ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනිති

176

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 8 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදෙමින් තිබියදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දු වාර 30 කට සීමා වූයේය.

අනතුරුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු දෙනා පන්දු වාර 27.2 කදී ලකුණු 127 කට දැවී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා පන්දු වාර 30 ක් තුළ ලකුණු 101 ක ඉලක්කයක් හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු වාර 15.2 ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී එම ජයග්‍රහණය ලබා ගන්නා විට තවත් පන්දු 88 ක් ඉතිරිව තිබිණි.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් කයිස් අහමඩ් ලකුණු 46ක්, පමනුල්හා ලකුණු 37ක් සහ ශෂිදුල්හා ලකුණු 16ක් ලබාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාෂ් ලකුණු 17කට කඩුලු 2ක්, චාමික ගුණසේකර ලකුණු 28කට කඩුලු 2ක්, සහන් ආරච්චිගේ ලකුණු 23කට කඩුලු 2ක් ලබා ගත් අතර චාමික කරුණාරත්න සහ වනුජ සහන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය හඹා යෑමේදී කමිල් මිෂාර නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ ලහිරු උදාර ලකුණු 20ක් සහ නිශාන් මදුශ්ක ලකුණු 14ක් රැස් කළහ.

හයේ පහරකින් ජයග්‍රහණය සනිටුහන් කළ නුවනිදු ප්‍රනාන්දු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 17 කි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සලාම් ලකුණු 36කට එක කඩුල්ලක් සහ කයිස් අහමඩ් ලකුණු 22කට කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.

දෙරට අතර 3 වැනි තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අනිද්දා (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment