කුසල්ලා දඹුල්ල පළමු වරට එල්පීඑල් අවසන් තරගයට රැගෙන යති

484

කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාගේ දක්ෂ පිතිහරඹය මත ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ පළමුවරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත් වූයේය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම නිමිත්තෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ගාල්ල කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කරමින් දඹුල්ල ක්‍රීඩකයෝ එම අවස්ථාව හිමිකර ගත්හ.

ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය පන්දු වාර 19.4කදී කඩුලු 4ක් දැවී ඉක්මවා ගිය දඹුල්ල කණ්ඩායම ලද එම ජයග්‍රහණය මෙවර තරගාවලියේ තරග 9 කදි ඔවුන් ලද හත්වැනි ජයග්‍රහණය වූයේය.

එමෙන්ම දඹුල්ල කණ්ඩායම අඛණ්ඩව ලැබූ 6 වෙනි ජයග්‍රහණය ද එය විය.

ජයග්‍රාහී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා ලකුණු 53 ක් සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් ලබා ගත්හ.

ජයග්‍රහණයට එක ලකුණක් තිබියදී කුසල් පෙරේරා දැවී යන විට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් එල්ල කර තිබුණි.

ටබ්‍රසේ ශම්සි හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කුසල් මෙන්ඩිස් දැවී යන විට පන්දු 45 කදී හතරේ පහර 5 ක් එල්ල කර තිබුණි.

කසුන් රාජිතගේ පන්දු හමුවේ විශිෂ්ට හයේ පහර 3 ක් එල්ල කළ අවිශ්ක ප්‍රනාන්දු සකීබ් ට ද හයේ පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 24 කට දැවී ගියේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අවුරා කණ්ඩායම කළ ආරාධනාව මත පිටියට පිවිසි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී සියලු දෙනා ලකුණු 146 කට දැවී ගියහ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් හුදකලා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 61කදී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූයේය.

හතරේ පහර 7 කින් අලංකාර වූ කෲස්පුල්ලේගේ ඉනිමට පසුව එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 19 ක් ලබා ගත් සකීබ් අල් හසන් වේ.

ඔහු ලකුණු 19 ක් ලබා සිටියදී ධනංජය ද සිල්වා ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර නායක දසුන් ශානක ලකුණු 12 ක් ලබා ගත්තේය.

යෝධ හයේ පහරක් එල්ල කළ ලහිරු සමරකෝන් ලකුණු 15 ක් ලබා ගත් අතර ගාල්ල කණ්ඩායමට වැඩිම හානිය සිදු කළ දඹුල්ල අවුරා කණ්ඩායමේ පන්දු යවන්නා වූයේ හේඩන් කර් ය. ඔහු ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවේය.

කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

ලකුණු සාරාංශය

ගාල්ල කණ්ඩායම 146/10(20)

ලසිත් කෲස්පුල්ලේ 80, සකීබ් අල් හසන් 19, ලහිරු සමරකෝන් 15

හේඩ්න් කර් 18/3,නූර් අහමඩ් 27/2

දඹුල්ල කණ්ඩායම 147/4 (19.4)

කුසල් පෙරේරා 53, කුසල් මෙන්ඩිස් 49, අවිශ්ක ගුණවර්ධන 24, සධීර සමරවික්‍රම 13,

දසුන් ශානක 1/1

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment