම් ෆාමසි තුළින්ද සිදුකරනු ලබන්නේද වැරැදි ක්‍රියාපිළිවෙතකි. මේ සම්බන්ධවද වෛද්‍ය චමිල් විජේසිංහ වෛද්‍යවරයා දැක්වූයේද මෙවන් අදහසකි.

“වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව සෘජුවම ෆාමසි හරහා මිනිස්සුන්ට දැන් බෙහෙත් දෙන්න පටන් අරන් තියෙනවා. රෝගීන් ඇවිත් ෆාමසි බෙහෙත් නිකුත් කරන්නාට රෝගය පවසා සිටින විට මෙම ෆාමසිකරුවා විසින් එයට අවශ්‍ය ඖෂධය නිකුත් කරනු ලබනවා. ෆාමසි තුළද ඖෂධ සංයෝජකට අවශ්‍ය සුදුසුකම් සපුරා තියෙනවාද යන්න සෙවීමට තවමත් අවශ්‍ය කටයුතු මේ වනවිට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ හා නීති රාමුව තුළ සිදුවන්නේ නෑ. වෛද්‍යවරයෙක් රෝගියකුට බෙහෙත් නියම කරන විට රෝගියාගේ ශරීරය පිළිබඳ පරීක්‍ෂාවක් සිදුකොට තමයි බෙහෙත් නියම කරන්නේ. මේ කියන ආකාරයට ෆාමසි මගින් එකවර බෙහෙත් නියම කිරීම තුළින් රෝගියාගේ ජීවිතයට එල්ලවන්නේ දැඩි අවදානමක්. ෆාමසි ඖෂධ සංයෝජයකයෙකුට දඩැර එයැ ජදමබඑැර නිකුත් කළ හැකි යම්කිසි බෙහෙත් ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් වැනි ඖෂධ. නමුත් ප්‍රතිජීවක ඖෂධ මේ අයට රෝගීන්ට නිකුත් කරන්න නීතියෙන් අවසර නැහැ. මේවා දෙන්න පුළුවන් වෛද්‍යවරයකුට පමණයි. එහෙත් ඇමොක්සිලින් ඖෂධය පවා නිකුත් කරන ආකාරය ෆාමසිවල දකින්න පුළුවන්. නමුත් නීතියට පිටින් ෆාමසිකරුවන් විසින් රෝගීන්ට බෙහෙත් ලබාදෙන බව නිරීක්‍ෂණය වී තිබෙනවා.”

ඖෂධ නාස්තියක්

රට තුළ විශාල වශයෙන් ඖෂධ නාස්තියක් සිදුවන බව ද වෛද්‍යවරයා කියා සිටී. රට තුළ ඖෂධ හිඟයක්ද පවතින අවස්ථාවක නිවැරදි ඖෂධ නියාමයක් නොමැති කමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන ඖෂධ නාස්තියද ඉතා ඉහළය. හොර දොස්තරලා මෙන්ම අධික ලෙස ඖෂධ නාස්තිය නිසා මෙරට වසරක් තුළ විශාල ලෙස ඖෂධ නාස්තියක් සිදුවන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ මීට වඩා මාර්ගෝපදේශ අලුත් විය යුතුයි. මෙරට තුළ විශාල ඖෂධ නාස්තියක් සිදුවෙමින් පවතිනවා. ගොඩක් රෝගීන් ඖෂධ රැගෙන ගියාට එම ප්‍රතිකාර ගන්නේ නෑ. පැරසිටමෝල් ඖෂධය රාජ්‍ය රෝහල් පද්ධතියේ පමණක් අවුරුද්දට පෙති මිලියන 850 ක් යනවා. ඒ කියන්නේ කෝටි 85 ක්. ලංකාවේ ජනගහනය කෝටි 2 යි. එක්කෙනක් අවුරුද්දකට පෙති 40 ක් බීලා. මේ ගණනය රාජ්‍ය අංශයේ පමණයි. මෙවැනි තුන් ගුණයක් රට තුළ ඖෂධ නාස්තියක් සිදුවෙනවා.”

බටහිර වෛද්‍ය ප්‍රතිකාර කර්මයේ මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළද ‘හොර වෙදුන්’ සිටින බවට විවිධ චෝදනා මේ වන විට එල්ල වෙමින් පවතී. ඇතැම් දේශීය වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පිරිස් ඔවුන්ගේ ඖෂධ පතා පැමිණෙන රෝගීන් සඳහා බටහිර වෛද්‍ය ඖෂධ නිකුත් කරනු ලබයි. මෙසේ ඔවුන් එම ඖෂධ නිකුත් කරනු ලබන්නේ දේශීය ඖෂධ ගන්නා අතරතුරදී බටහිර ඖෂධද මාත්‍රාවක් ගන්නා ලෙසයි. මෙසේ මොනයම් ක්‍රමයකින් හෝ රෝගියාගේ ලෙඩේ සනීප කිරීමට උත්සාහ ගන්නා මෙම හොර වෙදැදුරෝ ඇතැම් ඖෂධ නිකුත් කරනු ලබන්නේද ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ යන උපහැරණයද ලෙඩ්ඩුන්ගේ සිහියට ගන්වමිනි. මේ ආකාරයට නීති විරෝධීව ඖෂධ නියම කිරීම නිසා රටේ රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇති බවද නොරහසකි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාද පවතින තත්ත්වය ගැන පැහැදිලි කළේය.

“පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට ලියාපදිංචි වෙන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරල තිබෙනවා. ඒත් නීත්‍යනුකූල දොස්තරලාත් මේ සම්බන්ධව ලියාපදිංචි වෙන්නේ නැහැ. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න ඒ සඳහා වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍යයි. නමුත් සුදුසුකම් තියෙන වෛද්‍යවරුන්වත් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න තවම රජයේ ලියාපදිංචි වෙලා නැහැ. මේ තත්ත්වය යටතේ හොර දොස්තරලා නීතියේ රැහැනට කොටුකරගැනීමේ ක්‍රියාව ප්‍රායෝගික වන්නේ නැහැ. මෙයට හේතුව හොර දොස්තරවරු වගේම රජයේ වෛද්‍යවරුත් ලියාපදිංචි නොවීම. පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිසම තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරනවානම්, රජයේ රෝහල්වල වැඩ කරන වෛද්‍යවරුන් හරියට ලියාපදිංචිය සිදුකරනවානම් ඉතුරු අය තමයි හොර වෛද්‍යවරුන් වන්නේ. රජයේ වෛද්‍යවරුන් මේ කියන ලියාපදිංචියට එකතු වෙන්නේ නැති තත්ත්වයක් යටතේ හොර වෛද්‍යවරුන් අල්ලන ගියාම නීත්‍යානුකූලව ගැටලු තත්ත්වයක් මතුවෙනවා. හොඳම විසඳුම වන්නේ පෞද්ගලික වෛද්‍ය සේවා ආඥා පනත සක්‍රීය කිරීමයි. මෙම පනත අද බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවී තිබෙනවා. පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන සියලුම රජයේ වෛද්‍යවරුත් මෙහි ලියාපදිංචි විය යුතුමයි. එවිට රටේ හොර වෛද්‍යවරුන් කවුරුන්ද යැයි හඳුනාගත හැකියි.”

මෙසේ ලියාපදිංචි වීමේදී මුදල් ගෙවීමක් සිදුකළ යුතු අතර මෙවැනි ගෙවීමක් සිදුකළ විට බද්දක් වශයෙන් වාර්ෂිකව ගෙවිය යුතු යැයි හැඟීමෙන් දිවයින තුළ රජයේ වෛද්‍යවරුන්ද මෙම ලියාපදිංචිය සිදුනොකරන බවද වෛද්‍යවරයා පවසයි. තවද යම්කිසි ප්‍රදේශයක හොර වෛද්‍යවරයෙකු සිටිනවා නම් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්‍ෂක වරයා විසින් සොයා බලා අදාළ තැන් දැන්වත් කළ යුතු අතර මෙය ඔහුට පැවරී ඇති කාර්යයක් බවද පෙන්වාදෙන වෛද්‍යවරයා මෙම හොර දොස්තර ප්‍රශ්නයට හේතුවක් වන්නේ මේ වනවිට ප්‍රදේශයේ ඵධ්‍ය වරයාද බෙහෙත් දෙන තත්ත්වයක් මෙරට පවතින බව පෙන්වා දෙමිනි. එම නිසා ඔහු සිය කාර්යය භාරය මඟ හරින බවද තම තමන්ගේ හොරකම හෙළිවන නිසාවෙන් මෙම හොර දොස්තරවරුන් රට පුරා බිහිවී ඇතැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නීතියට කොටුකරන හොර දොස්තරු

වෛද්‍යවරුන්ගේ සංගමය ද කියා සිටින්නේ රටේ වෛද්‍ය පද්ධතියේ නීති පද්ධතිය මීට වඩා ශක්තිමත් විය යුතුය යන්නය. මාධ්‍ය හරහා ජනතාව දැනුවත්වීමක්ද සිදුවිය යුතු බවද වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි. ඔහු පවසන අන්දමට වෛද්‍යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වී මේ වනවිට ක්‍රියාකාරී කමිටු දෙකක් පිහිටුවලා ඇත. වෛද්‍යවරුන් කියා සිටින අන්දමට මෙසේ රට පුරා ක්‍රියාත්මක වන හොර වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රටේ නීතිමය ප්‍රතිපාදනද ප්‍රමාණවත් නැති බවකි. අනෙකුත් කාරණාව වන්නේ මේ වනවිට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ‘හොර දොස්තරලා’ අත්අඩංගුවට ගෙන සිදුකරනු ලබන්නේද දඩ මුදලකට යටත් කිරීම පමණකි. වෛද්‍යවරු පවසන ආකාරයට මෙම ක්‍රමවේදයේ ගැටලු ගණනාවක් පවතී. වෛද්‍යවරු කියා සිටින්නේ අදාළ වැටලීම් වලට වෛද්‍යවරුයෙක් සහභාගිවිය යුතුය යන්නයි. එමෙන්ම ඵධ්‍ය හා පොලිසිය යන කණ්ඩායම් ද මේ සඳහා සහභාගි විය යුතුය යන්නය. නමුත් මේ කණ්ඩායම් සියල්ල එකට එකතු කරගැනීමට අවකාශයක් නොමැති කම නිසා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට තවමත් මෙරට තුළ හැකියාවක්ද නැත. වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේද ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත්කිරීමටද නියමිත බවකි. තවද මෙම හොර වෛද්‍යවරුන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය හා නීති පද්ධතිය එකතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසය.

රටේ ප්‍රධාන වෛද්‍ය සභා තුනෙහි ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ගේ දත්ත ගොනුවක් ආරම්භ කර අඛණ්ඩව යාවත්කාලීන කිරීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි බාර ගැනීමට පැය 24 පුරා විවෘතව පවතින තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම හා එහි දුරකථන අංකය සමාජගත කිරීමද කෙටි දුරකථන පණිවුඩ මගින් වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කර තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද ඔවුන්ගේ යෝජනාය. එමෙන්ම සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කර වරදකරුවකු වන පුද්ගලයකුට රු.100,000 ක දඩ මුදල් සහ වසර පහක් දක්වා සිරදඬුවමක් ලැබෙන නීති අලුතින් සම්පාදනය කරන ලෙසද ඔවුන් පෙන්වා දේ. පෞද්ගලික ඖෂධ හල් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශකින් තොරව ජනතාවට ඖෂධ ලබාදීමේ වරදට ඖෂධසල් වසාදැමීම හා එහි බලපත්‍ර අහෝසි කරන ලෙසද එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වැනි නීති ක්‍රියාත්මක කිරීම තුළින් පවතින තත්ත්වය මඟහරවා ගතහැකි බවද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

රටෙහි සෞඛ්‍ය පද්ධතියද මේ වනවිට ඇත්තේ දැඩි අවදානමකය. පවතින තත්ත්වයෙන් බාල ඖෂධ හා ඊට වගකිවයුත්තන් මේ වනවිට සිරදඬුවම් ලබන අතර නූල් බෝලයක් මෙන් පැටලී ඇති මෙරට සෞඛ්‍ය පද්ධතිය දිනෙන් දින ගැටලුවලටම ලක් වෙන බවක්ද පෙනී යනු ඇත. තවද මේ වනවිටද මෙරට වෛද්‍යවරුන් බොහෝමයක් රට හැර ගොස් ඇත. එහෙත් එහි අඩුපාඩුව හොර දොස්තරලා විසින් පිරවීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි දෙයකි. පවතින සෞඛ්‍ය අර්බුදයත් සමඟ රෝගී ජීවිත දහස් ගණනින් අසරණ වී ඇති අවස්ථාවක මෙවැනි කූඨ වචංනික හොර වෛද්‍යවරු පහල වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment