‘පොරොන්දු වුණ ගාණ ගෙවන්නේ නැහැ, මැරයන් පහරදේවි කියලා බයයි, ඉතා අශ්ලීල වචනවලින් තමන්ව පහත් කරලා කතා කරනවාට බයයි, කෑ ගහලා බැණවදිනවාට බයයි, ලිංගික සේවා සපයන විට දරුවන් දකීවි කියා බයයි, තමන්ව ඝාතනය කර දමනු ඇතැයි බයයි, තමන්ව දූෂණය කරනු ඇතැයි බයයි, එකඟ නොවූ තමන් අකැමැති ලිංගික ක්‍රියා කරනු ඇතැයි බයයි, අත්අඩංගුවට පත් වේවි කියා බයයි, තමන් සතු බඩු භාණ්ඩ සොරා ගනීවි කියා බයයි.’

මේ සඳහන් කර ඇත්තේ, මෙරට ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදෙන්නන්ට බිය වී සිටින ප්‍රධාන කාරණා කිහිපයකි. ඔවුන් ගැන කතා කරන්නට හේතුව දේශපාලන ආන්දෝලනයකි.

පසුගිය සතියේ මුල දේශපාලනය ඇවිස්සූ මාතෘකාවක් වුණේ ජාතික ජන බලවේගය ’ගණිකා වෘත්තිය නීතිගත කරන්නේද?’ යන ප්‍රශ්නයයි. ජාතික ජන බලවේගයේ සමන්මලී ගුණසිංහ සිදුකරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන, ජාතික ජන බලවේගයේ සිටින්නේ ’ගණිකාවන්’ යැයි හාහූවක් නිර්මාණය කර තිබුණි. එම දේශපාලන කණ්ඩායම කාන්තා රැස්වීම් පවත්වමින් සිටින මොහොතක, මේ කතාව දේශපාලන වේදිකාවට විශාල බලපෑම් එල්ල කරන්නක් වී තිබුණි.

අන්තර්ජාල නාළිකාවක් සමග ඇය කියා තිබුණේ මෙසේය.

‘මේ වන විට කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තිබෙනවා. මේ ආර්ථික ප්‍රශ්න නිසා ගැහැනිය අනාරක්ෂිත වෙලා. ගැහැනිය එළියට, ස්පා එකට යන්න සිද්ධ වෙලා තිබෙනවා. ස්පා එක හොඳයි. හැබැයි අපේ ස්පා එක බවට පත්වෙලා තියෙන්නෙ වෙන කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් අවශ්‍යයි. හැබැයි මෙය අප ප්‍රමෝට් කරන්නෙ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා”

මේ ප්‍රකාශයේ පක්ෂ දේශපාලන කතාව පසෙක තිබියදී, අප මේ සටහනේ විමසා බලන්නේ කතාවේ ප්‍රධාන තේමාව වූ ’ගණිකා වෘත්තිය නීතිගත කිරීම’ යන මාතෘකාව ගැනය.

නීතිමය රාමුව

ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ඇත්තම කතාව
ස්වස්ථිකා ආරුලිංගම්

නීතිඥ ස්වස්තිකා අරුලිංගම් නෛතික වශයෙන් මෙන්ම එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම්වරිය ලෙස කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියකි. ඇය මෙහි නීතිමය රාමුව ගැන මෙසේ කීවාය.

‘මෙය නීතිගත කළ යුතුයි කියා ඇති කරන සංවාද රාමුවට මා එපමණ එකඟ නැහැ. ප්‍රශ්නය එය නීත්‍යනුකූලද නැද්ද කියන එක නෙවෙයි. දැනට නීතිමය වශයෙන් ලිංගික ශ්‍රමිකයෙකු වීම අපැහැදිලි කලාපයකට අයත් කරලා තියෙනවා. ඇත්තටම මේ රැකියාවේ යෙදීම නීතියකින් තහනම් කරලා නැහැ. එහෙත් අයාල පනත, ගණිකා මඩම් ආඥා පනත වැනි නීති පාවිච්චි කරමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා.

වීදිවල ඇවිදින අයව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම ගණිකා පනත අනුව පවත්වාගෙන යෑම නීති විරෝධී නිසා ඒ අයවත් අත්අඩංගුවට ගන්නවා. ප්‍රසිද්ධියේ රැකියාවේ යෙදීම නීති විරෝධීයි. එහෙත් දැනට යම් කෙනෙකු ලිංගික ශ්‍රමිකයෙකු විදියට පෞද්ගලිකව රැකියාවේ යෙදෙනවා නම් නීති විරෝධී නෑ.

අපේ රටේ ප්‍රශ්නය නීතිගත නොවීම හෝ වීමට වඩා, පවතින නීතිය අපැහැදිලි කලාපයක පැවතීමයි. මා හිතන ආකාරයට ලිංගික ශ්‍රමිකයන්ට හිංසා කිරීමෙන් ආරක්ෂා කිරීමට අයාල පනත අහෝසි කළ යුතුයි. ඒ වගේම යම් කෙනෙකු ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කිරීම අනීතික වෙන්න බැහැ. එය තමන්ගේ දෙයක්.

එහෙත් ගණිකාහල් කියන්නේ සූරාකෑමට ලක් කරන තැනක්. කාන්තාවන්ව තබාගෙන ලිංගික සේවයේ යෙදවීමයි කරන්නේ. ඒ වගේම මෙම වෘත්තියට යොමු වීම කළු සුදු කාරණයක් නෙවෙයි.

ලංකාව වගේ රටක්, ආර්ථික වශයෙන් කඩා වැටෙද්දී කාන්තාවන්ට තියෙන පළමු විසඳුම ලිංගික ශ්‍රමිකයන් වීම. එය සම්පූර්ණයෙන් නීත්‍යනුකූල කළොත් එය කර්මාන්තයක් බවට පත් වෙනවා. එවැනි කර්මාන්තයක් ගොඩනැංවීම රටක් හැටියට අප ගැන කියන්නේ කුමක්ද?

මේ රටේ වෙනත් කර්මාන්ත නැහැ. කෘෂිකර්මාන්තය කඩාවැටෙනවා. එතකොට ලිංගික ශ්‍රමිකයන් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුද? කාන්තාවන්ට ෆැක්ටරි, වතු, විදේශ ශ්‍රමික හෝ ලිංගික ශ්‍රමික කියන ඒවාද රැකියා විදියට යෝජනා කරන්නේ.

ලිංගික ශ්‍රමිකයන්ට අදාළ නීතිමය රාමු ලෝකයේ විවිධ රටවල අත්හදා බැලීම් තියෙනවා. ඒවා සලකා බලා අපට නීතිය ප්‍රතිසංස්කරණය කළ හැකියි. මෙය අපරාධයක් නොවන තැනට, ඒ කියන්නේ අපරාධහරණය කළොත් ලිංගික ශ්‍රමිකයන්ට වෘත්තිය සමිතිගත වෙලා, විවෘතව රැකියාවේ යෙදෙන අතර තමන්ගේ ආරක්ෂාව සලසාගන්න පුළුවන්.

එමෙන්ම, නිතිපතා පරීක්ෂණවලට යොමු වීම, ක්ලිනික්වලට යොමු වීම ආදිය දිරිමත් කළ හැකියි.

ඔවුන්ට පොලිසියෙන් සිදු වන හිංසනයකදී, පොලිසියේ විශේෂයෙන් පැමිණිලි කිරීමට ස්ථානයක් තිබිය යුතුයි.

ඒ අනුව නීතිගත කරනවාද, නැද්ද කියන සාකච්ඡාවට නොගිහින් කළ හැකි බොහෝ දේ තියෙනවා.’

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියකි. ඇයද මෙම මාතෘකාව ගැන ඊට සමාන්තර අදහසක් දරන්නීය.

දැනට ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නැහැ. ගණිකා මඩම් පවත්වාගෙන යෑම තමයි නීති විරෝධී. ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ නොකිරීම ගැන දෙපැත්තටම තර්ක තියෙනවා. ඒ අයට ආරක්ෂාව ලබා දීම සඳහා නීතිගත කරන්න ඕනෑ බවට අදහසක් තියෙනවා.

ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ඇත්තම කතාව
අශිලා දන්දෙනිය

හැබැයි අනෙක් පැත්තට මිනිස් වෙළඳාම වගේ දේවල්වලට ඉඩ ලැබෙනවා කියන එක තර්කයක් විදියට තියෙනවා. කාන්තාවන්ව තමන්ගේ ගම්වලින් ගෙනල්ලා විවිධ තැන්වලට දානවා වගේ තත්ත්වයන් තියෙනවා. වෙනත් රටවල්වලින් කාන්තාවන් අරගෙන ගිහින් විකිණීම වගේ දේවල් තියෙනවා. සීමාව ඉක්මවූ හූරාකෑමක් තියෙනවා. ශ්‍රමය හූරාකෑමට එහා ගියපු මට්ටමක හූරාකෑමක් එතැන තියෙනවා. ස්ත්‍රියගේ ශරීරය භාණ්ඩකරණය කරනවා. ශ්‍රමය කියන්නේම පුද්ගලයාව භාණ්ඩකරණය කිරීමක් වුණත්, එතැනින් එහා ගිය භාණ්ඩකාරණයක් මේ රැකියාවට අදාළව තියෙනවා. තමන්ව තමයි තමන් විකුණන්නේ.

ගාමන්ට් එකක වැඩ කරන කෙනා ඇඳුමක් මහන එක කරන්නේ. මෙතැන භාණ්ඩය බවට පත් වෙන්නේ ගැහැනු කෙනාම තමයි. ඒක දරුණු සූරාකෑමක්. ඒක ප්‍රවර්ධනය කිරීම හෝ අමුතුවෙන් ගරුත්වයක් දීම නෙවෙයි තියෙන්නේ.

මම පුද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවාට එකඟ නැහැ. ඒකේ යෙදිලා ඉන්න මිනිස්සුන්ට ආරක්ෂාවක් තියෙන්න ඕනෑ කියන තර්කයට එකඟයි. ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදිලා ඉන්නවා නම් ඒක අපරාධකරණය කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒක ප්‍රවර්ධනය කිරීම හෝ, ඒක උත්කර්ෂයට නංවන එකට මම එකඟ නැහැ.

ඒකෙදී ආරක්ෂාවක් තියෙනවාද, ඔවුන් දූෂණය වෙනවාද? කොල්ලකෑමකට ලක් වෙනවාද? ලිංගිකව හුවමාරු වෙන රෝගවලට ලක් වෙනවාද? වගේ ප්‍රශ්න තියෙනවා. ඒවාට තමයි උත්තර ඕනෑ.

ඊට අමතරව මිනිස් ජාවාරම් නැවැත්වීම. ගම්වලින් කාන්තාවන් අරගෙන ගිහින් විකුණන එක නවත්වන්න පියවර ගන්න ඕනෑ.

ඒ නිසා මිනිස් ජාවාරම නීති විරෝධී වෙන්න ඕනෑ. තවත් මනුස්සයෙක්ව මුදලට ගැනීම කියන එක වහල්කමෙන් වෙන් කරන්නේ කොහොමද? මනුස්සයෙක්ව තමයි මෙතැනදී සල්ලිවලට ගන්නේ. මේක වෙළෙඳාමක් විදියට සමාජයට යහපතක් වෙන එකක් නෙවෙයි.

ආරක්ෂිත වෙන්න ඕනෑ, අපරාධහරණය වෙන්න ඕනෑ. ඒ වගේ නීතිමය කාරණා ගැන බලන්න පුළුවන්. දුප්පත්කම එක්ක තමයි ලිංගික ශ්‍රමික අය වැඩි වෙන්නේ. ආර්ථික වශයෙන් සුවපහසු වශයෙන් ඉන්න අය ලිංගික ශ්‍රමිකයන් බවට පත් වෙනවා අඩුයි. ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවෙයි. ඒත් ලිංගික ශ්‍රමිකයන් වැඩි වීම සමාජයක දියුණු, යහපත් ලක්ෂණයක් විදියට ගන්නේ නෑ.’

සැබැවින්ම නීතියට වඩා ගැටලුව වී ඇත්තේ, දැනට පවතින නීති ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ආකාරයයි. බොහෝ විට වීදියේ සිටින කාන්තාවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ අයාල ආඥා පනත පාවිච්චි කරමිනි. බොහෝ ලිංගික ශ්‍රමික කාන්තාවන් පාවිච්චි කරන්නේ වීදි සැරීම මගින් සේවාදායකයන් සොයාගැනීමේ ක්‍රමවේදයයි. මෑත කාලය තුළ අවස්ථා ගණනාවකදී අන්තර්ජාලය තුළ ලිංගික සේවා සැපයීම සඳහා දැන්වීම් පළ කරන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් වාර්තා විය. ඒ අනුව අර්ධ වශයෙන් රහසිගතව පාරේ සිට සේවා සැපයීම ඔවුන්ට ඇති විකල්පයයි. එහිදී ඔවුන්ට පොලීසිය ආදී ආයතනවල මර්දනයට මුහුණ දෙන්නට සිදු වේ.

දකුණු ආසියානු ලිංගික ශ්‍රමික ප්‍රජාව සහ මිතුරු ජාලය නම් වූ සංවිධානය ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක් සිදු කොට ජාතික වාර්තාවක් සකස් කරන ලදී. එම සංවිධානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ප්‍රජා දිරිය පදනම, ස්ටෑන්ඩ් අප් මූමන්ට් ලංකා, ස්වාසා උතුරු කණ්ඩායම, ට්‍රාන්ස් සමානතා භාරය, ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආදී හවුල්කාර සංවිධානත් කොටස්කරුවන්ව සිටී.

‘ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික ශ්‍රමිකයන් ලෙස රාජකාරී කිරීම වරදක් නොවේ. එසේ වුවද, ලිංගික ශ්‍රමිකයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට ආයුධයක් බවට පත් කරගෙන ඇති අයාලේ යෑමේ/පාදඩ ආඥා පනත වැනි වෙනත් නීති අනිසි ලෙස යොදාගැනීම හරහා එය අපරාධකරණයට ලක් කර ඇත. ඒ අනුව, ලිංගික ශ්‍රමිකයන් වෙත එල්ල කෙරෙන රාජ්‍ය හිංසනය සහ හිරිහැර ඉතා ඉහළින් සාධාරණීකරණය කෙරෙන අයුරින් එම ආඥා පනත අරුත් ගන්වා ඇත.’ මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් එම වාර්තාවට එසේ ලියා ඇත.

ඇත්තෙන්ම බොහෝ ශ්‍රමිකයන් ලැගුම්හල්වලට ගොස්, කාමර කුලියට ගෙන සේවය සපයයි. එතැනදී කාමර කුලියට දෙමින්, විශාල ලාභයක් උපයන අය සිටී. එහෙත්, ඔවුන් මේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හෝ අන් කිසිවක් ගැන සලකා බලන්නේ නැත.

පෙර කී සමීක්ෂණය අනුව අයාලේ යෑමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රමිකයන්ගෙන් සීයට 50කට ආසන්න ප්‍රමාණයක් තමන්ට පොලිසිය විසින් හෝ ඔවුන්ගේ නීතිඥයා විසින් වරද පිළිගැනීමට බල කිරීම, බිය ගැන්වීම හෝ බලපෑම් කළ බවත්, අත්අඩංගුවට ගත් අයගෙන් සීයට 85ක් වරද පිළිගන්නා බවත් සඳහන් වේ. ඒ ආකාරයෙන් වරද පිළිගත් පසු, ලිංගික ශ්‍රමිකයෙකුට විදේශගත වීම හෝ වෙනත් රැකියාවලට යොමු වීම අසීරු දෙයක් බවට පත් වේ. ඔවුන් විවිධාකාර බියවලට ගොදුරු වී ඇත්තේ, තමන් කරන රැකියාවේ නෛතිකභාවය පිළිබඳ මූලික ගැටලුව සමගය. එවැනි තත්ත්වයක් යටතේ පැති කිහිපයකින් ඔවුන් අභියෝගවලට මුහුණ දෙයි.

නොපිළිගැනීම

ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ඇත්තම කතාව
ලක්මාලි හේමචන්ද්‍ර

නීතිඥ අම්බිකා උක්ත වාර්තාවේ වැඩිදුරටත් මෙසේ ලියා ඇත. ‘ප්‍රචණ්ඩත්වය යනු ලිංගික ශ්‍රමිකයන් පොදුවේ මුහුණදෙන තත්ත්වයකි. ඒවා බෙහෙවින්ම තදබල සහ විනාශකාරී ස්වරූපයේ ප්‍රචණ්ඩත්වයන්ය. රාජ්‍ය ආයතනවල ක්‍රමවේද සහ ක්‍රියාවලි තුළට කා වද්දා ඇති වෙනස් කොට සැලකීම, සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැඟවෙන බැවින් ප්‍රශ්න කිරීමකින් තොරවම ඒවා බැහැර කෙරෙයි. පොලිස් ම්ලේඡත්වය වැනි ඇසින් දැකිය හැකි ශාරීරික ප්‍රචණ්ඩත්වය පවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇතිදැයි කියතොත් එය කාන්තාවන් විසින් අපේක්ෂිත තත්ත්වයක් බවට පත් වී ඇති සෙයකි.’

උක්ත වාර්තාවේ කියන ආකාරයට ලිංගික ශ්‍රමිකයන්ගෙන් සීයට 77ක් රජයේ සමෘද්ධි සහනාධාරයට ඉල්ලුම් කර නැත. හේතුව ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි නොමැතිකමත්, ඔවුන් සමාජයීය වශයෙන් වෙනස් කොට සැලකීමත්ය. සමෘද්ධි ප්‍රතිලාභය ඉල්ලුම් කළ අයගෙන් සීයට 56කට එය නොලැබී ඇත්තේ ලිංගික අල්ලස් ඉල්ලද්දී, එය ලබා දීමට නොකැමති වූ නිසාය. වාර්තාවේ කියන ආකාරයට පොලිසිය, සමෘද්ධි නිලධාරීන් ඇතුළු විවිධ මට්ටම්වල රාජ්‍ය නිලධාරී මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලීම එදිනෙදා පුරුද්දක් බවට පත් කරගෙන තිබේ.

ආචාර්ය ගීතිකා ධර්මසිංහ සමාජ විද්‍යා විෂය පිළිබඳ විද්වත් ක්‍රියාකාරිනියකි.

‘සාමාන්‍යයෙන් ලිංගික ශ්‍රමිකයා කියන එක සාමාන්‍ය පිළිගත් සමාජයක, යථාර්ථයක් විදියට පවතිනවා. ලිංගික සේවාව සපයන ස්ත්‍රීන් ඉන්නවා. සමලිංගික ප්‍රජාව අතරේත්, පිරිමි අය ඉන්නවා ලිංගික සේවය සපයන අය. ඒක පවතින තත්ත්වයක තමයි ඒ අය වෙනුවෙන් අපි කරන්නේ මොකක්ද කියන එක මේ කතා කරන්නේ. වඩාත් ශිෂ්ට සමාජයක ලිංගික ශ්‍රමය මුදලට විකිණීම අවශ්‍ය නැති බව මමත් පිළිගන්නවා. එහෙම දෙයක් නොවන සමාජයක් හදන්න පුළුවන් නම් හොඳයි.

ඒත් දැන් එය යථාර්ථයක් විදියට තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන්නේ මොකක්ද කියා මැදිහත්වීමක් කරන්න ඕනෑ. සමහර අනන්‍යතාවලට සමාජයක් කැමති වුණත් නැතත්, ඒ අය පවතිනවා නම් ඒ අයව පිළිගත් ක්‍රමයකට ඇතුළත් කරගැනීම වැදගත්. එතකොට ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් නීති සම්මත කරගන්න පුළුවන්.

ඔවුන්ව නීතියෙන් පිළිගන්නේ නැති වුණාම රහසේ ඉන්නවා. එතකොට නිල වශයෙන් ඔවුන් පවතින්නේ නැහැ. නොපවතින දෙයකට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. එයාලාට මිනිස්භාවයවත් නැති වෙන්න පුළුවන්. අපි ඉන්න බව පිළිගන්න නම් නීතියෙන් පිළිගන්න ඕනෑ.

දැන් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ සමාජයට වගකීමක් නැහැ. පිළිගත් නීති සම්ප්‍රදාය ඇතුළේ එයා නැහැ. එහෙත් එයා පවතිනවා බැහැර කළ යුතු කෙනෙක් විදියට. එයාට අයිතීන් තියෙන්න බැහැ ඒක සමාජයට, සම්ප්‍රදායට හානිකරයි. රාජ්‍යයක ස්ත්‍රීය පවතින්නේ ශුද්ධ වූ, පවිත්‍ර වූ යමක් විදියට. ඒ අශුද්ධ වූ ස්ත්‍රීයට රාජ්‍යයක පැවැත්මක් නෑ. ඒ තත්ත්වය වෙනස් කරන්නට නම් නීතිමය පිළිගැනීමක් ලබා දිය යුතුයි.’

සෞඛ්‍ය

ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ඇත්තම කතාව
ගීතිකා ධර්මසිංහ

ඔවුන්ට ඇති අනෙක් අභියෝගය සෞඛ්‍ය වේ. මානසික මෙන්ම කායික සෞඛ්‍ය ගැටලුවලට ඔවුන් මුහුණ දෙන්නේ රැකියාවේම ස්වභාවය නිසාය.

වාර්තාවේ ඇති ආකාරයට ලිංගාශ්‍රිත රෝග සායනවලට ආ ශ්‍රමිකයන්ගෙන් සීයට 66ක් වාචික අපයෝජනවලට ලක් වෙන්නේ මානසික සෞඛ්‍යයට බලපෑම් කරමිනි. ඒ කියන්නේ ’පව්කාර, දුරාචාර සහ නරක’ අය ලෙස නාමකරණය කරමින් කරන ලද අපහාසයන්ය. ඒ මදිවාට ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය බෝ වන රෝගවලින් අභියෝගවලට ලක් වේ. සීයට 83ක් කිසි දිනෙක මහජන සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපත් පාලන කොපු ලබාගෙන නැත. සීයට 76කගේ නිවෙස්වලට අඩු තරමේ මහජන සෞඛ්‍ය සේවිකාවක් පැමිණවත් නොමැත. ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සීයට 91ක් උපත් පාලක කොපු පාවිච්චි කරන නමුත්, සමීක්ෂණයේ සිටි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවාදායකයෙකු කවදා හෝ උපත් පාලන කොපු පැළඳීම ප්‍රතික්ෂේප කර ඇතිදැයි ඇසූ කල, සීයට 66ක් ඔව් කියා ඇත. එවැනි පසුබිමක ඔවුන් ශාරීරික සෞඛ්‍ය ඇත්තේ අවදානමකය.

ස්වෛරීත්වයක් නැතිද?

ස්ටෑන්ඩ් අප් මූමන්ට් සංවිධානයේ අශිලා දන්දෙණිය කියන්නේ, මෙය නීතිගත කරනවාද යන සංවාදයම විහිළුවක් බවය.

‘සූරාකෑම හෑම රැකියාවකම සිද්ධවෙන දෙයක්. කාන්තාවන් තමන්ගේ රැකියාව මත සූරාකෑමට ලක් වෙනවා. නීතිය ඉදිරියේ පිළිගැනීමෙන් මේ රැකියාව ප්‍රවර්ධනය කිරීමක් සිද්ධවෙනවා කියා හිතන එක යහපත් තර්කයක් නෙවෙයි. නීතිගත කරන්න ඕනෑ කියන සාකච්ඡාවේදී, නීතිගත කරන්නට නීති විරෝධී රැකියාවක් නෙවෙයි. කුමන රැකියාවද නීතිගත කරනවා කියලා වෙනම අදහසක් තියෙන්නේ. ඇයි මේ රැකියාව විතරක් නීතිගත කරන්න ඕනෑ කියා කියන්නේ.

නීතිගත කිරීමට මේක නීති විරෝධී රැකියාවක් නෙවෙයි.

ඇත්තටම මේ රැකියාවේ යෙදෙන කොච්චර දෙනෙක් බලහත්කාරයෙන් පවරලා තියෙනවාද, අපරාධයක් හැටියට පිළිගන්න කියලා. එයාලා ගොඩක් වෙලාවට ලිංගික ශ්‍රමික රැකියාවේ යෙදිලාත් නැහැ. ඒක නොකරම ඔවුන් අපරාධයක් හැටියට පිළි අරගෙන එළියට එනවා. ගොඩක් අය කියනවා ඔවුන් රැකියාවෙන් මුදවන්න ඕනෑ, වෙනම රැකියා දෙන්න ඕනෑ වගේ කතා. ඒත් බලහත්කාරයෙන් අපරාධ ඉතිහාසයක් පටවපු පිරිසකට වෙන රැකියා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා.

එක පැත්තකින් මානව හිමිකම් කොමිසමට ලිංගික ශ්‍රමිකයන්ගෙන් පැමිණිලි ගිහින් තියෙනවා, ඔවුන්ට සිද්ධ වෙච්ච හිංසනයන් ගැන. මේක නීති විරෝධී නම්, පැමිණිලි බාරගන්න බැහැනේ. එහෙම බැලුවාම, ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධව කතා කරද්දී මිනිස්සු මේක අල්ලා ගන්න තැන ඉඳලයි ප්‍රශ්නය ඔවුන්ගේ අයිතිය පටන් ගන්නේ. ඔවුන්ව වින්දිතයන්, ස්වයං තීන්දුවක් අරගෙන නෙවෙයි කරන්නේ, කැමැත්තෙන් නෙවෙයි කරන්නේ, ඒ නිසා සූරාකෑමට ලක් වෙනවා වගේ තැන්වලින් කතාව පටන් ගත්තාම එතැනදීම ඔවුන්ට රස්සාව කරගෙන යන්නට තිබෙන අයිතිය සීමා කෙරෙනවා. ඒ තර්ක ටිකම අනෙක් පැත්ත හරවලා ඔවුන්ව පීඩාවට පත් කළ හැකියි.

මේ වෘත්තියේ යෙදෙන ශ්‍රමිකයන් ටික සේවා සපයන්නන් හැටියට මුදලක් උපයනවා. එයාලාගේ කැමැත්ත එතැන තියෙනවා. මිනිස් ජාවාරම සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒවා නැවැත්විය යුතුයි. ඒත්, කැමැත්තෙන් ඒ රැකියාව කරන අය ඉන්නවා. ඒත්, එතැන ස්වයං තීන්දු ගැනීමක් තුළ රස්සාව කරන අය ඉන්නවා.

මේක කිසිදු ස්වෛරීත්වයක් නැති රැකියාවක් විදියට තර්කයක් ගොඩනගන්න බැහැ.’ ඒ අනුව ඇය යෝජනා කරන්නේ සම්පූර්ණ සංවාදයම අලුත් කෝණයකින් දැකිය යුතු බවය.

ලිංගික ශ්‍රමික ප්‍රජාව වෙනස් කොට සැලකීමත්, ඔවුන්ව රාජ්‍යයක කොටස්කරුවන් ලෙස පිළි නොගැනීමත් නිසා ඇති වන ප්‍රශ්න විසඳීමට ඒ ඒ ආයතන සම්බන්ධීකරණය වූ ක්‍රියාවලියක් සිදු විය යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබසාධනය, ආර්ථික සහන, නිවාස, ඡන්ද ආදී සියලු අයිතීන්ට සාධාරණ ලෙස පිවිසෙන්නට ඔවුන්ට ඉඩකඩ සැලකිය යුතුය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය.

දේශපාලන පක්ෂ හෝ ඕනෑ ප්‍රතිපත්ති සම්පාදකයෙකු උනන්දු විය යුත්තේ මෙම සමාජ මාතෘකාව ’නීතිගත කරනවා’ වැනි තනි වාක්‍යයකින් එහාට ගිය පුළුල් විෂයක් ලෙස දැකීමටත්, විසඳුම් හෙවීමට සැබෑ උත්සාහයන් ගැනීමටත්ය.

තරිදු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment