පාර්ලිමේන්තු නව සභාවාරය විවෘත කිරීම අද චාම් අයුරින්

34

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය විවෘත කිරීම අද (07 දා) පෙ.ව. 10.30 ට සිදු කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වෙනදා මෙන් මෙම විවෘත කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සිදු නොකර චාම් ලෙස සිදුකරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙහිදී සභාවාරයේ මුලසුන හොබවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉක්බිතිව එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන අතර එය හෙට (08දා) හා සිකුරාදා (09දා) පැවැත්වීමට එකඟතාව පළකර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් (26දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කරන ලදී.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්‍ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුවේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ. නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින සිට 2023 ජනවාරි 27 දක්වා පැවැත්වූ අතර සිව්වැනි සභාවාරය 2023 පෙබරවාරි 08 සිට ආරම්භ විය. වාර අවසාන කරන මොහොත වනවිට පාර්ලිමේන්තුව සිව්වැනි සභාවාරය සඳහා දින 106 ක් රැස්වී තිබේ.

ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර හා පෙළපාලි ද එහිදී නොපැවැත්වෙන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න පැවසීය.

කිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment