චාල්ස් රජුට පිළිකාවක්

445

එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති අතර එම පිළිකාව සඳහා ඔහුට සිය මාලිගයේදීම ප්‍රතිකාර කිරීම අරඹා ඇතැයි බකිංහැම් මාලිගය ඊයේ (06දා) නිවේදනය කළේය.

හැත්තෑ පස් වැනි වියෙහි පසුවන චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇත්තේ ඔහු ඉකුත්දා පුරස්ථි ග්‍රන්ථියේ (ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ්) විශාල වීමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලැබීම සඳහා රෝහල්ගත වීමෙන් පසුව බව නිවේදනය කර ඇති බකිංහැම් මාලිගය, ඔහුගේ පිළිකාව ඇත්තේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව නොවන බවත් පිළිකා තත්ත්වය පිළිබඳව සමාජය තුළ කටකතා පැතිර යෑම වැළැක්වීම සඳහා රජු විසින් ඒ සම්බන්ධයෙන් ළඟදීම මහජනතාවට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් අවධාරණය කර තිබේ. චාල්ස් රජුට වැළඳී ඇති පිළිකාව කුමක්ද යන්න නිවේදනයෙහි සඳහන් කර නොමැති බකිංහැම් මාලිගය රජුට පිළිකා ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් විසින් ඔහුට සිය ඉදිරි මහජන කටයුතු සහ උත්සව අවලංගු කරන ලෙස උපදෙස් දී ඇතැයි ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද එංගලන්තයේ රජුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති රාජ්‍ය කටයුතුවල චාල්ස් රජු ඉදිරියේදී ද නියැලෙනු ඇති බවත් එංගලන්ත අගමැතිවරයා සතිපතා මුණගැසීමේ කාර්යය ද ඔහු විසින් නියමිත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර චාල්ස් රජු විසින් සිය පිළිකා තත්ත්වය පිළිබඳව සිය පුතුන් දෙදෙනා වන ඔටුන්න හිමි වේල්ස් හි කුමාරයා වන විලියම් කුමරුට හා හැරී කුමරුට දැනුම් දී ඇති බවත් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින හැරී කුමරු ඉදිරි දිනවල සිය පියාගේ සුවදුක් විමසීම සඳහා එංගලන්තයට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ. චාල්ස් රජු සිය රෝගී තත්ත්වය මත ඉවත් වීමට අදහස් කර ඇති ඇතැම් කාර්යයන් විලියම් කුමරු වෙත පැවරීමට නියමිතව ඇති බව රජ පවුලේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. රෝගාතුර වී පසුගියදා උදරය ආශ්‍රිත සැත්කමකට භාජනය වූ සිය බිරිය වන වේල්ස් හි කුමරිය සමග කාලය ගතකිරීම සඳහා විලියම් කුමරු ද මේ වන විට රාජකීය කටයුතුවලින් ඉවත්ව සිටින අතර චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව අනාවරණය කිරීමෙන් පසු ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කර තිබේ.

පිළිකා ප්‍රතිකාර හේතුවෙන් චාල්ස් රජු රාජකාරි කටයුතුවලින් තරමක් ඈත් වුවද ඔහුගේ බිරිය වන කැමිලා බිසව ඇයට හිමි රාජකාරි කටයුතුවල දිගටම නියැළෙන බව බකිංහැම් මාලිගය පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment