නිලන්ත ගැන විමර්ශන කරන්න පොලිස්පතිට නියෝග කරන්න

311

අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

මුස්ලිම් අන්තවාදීන් 2019.4.21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල කළ මරාගෙන මැරෙන ම්ලේච්ඡ ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට වගකිවයුතු පුද්ගලයකු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කරුණු අනාවරණය වී තිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (01දා) පාර්ශ්ව කීපයක් රිට් ආඥා පෙත්සමක් ගොනු කළහ.

සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා සහ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 20 හැවිරිදි තරුණයකුගේ පියා වන ඩී. ඩී. සුරාජ් නිලංග මහතා එම පෙත්සම ගොනු කළහ. නීතිඥ එම්. මනුෂිකා කසුනි කුරේ මෙනවිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දීගොඩගමගේ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා නම් කර ඇත. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර මාලාව ගැන සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී මෙන්ම මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවති නඩු කටයුතුවලදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති මූලික අයිතිවාසිකම් කීපයකදී ද නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබියදීත් ඔහුට එරෙහිව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම යුක්ති සහගත නොවන බවත් එම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

ප්‍රහාර එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් නොදීම නිසා 2019.4.21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 267 දෙනකු මියගොස් තවත් 400කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ බවත් නිලන්ත ජයවර්ධන මහතා අපරාධ වගකීමක් පැවරී තිබූ බැවින් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස් මූලස්ථානයට ගොනු කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදුකර නොමැති බවත් එමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment