සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

93

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගමදී පෙරේදා(26දා) ආරම්භ කරමිනි.

ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය. රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ. විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි. නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබාදීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි. මෙතෙක් කල් පැවති ජයභූමි, සෞම්‍යභූමි, ස්වර්ණභූමි ඇතුළු සියලු‍ ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment