ඉරාන ජනපති එන දිනය තාමත් දන්වා නෑ

178

ඒත් අපි සූදානමින් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ඊයේ (21දා) වනවිටත් දැනුම් දී නැතැයි ද ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ආරක්ෂක කටයුතු ඇතුළු අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම්ව සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් දිවයිනට ඊයේ පැවසීය.

ඉරාන රජයේ මූල්‍ය ආධාර මත ඉදි කළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ලබන 24 වැනිදා සිදුකිරීමට නියමිත අතර එම අවස්ථාවට ඉරාන ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ දියණිය සහභාගි වන බවට වාර්තා වී තිබුණි. උමා ඔය ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 529ක් වැය කර ඇත.

එහෙත් මේ වනවිට ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීම අවිනිශ්චිත බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමට සියලු කටයුතු සිදුකරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වන ලෙස මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයාට කළ ආරාධනය ඒ මහතා පිළිගෙන තිබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment