තෙවැනි විනිසුරුගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව අයිසීසීයට – සහාය පුහුණුකරු නවීඩ් නවාස් කියයි

542

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පෙරේදා (06 වැනිදා) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ දී තෙවැනි විනිසුරු මසුදුර් රහ්මාන් විසින් බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් නොදැවුණු පිතිකරුවකු ලෙස නම් කරමින් දෙන ලද තීන්දුවට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කරන බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේය.

තෙවැනි විනිසුරුගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව අයිසීසීයට - සහාය පුහුණුකරු නවීඩ් නවාස් කියයි

තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ නවීඩ් නවාස් මහතා පැවසීය.

බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි පන්දු ඕවරයේ පළවෙනි පන්දුවේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එවූ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට ගිය ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ පන්දුව දැවටුන බවත් කුසල් මෙන්ඩිස් විසින් උඩපන්දුවක් රැකගත් බවත් තීරණය කළ පිටියේ විනිසුරු ෂර්ෆුද්දූලා විසින් සෞම්‍ය සර්කාර් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කළේය.

සෞම්‍ය එම තීරණය තෙවැනි විනිසුරුට යොමු කළ අතර පුළුල් තිරයේ දර්ශන අනුව පන්දුව පිත්තෙන් පිට වන අවස්ථාවේදී එය පිත්තේ ගැටෙනවා දුටු සෞම්‍ය ඒ අනුව තමා දැවී ගිය අයකු ලෙස සිතා පිටියෙන් පිටතට යමින් සිටියේය.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු රහ්මාන් විශ්වාස කළේ ශබ්දය සහ තරංගය ඇති වන්නේ පිත්තේ පන්දුව වැදීමෙන් නොවන බවත් තිරයේ දිස්වන්නේ වෙනත් ආකාරයක ශබ්දයකින් ඇති කළ තරංගයක් බවත්ය.

ඒ අනුව පිතිකරුවා නොදැවුණු ක්‍රීඩකයකු බවත් පිටියේ විනිසුරුගේ තීරණය වැරදි බවත් තෙවැනි විනිසුරුවරයා තීන්දු කළ බැවින් සෞම්‍යට නැවත පන්දුවට පහර දීමට අවස්ථාව උදා වූයේය.

අල්ට්‍රා එජ් තාක්ෂණය අනුව තරංගය දර්ශනය වූ මොහොතේ පිත්ත සහ පන්දුව අතර “පැහැදිලි පරතරයක්” තිබූ බව ඔහු විස්තර කළේය. නමුත් මෙම තරංගය ඇති කරන ශබ්දය වෙනත් කොතැනකින් මතු විය හැකිද යන්න ද පිළිබඳ පැහැදිලි කිරීමට හැකියාවක් නොතිබිණි.

තෙවැනි විනිසුරුගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව අයිසීසීයට - සහාය පුහුණුකරු නවීඩ් නවාස් කියයි

කෙසේ වෙතත් පිටියේ විනිසුරුගේ තීරණයත් සලකා බලා සෞම්‍ය සර්කාර් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තුන්වන විනිසුරුවරයාට අවස්ථාව තිබුණු බව ජාත්‍යන්තර විචාරකයෝ කීහ.

“සාමාන්‍යයෙන් රූපවාහිනි විනිසුරුවරයාට විනිසුරුගේ තීරණය අවලංගු කිරීමට තීරණාත්මක සාක්ෂි තිබිය යුතුයි. ස්පයික් එකක් ඇති බව පැහැදිලියි. අපි එය විශාල තිරයේ දුටුවා. ඇත්ත වශයෙන්ම මේ සිදුවූයේ කුමක්දැයි බැලීමට අපට එය තරග තීරකවරයා වෙත රැගෙන යෑමට සිදුවනු ඇති. අපේ තිරවල තිබූ දර්ශන කිසිවක් කීමට ප්‍රමාණවත් නෑ. නමුත් පිටියේ විනිසුරුවරයා දුන් දෙය අවලංගු කිරීමට රූපවාහිනි විනිසුරුවරයාට සාක්ෂි තිබිය යුතුයි. මේ කඩුල්ල අපේ පළමු කඩුල්ල වීමට ඉඩ තිබුණා. මේ වගේ තණතීරුවක ඕනෑම කඩුල්ලක් තීරණාත්මකයි….” නවීඩ් නවාස් කීවේය.

එම තරගයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු පහළොවක් විස්සක් පමණ රැස් කරගත යුතුව තිබුණු බවත් කමිඳු මෙන්ඩිස් ගේ සහ චරිත් අසලංකගේ දැවී යෑම් හමුවේ ශ්‍රී ලංකාවට එම ලකුණු ප්‍රමාණයට ළඟාවීමට නොහැකිවූ බවත් සහාය පුහුණුකරුවා තවදුරටත් සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment