මට ඉන්න හිතුන යන්නෙ නැතුව තුරුළෙ ඔයාගේ – අමන්දි සුලෝචනා

189

පෙර පාසල් ගුරුවරියක්
රඟපෑමටත් ආරාධනා ලැබුණා

හොර රහසේම පෑ ආලේ මනමාලය වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාළේ
හැඩකාරම කටකාරි මම අපෙ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මදහාසේ

මේ දිනවල ලොකු පොඩි කවුරුත් මුමුණන” යූටියුබ් හරහා මිලියන හතකට ආසන්න පිරිසක් නැරඹූ අමන්දි සුලෝචනාගේ කුළුඳුල් ගීතය තමයි මේ. ඇත්තටම කවුද මේ අමන්දි. මොනවද කරන්නෙ. ඔබත් කැමැති ඇති දැනගන්න. මේ මීවිත සමග ඇය කළ සංවාදයයි.

මට ඉන්න හිතුන යන්නෙ නැතුව තුරුළෙ ඔයාගේ - අමන්දි සුලෝචනා

● අමන්දි” ක්‍ෂේත්‍රයට නවකයෙක් වුණත් මේ වන විට ඔබේ ගීතය නැරඹුම් වාර මිලියන හතකට ආසන්නයි. මොකක්ද ඔබේ අදහස?

ඇත්තටම ගොඩක් සතුටුයි. මටයි ගීතයටයි බොහෝ දෙනකුගේ ආදරය ලැබෙන බව දැනෙනව.

● කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නෙ?

ගිය වසරේ මගේ පාසලෙන් ආරාධනයක් ලැබුණා ලෝක ළමා දිනයට ආදි ශිෂ්‍යාවක් හැටියට ගීත ගායනා කරන්න. එතැනදි මම ගායනා කළේ කොරීන් අල්මේදා මහත්මියගෙ ‘රස පිරුණ කතා. ගීතය. ඒ අවස්ථාව සෝෂල් මීඩියා හරහා සජීවීව විකාශය කරන්න මම කටයුතු කළා. ඒක බලපු බොහෝ දෙනෙක් මට කිව්වෙ” අමන්දි ඔයාගෙම ගීතයක් කරන්න කියල. ඒ වන විට මටත් අදහසක් තිබුණා මගේම ගීතයක් කරන්න. ඔය අතර යූ ටියුබ් බලද්දි හැදුනද රිදුනද හිත මාගේ” ලෝකයෙන් යමූ” ටිකිරි ලියා වගේ ලස්සන ගීත අහන්න ලැබුණා. මේ ගීත ඇහෙද්දි මං බැලුවෙ කවුද මේ ගීත ලියල තියෙන්නෙ කියල. ඒ අනුව තමයි හර්ෂණ කේ. පෙරේරා අයියව මට මුණගැහෙන්නෙ. මම ඔහුගෙන් කතාකරල ඇහුව මට සින්දුවක් ලියල දෙන්න පුළුවන්ද කියල. නමුත් ඔහු එකවරම කැමති වුණේ නැහැ. ඔහුට වුවමනා වුණා මගේ කටහඬ අහන්න. ඒ වෙනුවෙන් මම රන්වන් වත බබලන්නෙ ගීතයේ වොයිස් ක්ලිප් එකක් ඔහුට යැව්වා. ඒක අහල අයියා මගෙන් ඇහුවා මොන වගේ ගීතයක්ද ඕන කියල. මම කිව්වා බයිලා ටයිප් එකේ ආදරෙන් සතුටින් ඉන්න සිංදුවක් කියල. ඒ අනුව මේ ගීතය මට ලැබුණා.

මට ඉන්න හිතුන යන්නෙ නැතුව තුරුළෙ ඔයාගේ - අමන්දි සුලෝචනා

● ඔබත් එක්ක කවුද එකතු වුණේ?

පද රචනා කළේ හර්ෂණ කේ. පෙරේරා” සංගීතය එවෝ බීට්” ඩිරෙක්ට් කළේ කසුන් මදුෂංක” වීඩියෝ එඩිටින් ප්‍රවීෂ්” නර්තනය තිමිර තිනෙක්ෂ්” මේක් අප් සංඛ මධූ” ඕෂධී සහ හර්ෂණ බෙත්මගේ ප්‍රධාන නළු නිළියන් ලෙස රඟපෑවා.

● මේ ලැබුණෙ ඔබ බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද?

ඇත්තටම විශ්වාසයක් තිබුණා විව්ස් ගොඩක් ලැබෙයි කියල.

● මේ ගීතයත් එක්ක ඔබේ ජීවිතයේ සිදු වුණ වෙනස්කම් මොනවාද?

මේ වන විට දවසට ප්‍රසංග දෙකතුනකට ආරාධනා ලැබෙන්න පටන්අරගෙන තියෙනව. ඒ වගේම රූපවාහිනී වැඩසටහන්වලටත් ආරාධනා ලැබෙනව.

● රූපවාහිනී වැඩසටහන්වලින් ඔබ තවත් කතාබහට වුණා?

ඔව්” ඒ ගැන ගොඩක් සතුටුයි. මේ වැඩසටහන්වලදි මට වඩා සීනියර් අයත් එක්ක ඉන්න මට අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයට වටිනා දෙයක්.

● සංගීතය ගැන හැදෑරීමක් කළාද?

මම පාසල් ගියේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. පාසල් කාලයේ නර්තනය හැදෑරුවත් සංගීතය ගැන හැදෑරීමක් කළේ නැහැ. නමුත් සංගීත වැඩවලදි” පද්‍ය ගායනා තරගවලදි” නාට්‍යවලදි මාව ඒවාට සම්බන්ධකර ගත්තා. ඒ වගේම පාසල් තූර්යවාදක කණ්ඩායමේත් සාමාජිකාවක් හැටියට කටයුතු කළා.

● ඔබේ වෘත්තිය?

මම මේ වන විට පෙර පාසල් ගුරුවරියක් හැටියට කටයුතු කරනවා. ඒ සමගම සංගීත කටයුතුත් කරගෙන යනවා.

● අලුත් ගීතයකට සූදානමක් තියෙනවද?

ඔව්” තවත් අලුත් ගීතයක් කරන්න අපි කටයුතු සූදානම් කරමින් ඉන්නවා.

● පවුලේ විස්තර කොහොමද?

අම්මා” තාත්තා” නංගී සහ මම තමයි අපේ පවුලේ ඉන්නෙ.

● ක්‍ෂේත්‍රයේ අයගෙ ප්‍රතිචාර මොන වගේද?

ඔවුන් සිංදුවට හරිම කැමතියි. මටත් හරිම ආදරෙයි. බොහොම ආදරණීය සුහද පිරිසක් තමයි මට මේ ක්‍ෂේත්‍රයේ මුණගැහුනෙ.

● මේ ගීතය අලලා ටික් ටොක් ක්ලිප්ස් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වුණා?

ඇත්තටම එහෙම දෙයක් ගැන මම හිතුවෙම නැහැ. බොහෝ දෙනෙක් ඉක්මණින්ම ගීතය වැළඳ ගත්තා. පෙර පාසල් යන දරුවො පවා ටික් ටොක් කරල තිබුණා.

● ඔබේ පාසලේ දරුවන්ගෙ ප්‍රතිචාරය කොහොමද?

ඔවුන් හරිම කැමතියි ගීතයට. ගීතය ගායනා කරල වීඩියෝ ක්ලිප් එවනව. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා ඒ දෙමව්පියො ගැන. ඇත්තටම ඔවුන් බුද්ධිමත් පිරිසක්. ඔවුන් දන්නවා පෙර පාසල් වෙලාවේ මම වෙන වැඩ කරන්නෙ නැහැ වගේම දරුවන්ට හානියක් කරන්නෙත් නැහැ කියල.

● ප්‍රසංග වේදිකාවේ අත්දැකීම මොන වගේද?

ඇත්තටම ගීතය ගායනා කරන්න පටන්ගත්තාම ඉදිරියෙන් ඉන්න ප්‍රේක්‍ෂකයො තමයි සම්පූර්ණ ගීතය ගායනා කරන්නෙ. ඔවුන්ට හොඳටම කටපාඩම් වෙලා. ගායනය අවසන් වෙලා ස්ටේජ් එකෙන් බහින්න කලින් කට්ටිය දුවගෙන එනව. හරිම සතුටුයි ඒ ගැන.

● මේ සියල්ල අහම්බෙන් සිදු වුණ දෙයක්ද?

මුලදි මට ලොකු අදහසක් තිබුණෙ නැහැ. අම්මත් එක්ක එකතු වෙලා පෙරපාසලේ කටයුතු කරගෙන හිටියා. අම්මා ලොකු ටීචර්” මම පොඩි ටීචර්. නමුත් අහම්බයක්මත් නෙමෙයි. ගීත ගායනයට මම කැමති නිසා හිරුස්ටාර්” ඩී්‍රම්ස්ටාර්” ද වොයිස්” වොයිස් ඔෆ් ඒෂියා වගේ ටැලන්ට් ෂෝ වලට සහභාගි වෙලා තියෙනවා.

● පාසල් කාලයේදී යම් කිසි වෘත්තියක් ගැන අරමුණක් තිබුණද?

අපේ අම්මා පෙර පාසල් ගුරුවරියක්නෙ. පොඩිකාලෙ ඉඳන් මම දැක්කෙ ඇයව. ඒ නිසා මටත් වුවමනා වුණේ පෙරපාසල් ගුරුවරියක් වෙන්න.

● පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම ඒ සහයෝගය නම් කියල නිම කරන්න බැහැ. මම පොඩි කාලෙ ඉඳන් කැමතියි පවුලේ හැමෝමත් එක්ක එකට ඉන්න. අදටත් මොන දේ ගැන වුණත් මම ගෙදර අයත් එක්ක කතා කරනව. ප්‍රසංගයකට යද්දිත් අපි හතර දෙනාම එකට යන්නෙ.

● රඟපෑමටත් ආරාධනා ලැබුණා?

ඔව්” සිනමාවට සහ ටෙලි නාට්‍යයට මේ වන විට ආරාධනා ලැබිල තියෙනව. ඒ ගැන ගෙදර අයත් එක්ක කතා කරල පිළිතුරක් දෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment