ප්‍රධාන පාර්ශ්වකරු ලක්දනවි සමාගම : ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇරඹේ

77

තිරසර බලශක්ති ජනනයේ ඓතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි (පෞද්ගලික) සමාගම මෙගාවොට් සියයක ජනන ධාරිතාවක් සහිත සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදි කෙරෙන සූර්ය බලාගාරයේ විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම්වලට අත්සන් තැබීම දෙපාර්ශ්වයේ නියෝජිතයන් විසින් ඊයේ (08 වැනිදා) සිදු කරනු ලැබීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක පමණ ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන වසරේ (2025) මැද භාගය වනවිට අවසන් කර ජාතික පද්ධතිය සමග සම්බන්ධ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මෙතෙක් මෙරට ආරම්භ කරන ලද පළමු මහා පරිමාණ සූර්ය බලශක්ති විදුලි ජනන ව්‍යාපෘතිය වේ.

ලක්දනවි සමාගම මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකරු වශයෙන් කටයුතු කරනු ලබයි. එසේම වින්ඩ්ෆෝස් පොදු සමාගම, සිංගප්පූරුවේ The blue Circle Pte Limited සමාගම මෙහි අනෙකුත් පාර්ශ්වකරුවන් වශයෙන් කටයුතු කරනු ලබයි.

ලක්දනවි සමාගමේ දේශීය නිපුණතාව මෙන්ම ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සතු හැකියාවන්ද උපාය මාර්ගික වශයෙන් දායක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

මෙරට ප්‍රමුඛතම විදුලි බලාගාර ඉදි කිරීමේ සමාගම වශයෙන් වසර 28ක ඉතිහාසයකට හිමිකම් කියන ලක්දනවි සමාගම විදුලි බලාගාර ඉදිකිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉහළ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද දේශීය සමාගමකි.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 220 ක් පුරා පැතිරුණු භූමි භාගයක ඉදිවන මෙම නව සූර්ය බලශක්ති ජනන උද්‍යානයේ නවීනතම විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධතියකින් ද සමන්විතය.

සුර්ය බලශක්තිජනන උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27 ක දිගින් යුතු 132kv නව රැහැන් පද්ධතියක්ද, මොනරාගල ප්‍රදේශයේ 132kv නව ග්‍රිඩ් උපපොළක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙගාවොට් 100ක පිරිසිදු, පුනර්ජනනීය සුර්ය බලශක්තියක් ජනනය කෙරෙන මෙම ව්‍යාපෘතිය 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක බලශක්ති උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සුවිසල් ඉදිරි පියවරක් ලෙස සැලකේ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්. එස්. ඉලන්ගකෝන් මහතා සහ ලක්දනවි ප්‍රධාන විධායක නිලධාරී එම්. ජේ. එම්. එන්. මරික්කාර් මහතා ගිවිසුමට අත්සන් තැබු අයුරුයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment