එක්ස්ප්‍රස් පර්ල් කෙළිය!

781

ජනතාවට වග කියන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නැත. මීට පෙර ආණ්ඩු මෙන්ම වික්‍රමසිංහ – රාජපක්ෂ රජයද තව දුරටත් ඔඩු දුවමින් පවතින අර්බුදයට සංවේදී නැත. භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් අල්ප මාත්‍රයක සංවේදීතාවයක් දක්වන ආණ්ඩුවක් කිසිසේත් එක්ස්ප්‍රස්පර්ල් නෞකාව වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැත. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ශ්‍රී ලංකාව ජගත් ප්‍රජාව ඉදිරියේ හැල්ලුවට ලක්කර ඇත. බංකොළොත් රටත් මංකොල්ල කන තත්ත්වයකට ඇතිවී තිබේ. එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිතම ක්‍රමයකට නතුවී ඇති බවයි. ආණ්ඩු වෙනස් වූ පමණින් ‘ක්‍රමය’ කිසිසේත් වෙනස් වන්නේ නැත. එක්ස්ප්‍රස් පර්ල් කෙළිය අවඥාවට ලක්කරන්නේ වසරකට පෙර ‘සිස්ටම් චේන්ජ්’ ගැන බලාපොරොත්තු තැබූ ජනතාවයි.

රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව ජනතාවට අල්ප මාත්‍රයක පමණවත් විශ්වාසයක් සහ ගෞරවයක් තිබුණානම්, එය මෑතකදී නැත්තටම නැතිවිය. ඒ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹට නුදුරින් මුහුදුබත් වීම නිසා ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක වන්දිය ලබා ගැනීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මතුවී ඇති ආන්දෝලණාත්මක තත්ත්වය නිසාය.

එම වන්දිය ඇස්තමේන්තු කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ එවකට සභාපතිනිය වූ නීතිඥ දර්ශනී ලාහඳපුර විසින් පත්කළ විශේෂඥ කමිටුවකිනි. මහාචාර්ය අජිත් ද අල්විස් සහ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන නායකත්වය දැරූ එම කමිටුව යෝජනා කළේ වන්දිය ලබා ගැනීමට නඩුව පැවරීම ශ්‍රී ලංකා අධිකරණ ක්‍රියාවලිය තුළ කිරීමටයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති නීතිඥ අසේල බී රැකව යටතේද එම ස්ථාවරයේ වෙනසක් වූයේ නැත. රැකව වැඩ භාර ගත්තේ පසුගිය පෙබරවාරි මාසයේදීය.

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ ස්ථාවරයද එයයි. පරිසර යුක්ති කේන්ද්‍රය, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ශ්‍රී ලංකාවට ලබාගැනීමට උනන්දුවක් දක්වන සිවිල් සමාජ යාන්ත්‍රණය ද දිගින් දිගටම අවධාරණය කරන්නේ නඩුව ශ්‍රී ලංකාවේ ගොනු කළ යුතු බවයි. නමුත් ශ්‍රී ලංකා රජය අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීය.

මීට වසරකට පෙර (2021 අප්‍රේල්) රට බංකොළොත් බව නිල වශයෙන් පිළිගත් ශ්‍රී ලංකා රජය අදාළ නෞකාව හිමි ‘එක්ස්ප්‍රස් ෆීර්ඩර්ස්’ සමාගමෙන් වන්දි ලබා ගැනීමට ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ඉදිරිපත් වන ආන්දෝලණාත්මක කරුණු කාරණා අවධාරණය කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය බරපතළ සැකයකට භාජනය වී ඇති බවයි.

සභාපතිවරයාගෙන් පැමිණිල්ලක්

මෙම ලියුම්කරු පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුමගෙන් මෙම ආන්දෝලණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මැයි 11 වන දින කළ විමසීමකදී ඔහු පැවසුවේ සිංගප්පූරුවේ නඩු පැවරීම කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් මත සිදුකළ බව නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට දැන්වූ බවයි. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව නිල වශයෙන් පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේන් අදාළ තීරණය සම්බන්ධයෙන් අදහස් විමසීමක් සිදු නොකළ බවයි. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මාන්නප්පෙරුම ඇඟිල්ල දිගු කළේ අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වෙතයි.

සිංගප්පූරුවේ නඩු පැවරීමට පෙර එම තීරණය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් අප්‍රේල් 12 වන දින විමසීමක් කළේය. ඔහු අවධාරණය කළේ අදාළ තීරණය නීතිපති දෙපාර්තමේන්තුව කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය ගත් බවයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගෙන් ඒ පිළිබඳව විමසීමක් නොකළ බවත් කැබිනට් තීරණයක් සම්බන්ධයෙන් තමන්ට අදහසක් පල කළ නොහැකි බවත්ය.

සිංගප්පූරුවේ නඩු පැවරීම

ශ්‍රී ලංකාවට ඉතාමත් අවාසිදායක බව පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ සභාපතිවරයාගේ අදහසයි. “රටට ලැබිය හැකි උපරිම වන්දිය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 කට සීමාවිය හැකිය. මෙම තත්ත්වය මහා අපරාධයක්. අපට ලැබිය යුතු, අප ලබා ගත යුතු වන්දිය සිතාමතා නැතිකර ගැනීමක්. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය ක්‍රියාවලියම ජනතා අප්‍රසාදයට ලක්වීම කිසිසේත් වැළැක්විය නොහැකියි,” මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන්වත් ඒකමතික තීන්දුවක් ගැනීමට නොහැකි වීම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ස්වරූපයයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ අවුල්සහගත තත්ත්වයයි. ඇත්තවශයෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ 17 වැනි වරට වැඳ වැටුන ශ්‍රී ලංකාව තමන්ට හිමිවිය යුතු එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ලබා ගැනීමට නිසියාකාරව කටයුතු නොකරන බවට පාර්ලිමේන්තුව තුළින්ම නැඟෙන හඬ ඛේදවාචකයක් නොවේද? ණය බරින් පීඩිතව සිටින ජනතාව අස්වැසිල්ලක් වීමට පාර්ලිමේන්තුවට අවශ්‍යතාවයක් නොමැතිද ?

වගකීම සබ්රිගෙන් විජයදාසට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වන අවස්ථාවේ (2021 ජුනි 02) අධිකරණ අමාත්‍යවරයා ධුරය හෙබවූයේ ජනාධිපති නීතිඥ අලී සබ්රිය. විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කළ අරගලය සමයේය. (මාර්තු – ජුලි 2022) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ 2022 ජුලි 14 දිනයේදීය.

බහාලුම් 1,400 රැගෙන ගිය එම යාත්‍රාව ගිනි ගැනීමට ලක්වන්නේ 2021 මැයි 21 දිනයේදීය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව නඩු පැවරීම වසර දෙකක් ඉක්ම යෑමට පෙර කළ යුතු විය. නඩු පැවරීම සිදු කළේ අන්තිම මොහොතේය. ඊට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේදී අනතුරට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේද මේ ආකාරයට බව රහසක් නොවේ.

අතිශය අන්තරාකාරී ද්‍රව්‍ය අපරික්ෂාකාරී ලෙස ප්‍රවාහනය කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹට පැමිණෙන්නේ අනතුරට පත්වීමෙන් පසුවය. ඒ වනවිටත් බරපතළ ලෙස ඇසිඩ් කාන්දුවීමක් සිදුවී තිබිණි. නමුත් කටාර් සහ ඉන්දීය වරායවල් එම නැවට අවශ්‍ය පහසුකම් සැලසීම ප්‍රතික්ෂේප කළේය. එම රටවල් දෙකම වර්ධනය වෙමින් පැවති තර්ජනය තමන්ගේ පාර්ශ්වයෙන් පමණක් සලකා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත නෞකා කර්මාන්තයේම අවධානය යොමු විය යුතුය.

ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්වී තිබූ එම නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වීමට අවශ්‍ය මැදිහත්වීම කළේ එහි දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා’ (Sea Consortium Lanka) ආයතනයයි. එම ආයතනය පොලිසියට සහ අධිකරණයට කරුණු සැඟවූ බවට අධිකරණය ඉදිරියේ චෝදනාවට ලක්වී ඇත. එම අධිකරණ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, විශේෂයෙන්ම පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාව දැනුවත් විය යුතු නොවේද? මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රී ලංකාවට සාධාරණය ඉටුකරවා ගැනීමට අධිකරණයේ පිහිට පැතීම සම්බන්ධයෙන් එම ආයතනයට ජනතාව ස්තුතිවන්ත විය යුතුය.

ජාතික අභිලාෂයන් නොමැත

ඇත්ත වශයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය දේශපාලන – ආර්ථික – සමාජීය අර්බුදයේම දිගුවකි. තවදුරටත් වර්ධනය වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය අවධාරණය කරන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අර්බුදයට පාත්‍ර වී ඇති ආකාරයයි. ජාතික අභිලාෂයන් නැති රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කිසිසේත් පුදුම විය යුතු නැත. එක්ස්ප්‍රස් පර්ල් වන්දිය බංකොළොත් ශ්‍රී ලංකාව නැවත ස්ථාවර කිරීමට සෑම අතින්ම ප්‍රබල දායකත්වයක් ලබා දිය හැකි මෙවලමකි. නමුත් රට බංකොළොත් කිරීමට වගකීම භාර ගත යුතු පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවස්ථාව අහිමි කිරීමට කටයුතු කරනවාදෝ යැයි ප්‍රශ්නය නිතැතින්ම නැඟේ. ඒ එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පසුගිය සතියේ කළ ප්‍රකාශවලට අවධානය යොමුකිරීමේදීය.

අධිකරණ අමාත්‍යවරයා මැයි 10 වන දින ප්‍රකාශ කළ ආකාරයට නඩු කටයුත්තක් ක්‍රියාත්මක වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අවධානය යොමු කිරීමට නොහැකි නම්, මුදල් බලය හිමි මැති සභයට කිරීමට දෙයක් ඉතිරිවන්නේ නැත. අධිකරණය ඉදිරියේ ඇති නඩු කටයුතු සහ පාර්ලිමේන්තු කාරක සහා විසින් නිකුත් කරන ලද වාර්තා පිළිබඳව සැබෑ අධ්‍යයනයක් කළහොත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත හැක. එක්ස්ප්‍රස් පර්ල් අවුල නිර්මාණය කළ කණ්ඩායම අවධාරණය කරන්නේ දේශපාලන බලය, වුවමනාව සහ පෞද්ගලික අවශ්‍යතා ජාතික ඕනෑ එපාකම්වලින් යටපත් කළ නොහැකි බවයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ඇස්තමේන්තුව නොසලකා කටයුතු කරන කණ්ඩායම අද ඊයේ ඇතිවූවක් නොවේ. පිළිකාවක් මෙන් සමස්ත රටම වෙලාගෙන ඇති මෙම කණ්ඩායම රටේ සාරය උරා බොමින් සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ. එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අවුල් කර දැමීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් දුන් බවට/ ලබා ගත් බවට නැඟෙන චෝදනාව විමර්ශනය කිරීමට තමන් පොලිස්පතිවරයාට දැන්වූ බවට අමාත්‍යවරයාම මෙම ලියුම්කරු සමඟ අප්‍රේල් 12 වන දින කළ ප්‍රකාශය මතු කළ ගැටලුව අදටත් විසඳී නැත.

දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ විනාශකාරී ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව විනාශ කළේ පාර්ලිමේන්තු ක්‍රමය තුළය. ඒ මහා අපරාධයට පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබිය නොහැක. එක්ස්ප්‍රස් පර්ල් කෙළිය එම විනාශකාරී දේශපාලනයේ නවතම සහ ප්‍රබලම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක.

හඳුන්ගොඩට වාරණයක්

දර්ශන හඳුන්ගොඩ සමාජ මාධ්‍ය හරහා එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කිරීම (චෝදනාවට ලක්වූ නිලධාරීන් දෙදෙනා හඳුන්ගොඩට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඔහුට පනවා තිබූ වාරණ නියෝගය මැයි 24, 2023 දක්වා දීර්ඝ කර ඇත) සහ නීති විශාරදයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මතුකර ඇති කරුණු කාරණා අවධානයට යොමු කළ යුතුය. හිටපු විදේශ අමාත්‍ය පීරිස් නීතිපති දෙපාර්තමේන්තුව එක්ස්ප්‍රස් පර්ල් නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් ආකාරය අභියෝගයට ලක්කර ඇත.

විශේෂයෙන්ම සිංගප්පූරුවේදී නඩු පැවරීම පිළිබඳව වගකීම ජනාධිපතිවරයා නායකත්වය දරන කැබිනට් මණ්ඩලයේද? නැතහොත් නීතිපති දෙපාර්තමේන්තුවේද ? යන ප්‍රශ්න වික්‍රමසිංහ – රාජපක්ෂ ඉදිරිපත් කර ඇත. මහාචාර්ය පීරිස් අවධාරණය කළේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ගිලුණු නෞකාව සම්බන්ධයෙන් අදාළ වන්දි නඩුව විදේශ අධිකරණයක නඩු පැවරීම කිසිසේත්ම සාධාරණීය කළ නොහැකි බවයි.

යහපාලන සමයේදී සිදු කළ මහා බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ආරක්ෂාව පැතීය. ඒ ඔහු එම රටේ පුරවැසිභාවය ලබාගෙන තිබෙන නිසාය. මහේන්ද්‍රන්ට වසර 5 කට වඩා වැඩි කාලයක් සිංගප්පූරු ආණ්ඩුවේ ආරක්ෂාව ලැබිණි. අදටත් තත්ත්වය එයමය. මහේන්ද්‍රන් අදාළ නඩුව සම්බන්ධයෙන් කිසි දිනක ශ්‍රී ලංකාවේ අධිකරණයක පෙනී නොසිටින බව අමුතුවෙන් කිව යුතු නැත. මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවෙන් පිටවන විට මෛත්‍රිපාල සිරිසේන රටේ ජනාධිපතිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ මහා බැංකු බැඳුම්කර වංචා නඩුව බලාපොරොත්තු වූ ප්‍රගතිය ලබා ගත්තාද ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ එම නඩුව සම්බන්ධයෙන් රජයේ උනන්දුව කෙලෙසද? සමස්ත ක්‍රියාදාමය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම විමසා බැලිය යුතුය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම පසුබිමේ දිගහැරෙන අතිශය ආන්දෝලණාත්මක පාවාදීම (විපක්ෂය සහ සිවිල් සංවිධාන පවසන පරිදි) අවබෝධ කරගැනීමට බැඳුම්කර වංචා නඩුව විමර්ශනය කිරීම ඉවහල් වෙයි. එමෙන්ම හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදු දීම (2017 දී) සහ එවකට මන්ත්‍රීවරයකු ලෙස විජයදාස රාජපක්ෂ එම වරාය නැවත ශ්‍රී ලංකාවට පවරා ගැනීමට පාර්ලිමේන්තුවට කළ යෝජනාව සහ ඊට නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ ප්‍රතිචාරය මෙන්ම මහත් ආන්දෝලණාත්මක එම්. සී. සී. ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගත් ස්ථාවරය සමාජයේ අවධානයට ලක්විය යුතුමය.

එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය පුපුරා යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් බංකොළොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසා බැලීමට පෙරය. එම කණ්ඩායම මෙහි පැමිණියේ මැයි 11 දිනය. එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් දූෂණ සහ වංචා චෝදනා එල්ල වී ඇති මේ අවස්ථාවේ ජාතන්තර මූල්‍ය අරමුදලේ වගකීම අවම වශයෙන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලට කිසිදු ලැජ්ජාවක් නැත. එක්ස්ප්‍රස් පර්ල් තවත් අර්බුදයක් පමණි. එය මහජන අවධානයට යොමුවන්නේ තවත් රට හොල්ලන වංචාවක් කරනකම් පමණි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment