ගිරිතලේ දාහතේ කෙල්ලට වෙඩි තබා හතළිහේ පෙම්වතා පලා ගිහින් අල්ලන්න පොලිසිය දැල එළයි

1091

ජයන්තිපුර යාය 4 ගම්මානයේ පදිංචි 17 හැවිරිදි තරුණියකට පෙරේදා රාත්‍රි 8.30ට පමණ නිවසේ ආලින්දයේදී පුද්ගලයකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති අතර ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම වෙඩි තැබීමට ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව වෙඩි වැදී තුවාල ලැබූ තරුණිය සමග ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවද සැකකරු තමා සමග යෑමට එන ලෙස බලපෑම් කළ ද තරුණිය එම යෝජනාවට අකමැති වීම නිසා මෙම පුද්ගලයා ඇයට වෙඩි තබන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ගේ උපදෙස් මත මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. ඩබ්ලිව්. ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අද හෙටම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment