සැමියා සමග කොළඹ පැමිණි කතගේ ලක්ෂ 30ක රන්බඩු දුම්රියේදී උස්සලා

367

තම පුරුෂයා සමඟ දුම්රියෙන් කොළඹ බලා ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 30කට වැඩි රන් භාණ්ඩ, මුදල් ඇතුළු දේපල දුම්රිය තුළදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

බේරුවල, කංකානංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක ඉස්ලාම් ජාතික කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

තම සැමියා සමග දුම්රියෙන් නිදහස් දිනය දා, කොළඹ බලා ගමන් කරමින් සිටියදී තමාට නින්ද ගිය බවත්, කැකිරාව දුම්රිය ස්ථානය පසු වී මද දුරක් යන විට දුම්රිය ආරක්ෂකයකු පැමිණ තම ගමන් මළුවල තිබෙන දෑ, නිසියාකාරව තිබෙනවාද යන්න පරීක්ෂා කර බලන ලෙසට දුම්රිය මගීන් දැනුවත් කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන් පසුව තමන් වාඩිවී සිටි අසුන යට දමා තිබූ අත් බෑගය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබූ රන් ආභරණ, ජංගම දුරකථනය හා මුදල් නොමැති බව දැන ගෙන මැදිරිය තුළ සොයා බැලීමේදී හමු නොවූ බවත්, කිසියම් පුද්ගලයෙකු අත් බෑගයට අත දමන අයුරු දුටු බවට දුම්රියේ ගමන් කළ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු පසුව ප්‍රකාශ කළ බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සොරකම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂකයන් සහ කැකිරාව දුම්රිය ස්ථානය දැනුවත් කර මරදානට ගොස්, යළි තම පියා, ස්වාමිපුරුෂයා සමග කැකිරාව පොලීසියට පැමිණ මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව ගමන් මල්ලේ, ලක්ෂ හතරක් වටිනා රන්මාලයක්, පෙණ්ඩනයක්, අසූ දහසක් වටිනා කරාබු ජෝඩුවක්, එක් ලක්ෂ පනස්දහසක් වටිනා රන් අත් පළඳනාවක්, එක් ලක්ෂ පනස් දහසක් වටිනා මුදුවක්, ලක්ෂයක් වටිනා මුදු දෙකක්, ලක්ෂ දෙකක් වටිනා මැණික් ගල් ඔබ්බවූ රිදී මුද්දක්, (ලක්ෂ 20ක් වටිනා මැණික් ගල් ඔබ්බවූ රිදී තැලි තුනක්, රිදී බේස්ලට් එකක්, රිදී මුද්දක්, රිදී කරාබු ජෝඩු දෙකක්,) අසූ දාහක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, මුදල් නව දහස් පන්සීයක් ඇතුළු රුපියල් තිස් එක් ලක්ෂ හැට නව දහස් පන්සීයක රන් භාණ්ඩ, මුදල්, හා දේපල සොරකම් කළ බවට පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසියේ නිලධාරීහු පිරිසක් විමර්ශන සිදුකරති.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment