අවුරුදු සතියත් කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. අවුරුදු සමරන්නට ගම්පළාත්වලට හා විදේශීය රටවලට ගොස් සිටි මැති ඇමැතිවරු පසුගිය සති අන්තය පමණ වන විට එක්කෙනා දෙන්නා කොළඹ එන්නට පටන් ගත්හ. එහෙත් අවුරුදු සමරන්නට අවුරුද්දටත් පෙර නුවරඑළිය බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආපසු කොළඹ එන්නට වෙනදාටත් වඩා වැඩි කාලයක් ලබා ගැනීම විශේෂත්වයකි. ඔහු එම සති දෙක තුළ හොඳ විවේකයක් ලබාගත්තේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සමගය.

පසුගිය 13 වැනිදා, එනම් අවුරුදු දිනයට පෙර දිනයේ ජනාධිපති රනිල් තම උපදෙස් පරිදි නුවරඑළියේ ආරම්භ කළ ළමා නිවාසයේ දරු දැරියන්ට අවුරුදු ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වූයේය. ඒත් සමගම ලංකාව පුරාම ඇති ළමා නිවාසවලට තෑගි භෝග ලැබුණේ දැයි සොයා බලන්නට ද ඔහු අමතක නොකළේය.

ජනපති රනිල් ලස්සන වූ රහස

ජනාධිපති රනිල් විශේෂ අත්දැකීමක් ලබා ගැනීමට පහුවදා මීපිළිමාන ක්‍රීඩාංගණයේ පැවති අවුරුදු උත්සවයකට ගියේ පෙර සූදානමක් නැතිවය. දරුවන්ගේ බනිස් කෑමේ තරගාවලිය ජනාධිපතිගේ නෙත් සිත් ගත්තේය. ඒ අතර උත්සවය මෙහෙයවමින් සිටි තරුණියක් මයික්‍රපෝනයක් රැගෙන ජනාධිපතිවරයා අසලට විත් ප්‍රශ්න කීපයක් ඇසුවාය… ඇයගේ එක ප්‍රශ්නයක් කිසිවෙකුත් අපේක්ෂා නොකළ එකකි.

“ඔබතුමා කොහොමද ඔය තරම් ලස්සන වෙලා ඉන්නේ…”

“ඒ මම යූඑන්පී කාරයෙක් වෙච්ච නිසා.” ජනාධිපතිවරයා කිසිදු චකිතයකින් තොරව එකවර කියා දැම්මේය. උත්තරයෙන් නිවේදිකාව පවා නිරුත්තර වූවාය. අසා සිටි ප්‍රදේශවාසී ජනතාව කොක්හඬලා සිනාවෙන්නට වූහ.

අවුරුදු උත්සවයේ ත්‍යාග ප්‍රදානය සඳහාද ජනාධිපතිවරයාට ආරාධනා කළ බැවින් ඔහු වේදිකාවට ගොඩ වෙද්දී නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස ඒ ආසන්නයේ සිටිනවා දුටුවේය. ඔහුව ද ත්‍යාග ප්‍රදානය සඳහා සහභාගි කරවා ගන්නයි ජනාධිපතිවරයා සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරයා ද වේදිකාවට ගොඩවිය.

බයිසිකල් ධාවන තරගයේ ත්‍යාග බෙදා දෙද්දී එහි පළමු ස්ථානය දිනා සිටියේ දන්නා කියන අයෙකුගේ නමක් ඇති පුද්ගලයෙකි. හේ අනුර දිසානායක නම් විය. ජනාධිපතිවරයා ඔහුට හිමි ත්‍යාගය ලබා දුන්නේ… “ඔන්න එහෙනම් අලුත් අවුරුද්දේ අනුර දිසානායකටත් මගෙන් තෑග්ගක්…” කියා අවට සිටි බොහෝ දෙනෙකුට ඇසෙන සේ කියමිනි. ඒ නම කියා රනිල්ව දැනුවත් කළේ හරින් ප්‍රනාන්දු ය.

විශේෂත්වයක් තිබුණේ ජනාධිපතිවරයා පොදු ජනතාව හා කතාබස් කරමින් අවට ප්‍රදේශයේ නිදහසේ කල්ගත කිරීමයි. ජනතාවත් ජනාධිපතිවරයා සමග කතාබස් කරමින් ප්‍රදේශයේ තිබෙන අඩුපාඩු ගැන විවිධ ඉල්ලීම් කරන්නට මෙය අවස්ථාවක් කොට ගත්හ. ඒ අතර මීපිළිමාන විද්‍යාලයේ විදුහල්පතිවරයා පැමිණ විදුහලේ මෙතෙක් පැවැති අඩුපාඩු රැසක් ජනාධිපතිවරයා දැනුවත් කරමින් ලබා ගන්නට සමත් වූයේය.

නිමල් පියතිස්ස මන්ත්‍රීවරයාත් ජනාධිපතිවරයාත් අතර මෙහිදී ඉතා හොඳ මිත්‍රත්වයක් ඇති විය. ඒ ආසන්නේ නිවසක තේ පැන් සංග්‍රහයක් සඳහා පිටත්ව ගියේ ජනපතිවරයා නිමල් පියතිස්සවත් තම රථයට නංවාගෙනය.

මහින්දලා සජිත්ලා අවුරුද්දට කරපු දේ

අවුරුදු සමයේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු විදෙස්ගත වන්නට පුරුදුව සිටියහ. ඒ අතර රාජපක්ෂවරු සුපුරුදු පරිදි මැදමුලනේ සිය ගම්පළාතට

ගොස් සිටියහ. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු සියලුම දෙනා මුළු අවුරුදු සතියම මැදමුලන තංගල්ල කාල්ටන් ප්‍රදේශවල කල්ගත කිරීම විශේෂත්වයක් විය.

මේ නිසා අලුත් අවුරුද්ද අවස්ථාවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් තංගල්ලේ කාල්ටන් නිවසට ගොස් මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණහ. එය දැනට අවුරුදු ගණනාවක සිට ඔවුන් ඉටු කරන චාරිත්‍රයක් ලෙස සැලකිණ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවුරුදු සතිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුපුරුදු තැන් කිහිපයක ගත කරන්නට අමතක නොකළේය. අලුත් අවුරුදු සති අන්තයේ පන්නිගමුව රාජකීය විද්‍යාලයේ සිසු දරු දැරියන් හමුවන්නට ගිය සජිත් සිය පාසල් දරු දැරියන්ට උදව් පදව් කිරීමේ වැඩසටහන යටතේ’ 155 වෙනි සුහුරු පන්ති කාමරයක් ඔවුන්ට අවුරුදු තෑග්ගක් ලෙස ත්‍යාග කළේය.

“රට දැන් තියෙන්නෙ භයානක අගාධයකට වැටිලා. මිනිස්සුන්ට නිදහසේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නවත් බෑ. අලුත් අවුරුදු කෑම පිනිස තියෙන හැම කෑමක්ම දෙතුන් ගුණයක් මිල ඉහළ ගිහින්. මේ විදියට අපට තවත් ජීවත් වෙන්න බෑ. ඕගොල්ලෝ ලෑස්ති වෙන්න අපේ ආණ්ඩුවක් යටතේ මේ තියෙන ක්‍රමය වෙනස් කරලා රටට සෞභාග්‍ය උදා කරලා ලබන වසරේ සුපුරුදු සුවපහසුවෙන් අවුරුදු කන්න…”

එම දිනයේම හම්බන්තොට සහිරා ජාතික පාසලට ද තවත් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්නට සජිත් කටයුතු කළේය. එහිදී ද ඔහු කතාවක් කළේය.

“මතක තියාගන්න… අපි ඊළඟ අවුරුද්ද සමරන්නේ අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා, ජනතාවාදී මානුෂීයවාදී ගිව්සුමක් යටතේ මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය ආරම්භ කරමින් ජනතාව මේ ව්‍යසනයෙන් මුදා ගෙනයි.”

මේ ආකාරයෙන්ම සජිත් එදිනම කිරින්ද මුස්ලිම් විද්‍යාලයට ද සුහුරු පන්ති කාමරයක් ප්‍රදානය කිරීම දැකගත හැකි විය. කයිය නායකලා හා බයිය නායකලා ගැන සජිත් අපූරු කතාවක් කළේ ඒ අවස්ථාවේදීය.

“කාලයක් අපේ රටේ බයිය නායකයො හිටියා. මේ වෙනකොට කෝටි ගණන් සල්ලි වියදම් කර කර ලෝකෙ පුරා සවාරි ගිහින් රට හදන හැටි ගැන කයිය ගහන කයිය නායකයෙකුත් පහළ වෙලා. රටට අගයක් එකතු කරන්න බැරි උනත් රටට තඹ සතයක් ගෙනල්ල නැති උනත් කටේ කයිවාරුව හා විවේචනය නම් අඩුවක් නෑ. සෝබන සන්දර්ශන කර කර මිනිස්සු රවට්ටනවා…” සජිත් නමක් ගමක් කීවේ නැති උනත් ඒ කීවේ කාටදැයි මුස්ලිම් පාසල් දරුවන්ට පවා එහිදී පැහැදිලි වූහ.

සජබෙ – ජාජබෙ විවාදය කල් ගිහින්

ඒ අයුරින් පසුගිය සති අන්තයේ අවුරුදු වැඩ කටයුතු ගෙවී යද්දී ජනතාව බලා සිටියේ සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් අතර විවාදය ඇති වන්නේ කවදාද කියාය. බොහෝ දෙනකු කීවේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර නොව, පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර විවාදයක් පැවතිය යුතු බවයි. මන්ද රට සම්බන්ධයෙන් හා රට වෙනුවෙන් වත්මන් රජය කරමින් සිටින ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද මේ රටේ වැඩිපුරම විවේචන ඉදිරිපත් කරන දෙපාර්ශ්වය රටට ගැලපෙන විකල්පය ලෙස යෝජනා කරන්නේ කුමක්දැයි කියා රට දැනගන්නට අවශ්‍ය නිසාය.

එහෙත් අවාසනාවක මහත, එබඳු සංවාදයක් ගැන යෝජනා හා අදහස් විනා සංවාදය කරන්නේ කවද්ද කොතැනද කොහොමද යන ආකාරයේ තොරතුරක් කිසිදු පාර්ශ්වයක් ඔස්සේ තවමත් රටට හෙළිදරව්වක් වී නැත.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය 16 වැනිදා තිලංග සුමතිපාල අලුත් අවුරුද්ද තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ ආරම්භ කිරීමට පක්ෂ මූලස්ථානයේ කාර්යාලයට ගියේය.

ඉබියතුරු කඩාදමා තිලංග වැඩ අල්ලයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාලය තිබෙන්නේ කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ලට පිටුපස තිබෙන ගොඩනැඟිල්ලේය. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ දෙපිරිසක් අතර ඇති වූ අරගලය හේතුවෙන් පොලිසිය පක්ෂ මූලස්ථානයේ ගොඩනැඟිල්ල ඉබි යතුරු යොදා වසා දැමීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට යෑමට ඇති ප්‍රවේශ මාර්ගය ද අවහිර විය. තිලංගගේ තර්කය වූයේ පොලිසිය ඉබි යතුරු යොදා වසා දමා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය මිස එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය නොවන බවයි. මේ පිළිබඳ පොලිසිය දැනුවත් කළ තිලංග පළමුවෙන්ම කළේ පක්ෂ මූලස්ථානය අසලින් පිටුපස ගොඩනැඟිල්ල වෙත යන මාර්ගය අවහිර කරමින් දමා තිබූ ඉබි අතුරු කඩා ඉවත් කිරීමයි. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය වෙත ගිය තිලංග සියලු මාධ්‍ය කැඳවා එහිදී පක්ෂයේ වත්මන් තත්ත්වය හා පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන හෙළිදරව් කරමින් පුවත්පත් සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

“අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රැකගන්න කැපවෙනවා. මොනම ආකාරයක කුමන්ත්‍රණයකටවත් පක්ෂය විනාශ කරන්න අප ඉඩ තියන්නේ නෑ…” එහිදී තිලංග කීවේය.

කුමන්ත්‍රණ ගැන කවර කතා කවුරු කීවත් ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් කුමන්ත්‍රණවලින් ගැලවීමක්ම නොමැති විය. ඇතැමකු පක්ෂය බේරා ගැනීමට යයි කියමින් ගනු ලබන යම් යම් ක්‍රියාමාර්ග අනිත් පාර්ශ්වයට කුමන්ත්‍රණ වූහ. ඒ පාර්ශ්වයේ ක්‍රියාමාර්ග මුල් පාර්ශ්වයට කුමන්ත්‍රණ වූහ. මේ අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ නායක මෛත්‍රිපාලගේ කණ්ඩායම හා පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකාගේ කණ්ඩායම ලෙස නොනිල වශයෙන් බෙදී ගිය කණ්ඩායම් දෙක අතර අරගලය වඩ වඩාත් උණුසුම් වන්නට විය.

මේ තත්ත්වය වඩාත් කැපී පෙනුණේ පසුගිය 17 වැනිදාට යෙදූ තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එකසිය අට වැනි ජන්ම දින සමරු උත්සවය පවත්වන අවස්ථාවේදීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බණ්ඩාරනායක පිළිරූ දෙක අභියස පවත්වන්නට යෙදුණු 108 වන ජන්මදින සංවත්සරය දෙගොල්ලා පැවැත්වූයේ එකක් ලෙස නොව, උත්සව දෙකක් ලෙසය.

දාහත් වැනිදා උදේ දහයට පැවති උත්සවය සංවිධානය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානයේ චන්ද්‍රිකා සොයිසා මැතිනිය ඇතුළු නියෝජිතවරියන් විසිනි. මෛත්‍රී පිල නියෝජනය කරමින් ඔවුන් මෙම උත්සවය සංවිධානය කළ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ද නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වත්මන් රජය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ටද මෙම උත්සවය සඳහා ආරාධනය කර තිබිණි. ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂට සිරිමා බණ්ඩාරනායක විශේෂ සමරු දේශනය පවත්වන්නට ආරාධනය කර තිබිණි.

මෛත්‍රිපාල – සිරිපාල සැමරුමේ ගැටුමක…

පටන් ගැන්මේ සිටම ආරවුල කොතරම් ද යත් පක්ෂ නායක (අධිකරණය විසින් වාරණය කරන ලද) මෛත්‍රිපාල පැමිණෙන වෙලාවේ අනෙකුත් සියලුම ආරාධිතයන් නැගී සිටියත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හරි බරි ගැසී වාඩිවී ඉවත බලාගෙන සිටියේය.

උත්සවය ආරම්භ වූයේ පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්‍යන්ත මිත්‍රපාලගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුවයි. ඉන් පසු ආරාධිත කථක විජයදාස රාජපක්ෂ ගුණසමරු දේශනය පවත්වනු ලැබීය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් දුමින්ද දිසානායකට කතාවක් ලබාදී තිබුණත් ඔහු ඒ අවස්ථාව නිමල් සිරිපාල ද සිල්වා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයාට භාර කළේය. කෙසේ වෙතත් ඔහුගේ කතාව පුරාම තිබුණේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට එල්ල කළෙත් දැඩි විවේචනයන්ය. සිරිමාවෝ මැතිනිය ගැන හොඳ කීවේ, ඇයව අගය කළේ ඉන් පසුව පක්ෂයේ නායකයෙක් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දුර්වලකම් ඉස්මතු වන ආකාරයෙනි.

“එතුමිය වරදාන වරප්‍රසාද ලාභ ප්‍රයෝජන ලබාගෙන පක්ෂයේ නිලතල පූජා කළේ නෑ. කිරි හට්ටියට, සල්ලිවලට සංවිධායකකම් ලබා දුන්නේ නෑ…” යනාදී අයුරින් පහර ගැසීම්වල කෙළවරක් නොවීය.

අවසානයේ මෛත්‍රිපාල සිරිසේනගේ කතාව තුළ ඒ සියල්ලට උත්තර දෙනු ලැබීය. තමන් දූෂිතයකු නොවන බවත් බණ්ඩාරනායක මැතිඳුන්ගේ කාලයේ දූෂිත ඇමැතිවරු දෙදෙනකු පලවා හැරියා මෙන් තමන්ද දූෂිත ඇමැතිවරයකු පලවා හැරි බව ඔහු මතක් කළේය. ඉන් පසුව ආ ආණ්ඩුවකිනුත් දූෂිත ඇමැතිවරයෙක් පන්නා දැමූ බව ඔහු පෙන්වා දුන්නේ නිමල් සිරිපාලට එල්ල කළ බරපතළ අතුල් ප්‍රහාරයක් විලසිනි. කෙසේ වෙතත් මේ ගුණසමරු උත්සවය තුළ මැතිනියගේ ගුණ කතා කරනවාට වඩා කෙරුණේ දෙපාර්ශ්වයේ පරණ කෝන්තර පිරිමසා ගැනීමේ විවාදයක් ලෙස උත්සවය අවසන් වීමයි.

අවසානයේදී වෙනත් කටයුත්තකට යෑමට අවශ්‍ය යැයි කියමින් නිමල් සිරිපාල ද සිල්වා හා විජයදාස රාජපක්ෂ නික්ම ගියත් ඉතිරි දෙපාර්ශ්වයේ කොයි කවුරුත් තේ පානය කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සම්භාෂණ ශාලාවට ගියෝය.

එතනදී මෛත්‍රිපාල සිරිසේන, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර හෙක්ටර් බෙත්මගේ, සරත් ඒකනායක ඇතුළු පිරිසක් තේ පානය කළේ එකම මේසයක වාඩි වීය. ඒ අවස්ථාවේ ඔවුන් අතර විරසකයක් නම් පෙනුනේ නැත. සියල්ලෝම කතාබස් කරමින් සිනාසෙමින් සතුටෙන් සිටියහ.

එහෙත් ඒ වෙලාවේ එතනට පැමිණි ශ්‍රී ලංකා නිදහස් වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රෝයි ද මෙල් එක්තරා දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය…

“දැන් බලන්න සර්…. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුලු කැඩුවය, බඩු නැති වෙලාය කියල ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නේ පළවෙනි මහලේ තියෙන කාර්යාලයේ. ඒක වහල දාන්නැතුව ඒ වෙනුවට මුළු බිල්ඩිමම වහලා දාපු එකෙන් අපිට දැන් උඩ තට්ටුවල තියෙන අපේ කාර්යාල එකකටවත් යන්න බෑ. අපේ වෘත්තීය සමිති සම්මේලන කාර්යාලයේ කිසිම වැඩක් කරගන්න විදියක් නෑ. අඩුම ගානේ මගේ වැඩ කරන ළමයින්ට අවුරුදු කන්න පඩි දෙන්න චෙක් එකක්වත් අත්සන් කරගන්න බැරි වුණා. අපි කොහොමද මෙහෙම තියාගෙන පක්ෂවල වැඩ කරන්නේ. දැන් හෙට අනිද්දා මැයි දිනයේ වැඩකටයුතු තියෙනවා. වෘත්තීය සමිතිවල වියදම් පියවන්න තියෙනවා. මේ ඔක්කොම හිරවෙලා පක්ෂ මූලස්ථානය වහපු එකෙන්. කරුණාකරලා අනිත් මහල්වලට විතරක් වත් යන්න තත්ත්වයක් හදලා දෙන්න…” රෝයි මෙම ඉල්ලීම කළේ දෙපාර්ශ්වයෙන්ම කරන ආයාචනාවක් විදියටය.

“ඒක තමයි දුමින්ද… මෙන්න මේක ඉවරයක් කරලා මේ ප්‍රශ්නෙ විසඳන්න. ඕගොල්ලො මේ බිල්ඩිමට යන්න පුළුවන් විදියට අගුලු ටික ඇරලා දෙන්න…” කියමින් මෛත්‍රී ද දුමින්දගෙන් ඉල්ලා සිටියේය. දුමින්ද ඒ ඉල්ලීම භාරගත්තාට සැකයක් නොවීය.

අවසානයේ මේ සියල්ල නිම වී මන්ත්‍රීවරු එළියට බසිද්දී මාධ්‍ය පැමිණ ඔවුන් වටකර ගත්හ. ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ මෛත්‍රී පාර්ශ්වය හා ගැටුම් ඇති කර ගනිමින් සිටියත් දැන් මොහොතකට කලින් සිනහවෙමින් සතුටෙන් එකම මේසයක සිට කවුරුත් තේ බීවා නේදැයි මාධ්‍ය විමසා සිටියේ දුමින්ද ගෙනි.

“ඔයාල කියන්නේ අපිට ඔරවගෙන බුම්මගෙන ඉන්න කියලද. එහෙම ඉන්න තරම් අපි අතර කිසිම තරහක් වෛරයක් නෑ. එහෙම හිටියයි කියලා අපිට කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙත් නෑ. අපි ගැටලු නිරාකරණය කරගන්නයි වාද විවාද කරන්නේ. ඒ ඇරුනාම අපට එකට වාඩිවෙලා තේ බොන්න බැරි තරමට කා එක්කවත් තරහක් නෑ…” දුමින්ද ඔවුන්ට හොඳ උත්තරයක් දුන්නේ එසේය.

කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනියගේ පාර්ශ්වයෙන් සංවිධානය කළ අමරවීරලාගේ දුමින්දලාගේ ලසන්තලාගේ සිරිමා බණ්ඩාරනායක සමුළුව පැවැත්වුණේ එදා හවස දෙකයි තිහට එම ස්ථානයේදීය. මෛත්‍රී පාර්ශ්වයේ කිසිවකුටත් ඊට ආරාධනා කර තිබුණේ නැත. එහෙත් දෙපැත්තේම රැස්වීම් හා සමිති සමාගම්වලට සහභාගි වන සරත් ඒකනායක මේ උත්සවයට ද පැමිණ සිටියේය.

උත්සවය චන්ද්‍රිකා මැතිනියගේ න්‍යාය පත්‍රය අනුව සිදුකෙරිණි. උත්සවය වැඩි වෙලා තිබුණේ නැතත් ශ්‍රීලනිපයේ නායකයන් අතර කතා බහ නම් ටික වේලාවක් පැවැත්විණි. දුමින්දලා ලසන්තලා ඇතුළු හිතවතුන් එදා උදේ පැවති උත්සවයේ බොහෝ තොරතුරු කතා කළේ ඒ අවස්ථාවේය.

“මෛත්‍රිපාල කියන්නේ කිසිම දෙවන පෙළක් ගොඩනඟන්න කල්පනා කරපු නායකයෙක් නෙවෙයි. එයා සමහරුන්ව ළං කරගෙන වැඩ ගන්නවා වගේම තමයි ඒ වැඩ ගැනීමෙන් පස්සේ අවලංගු කාසියක් වගේ අත්හැරලා දාන්නෙත්. ඉතිහාසය පුරාම ඒ වගේ අතහැර දාපු චරිත බලන්න… දයාසිරිගෙන් මොනවද කර නොගත්තේ. අන්තිමේ එයාව නැත්තටම නැති කරලා දැම්මා. බණ්ඩාරනායකවරුන්ට පිටුපාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගියා කියල සමහර අයට චෝදනා කරන එයා තමයි ඉස්සෙල්ලම 2015 රනිල් එක්ක ගියේ. අපි ආණ්ඩු හදන්න එක් වුණාට සිරිකොතේ ලැග්ගේ නෑ. එයා එතනටත් ගියා. අපේ පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ කී දෙනෙක් එයා ඒ පැත්තට ඇදලා ගත්තද. අන්තිමේ වැඩ අරන් විනාශ කරා. මුලින්ම එම්. කේ. ඩී. එස්. ව නැති කරා. ඊළඟට ෆයිසර් මුස්තාපාව, ඊළඟට සෝලංගආරච්චිව. ඊළඟට දයාසිරිව, අමරවීරව, කීදෙනෙක් අමාරුවේ දැම්මද. දැන් කිසිවක් මතක නෑ වගේ කතා කරනවා. අපේ නිලතල අයින් කරලා අපිට දඬුවම් දුන්නේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තයි කියලා. දැන් ඔන්න ඒ ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරයෙක් අරන් ඔඩොක්කුවේ දාගෙන ඉන්නවා… විජයදාස රාජපක්ෂගේ ඇමැතිකම වරදක් නැද්ද එතකොට….” ඒ අයුරින් දුමින්දලා ලසන්තලා එකතු වී එල්ල කළ විවේචනය සුළුපටු නොවීය.

මේ සියල්ල අවසානයේ 18 වැනි දා මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පැනවුණු වාරණ නියෝගය අවසන් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පෙනී සිටීමේ අයිතිය වාරණය කරමින් අධිකරණය පනවා තිබූ නියෝගයට එරෙහිව කරුණු දක්වන්නට මෛත්‍රී පාර්ශ්වයට 18 වන බ්‍රහස්පතින්දා අවස්ථාව ලබාදී තිබුණත් එදින එම නඩුව කතා වූයේ නැත. වාරණ නියෝගය තවදුරටත් බලපවත්වමින් නඩුව කල් තබනු ලැබීය. ඒ අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අරගල විසඳන පාටක් නම් කොතැනකවත් දක්නට ලැබුණේ නැත.

ඇමැති ප්‍රසන්න රණතුංගගේ සිතෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ පිය සෙනෙහස හා සමාන ළෙංගතුකමකි. ඇමැති ප්‍රසන්න සෑම වසරකම සිංහල හා හිංදු අලුත් අවුරුද්දට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැහැදැක සුවදුක් විමසා ආශීර්වාද ලබාගැනීම සිරිතක් ලෙස සිදුකරන්නකි.

ඒ සිරිතට අනුව ඇමැති ප්‍රසන්න මෙවරද හිටපු ජනාධිපතිවරයා බැහැදැකීමට තංගල්ල කාල්ටන් නිවසට

ගියේ සිය බිරිඳ ද සමගය. ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයා ද සිය නිවසේ සිටියේ විවේකී සුවයෙනි.

“ආ… ඔයා හැම අවුරුද්දෙම මාව බලන්න එනවා” කියමින් හිටපු ජනාධිපතිවරයා සුහදව ඇමැති ප්‍රසන්න පිළිගත්තේය.

“සර්… මට මගේ තාත්ත වගේ. හැමදාම මට සර්ගේ ආශීර්වාදය ලැබෙන බව මම දන්නවා.” ඒ ඇමැති ප්‍රසන්නය.

අනතුරුව දෙදෙනා ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ.

“සර්… අර උදයංග කියන කතා එච්චර හොඳ නෑ. එයා කියනවා පිටරට ගිය ඇමැතිවරුන්ට එක එක වරදාන දුන්නා කියලා. ප්‍රසන්න විස්තර ගොඩක් කීවේය.

එහෙම වුණාම සර්ටත් හොඳ නෑ.

“ඔව්… මටත් කීපදෙනෙක් කිව්වා. මම හිතුවෙ එදා ඔයා උදයංගත් එක්ක ගහගනී කියල” හිටපු ජනාධිපතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.

“ඔයා ඕව ගණං ගන්න එපා. ඔයා රෙජීගේ පුතානේ. ඒක නිසා ඔයා කවුද කියන්න මම දන්නවා. මම බිංදුවටම වැටුණ වෙලාවේ වගේම බලය තියෙන වෙලාවෙත් ඔයා හිටියේ මාත් එක්ක. මට ඒ හැමදේම හොඳට මතකයි ප්‍රසන්න” හිටපු ජනාධිපති මහින්ද කීවේ තරමක සංවේදී හඬිනි.

අම්පාරේ සැමරුන නාමල්ගේ උපන් දිනය

පසුගිය අරගල සමයේ ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම්වල මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු රැසකගේද ගෙවල් හා දේපළ රැසක් ගිනිබත් කර විනාශ කර දමනු ලැබූහ. ඒ අතරින් වැඩිම හානියක් සිදුවී තිබුණේ මන්ත්‍රී ඩී. වීරසිංහගේ නිවසටය. එහෙත් ඔහු ඉතා ඉක්මනින් තම නිවස පිළිසකර කරන්නට සමත් විය. සාදා නිම කළ නිවස විවෘත කිරීම සඳහා මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂටත් නාමල් රාජපක්ෂටත් ආරාධනා කළේය.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ දුර බැහැර වෙහෙසකර ගමන ද නොසලකා අම්පාර බලා පිටත්ව ගියේය. ඒ අවස්ථාවට නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක, කෝකිලා ගුණවර්ධන, විමලවීර දිසානායක හා ප්‍රාදේශීය දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් සහභාගි වී සිටියහ. හිටපු ජනාධිපති මහින්දගේ අතින් විවෘත වූ නිවස තුළට ගිය කොළඹින් ගිය මහජන නියෝජිතයෝ හා ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සංවාදයක යෙදී සිටියහ.

“මේ රට බංකොලොත් වුණේ රටට දරාගන්න බැරි ණය කන්දරාවක් ගත්ත නිසා කියලා හැම පැත්තෙන්ම කියනවා. හැබැයි මේ රටේ වැඩිපුරම ණය අරගෙන තියෙන ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. එහෙම නම් ඒගොල්ලෝ ගනිපු ණය ගෙවා ගන්න බැරුව තමයි අපේ රට බංකොලොත් වුණේ. රනිල්ගේ ආණ්ඩුවේ අය ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කරපු සාකච්ඡාවල්වලට ණය හිමියෝ එකඟ වෙලත් නෑ. මේවට වගකියන්න ඕන රනිල් – සිරිසේනයි දෙන්නම. ඇයි ඔබතුමාලා මේවා ගැන කතා කරන්නේ නැතුව නිහඬව ඉන්නේ…” ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මතු කළ ප්‍රශ්නයකට නාමල් ද මැදි විය.

“ඔය වගේ විවේචනවලට ගිහිල්ල ආණ්ඩුව වට්ටන්න මේක වෙලාව නෙවෙයි. අපි කතා නොකරනව නෙවෙයි ඒත් මේ වෙලාවේ ඊට වඩා වගකීමක් අපිට පැවරිලා තියෙනවා. මේවා ගැන කතා කරන්න අපට වෙලාවක් ආවම අපි කතා කරමු…” නාමල් ඉවසිලිවන්ත උත්තරයක් දුන්නේය.

ඉන් පසුව ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී කටයුතු ගැන කියමින් දැඩි විවේචනයක් ඉදිරිපත් කළහ.

“ඔව් ඉතින් ඒ පැත්තෙන් ගත්තහම… ඔය කියන දකුණේ කට්ටියයි උතුරේ කට්ටියයි දෙගොල්ලොම ත්‍රස්තවාදියෝ. දෙගොල්ලොම එකතුවෙලා මේ රටට කරපු විනාශය සුළුපටු නෑ. මේ ළඟදි කවුරු හරි ගණන් හදලා කියලා තිබුණා ඒ විනාශය ඩොලර් බිලියන් දෙසීයකට වඩා වැඩියි කියලා.” ජොන්ස්ටන් කීවේය. එතන සාකච්ඡාව දුරදිග යන්නට පෙර නාමල්ට අවශ්‍ය වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු ගැන පවත්වන්නට සිටි විධිමත් සාකච්ඡාව පටන් ගන්නටය. ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයන්ද කැඳවාගෙන ඊළඟට රැස්වීම සඳහා ශාලාවට පිටත්ව ගියේ මහින්ද ජනාධිපතිතුමාගේ ද ආශිර්වාදය ඇතිවය.

ඒ අතරතුර ඩී. වීරසිංහ ඇතුළු සංවිධායකයෝ පිරිසක් ලොකු කේක් ගෙඩියක් සභාව තුළට ගෙන ආවේ උපන්දිනයක් සමරන්නටය. උපන්දිනය වූවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ය. නාමල් සියලු දෙනාගේම ආශිර්වාද මැද කේක් ගෙඩිය කපා ඉන් පැමිණ සිටි දේශපාලනඥයින්ට සංග්‍රහ කරමින් තේ බී අනතුරුව අම්පාර දිස්ත්‍රික් දේශපාලන මණ්ඩලයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදෙනා වැඩි ඇයි හොඳැයියක් නැති බවට දේශපාලන ලෝකයේ කතාබහක් පැතිරගියේ පසුගිය දිනවලය. නමුත් ඔවුන් දෙදෙනා අතර එලෙස විරසකයක් නැත. මේ දෙදෙනා ද මූණට මූණ මුණගැසුණේ අම්පාරේදීය.

“කොහොමද ප්‍රසන්න අයියේ. සුබ අලුත් අවුරුද්දක් වේවා” නාමල් ඇමැති ප්‍රසන්නට සුබ පැතුවේ මුහුණ සිඹිමිනි.

“ඔයාටත් එසේම වේවා.” ඇමැති ප්‍රසන්න ද නාමල්ගෙන් සුහදව විමසීය.

“දෙන්න තරහයි කියල සෝෂල් මීඩියාවල යනවා. මෙතන දෙන්න ඉඹ ඉඹ සුබපතා ගන්නවා” වීරසිංහ මන්ත්‍රීවරයා ද කතාවට හවුල් විය.

“අපි ප්‍රසන්න අයියව දන්නේ පොඩි කාලේ ඉඳලා. අපි අතර කිසිම ගැටුමක් නෑ. මීඩියාවලින් ප්‍රශ්නයක් ඇහැව්වම අපි උත්තර දෙනවා. ඒක එක එක්කෙනා තමන්ට අවශ්‍ය විදියට අල්ල ගන්නවා.” ඒ නාමල්ය.

“අපි මේවට එන්නම ඕන මල්ලි. මමත් ගම්පහ වැඩටික පටන් ගත්තා. මගේ ගෙදර විතරක් කොල්ලන්ගෙ බයිසිකල් තිස්ගාණක් ගිනිතියල තිබුණා. අපි ඒ කොල්ලන්ට උදවු කරන්න ඕන මල්ලි” ඇමැති ප්‍රසන්න කීය.

කරළිය සසල කළ තෙවරප්පෙරුම

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය පක්ෂ විපක්ෂ කොයිකාටත් සංවේගය දනවන කාරණාවක් විය. මන්ද ඔහු පහුගිය කාලය මුළුල්ලේම දේශපාලනයට නොව මනුෂ්‍යත්වයට පක්ෂව ක්‍රියා කළ මහජන නියෝජිතයකු වූ නිසාය.

තෙවරප්පෙරුම මියගිය පුවත ජනාධිපති රනිල්ට මුලින්ම ලබා දුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්නයි. දිනිත්ගේ ද හොඳ මිතුරකු වන පාලිත නොයෙකුත් කාරණා මත නිතර නිතර ගැටුම් ඇති ඇති කරගත්තත් පක්ෂය හැර නොගිය විශ්වාසවන්ත මානව හිතවාදියකු ලෙස රනිල්ගේද විශ්වාසය දිනාගෙන සිටියේය. එහෙයින් හදිසි අනතුරකින් පාලිත මියයෑම ජනාධිපති රනිල්ට ද අතිශය කනගාටුදායක ආරංචියක් විය.

වහාම වජිරට හා පාලිත රංගෙ බණ්ඩාරට කතා කළ රනිල් තෙවරප්පෙරුම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙතින් ඉටු කළ යුතු සියලු යුතුකම් බලාගන්නා මෙන් උපදෙස් දුන්නේය.

“මම සිකුරාදා එනවා. ඊට කලින් ඕගොල්ලෝ ගිහින් එතනට ඕන සියලු වැඩකටයුතු කරන්න. ලක්‍ෂමන් විජයමාන්නටත් මේ ආරංචිය දැනුම් දීල කියන්න පක්ෂය වෙනුවෙන් වෙන්න ඕන දේවල් ටික බලාගන්න කියලා.”

ඒ වන විට සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න ගේ වියෝව ද ජනාධිපතිවරයා දැනුවත්ව සිටියේය. නුවරඑළියේ යොදාගත් වැඩ කටයුතු ඉක්මනින් ඉවර කර කොළඹ එන්නට ඔහු සූදානම් වූයේ ඉන් පසුවයි.

තෙවරප්පෙරුම මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වීම නාමල්ට දැනුම් දී තිබුණේ මන්ත්‍රීවරයකු විසිනි. අයියෝ නාමල්ට එකපාරටම කියැවිණි. හෙට තමා බොඩි එක ගේන්නෙ… අපි හෙට යමු නාමල්ට කතා කළ මන්ත්‍රීවරයා පැවසීය. පසුවදා නාමල් කෙලින්ම පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි අතර ඒ වනවිටත් මෘතදේහය නිවසට රැගෙන විත් තිබුණේ නැත. මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට සිය ශෝකය හා පක්ෂය වෙනුවෙන් ශෝකය පළ කළේය. පුතා ගැන පාලිත නිතරම කතා කළා කොරෝනා කාලෙ මිනිස්සුන්ට කන්න දෙන්න පුතාත් ගොඩක් උදව් කළා කියලා නිතර නිතර කිවුවා පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ නාමල්ට පැවසීය. අපි පක්ෂ දෙකක උනාට අපි ඔක්කොම ඉන්නෙ එකම පක්ෂයක. ඒ තමයි මනුස්සකම කියන පක්ෂෙ. පාලිත ඇමැතිතුමා මනුස්සකම් පිරිච්ච කෙනෙක්. එතුමත් මට පුළුවන් හැම වෙලාවකම කතා කළා ඒ මිනිස්සු වෙනුවෙන් මමත් පුළුවන් හැම අවස්ථාවකදීම එතුමට උදව් කළා නාමල් පැවසීය. ඇත්තටම ඇමැතිතුමා නැතිවීම පාඩුවක්. නාමල් සිය ශෝකය පළකරමින් පිටත්ව ආවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment