රටට ආදරය කළ ජනහද දිනූ ආදරණීය ඩඩ්ලි

408
සිව්වරක් මේ රටේ අගමැති පදවිය හෙබවූ දිවංගත ඩඩ්ලි සේනානායක ජනනායකයාණන් දැයෙන් සමුගත්තේ 1973 අප්‍රේල් 13 වැනිදාය. එතුමන් මියගොස් වසර 51 ක් පිරීම නිමිත්තෙන් මෙම ලිපිය පළවෙයි.

දේශපාලනයට ඇල්මක් නොදැක්වූ අයකු වශයෙන් හැඳින්වුණු ඩඩ්ලි සේනානායක මහතා, මහජන සේවය සඳහා පිවිසෙන ලද්දේ තමාට වයස අවුරුදු විසිපහක් පමණ තරම් වූ තරුණ අවධියේදීය. තම පියාගෙන් ලද උපදේශනයන් ද තම මිතුරන් මෙන්ම අනෙකුත් පවුලේ සාමාජිකයන්ගෙන් ද එල්ල වූ දැඩි ඉල්ලීම් නිසා ද, ඔහු දේශපාලනයට පිවිසුණු බවට සමාජ මතයක් එවකට දැඩිව පැවැතුණි. නමුත් 1936 වර්ෂයේ සිට 1973 වර්ෂය දක්වාම ව්‍යාප්ත වූ එතුමාගේ දේශපාලනික ජීවිතය දෙස නැවත හැරී බලන කල, රටේ ජනතාව පිළිබඳ එතුමාගේ සිත තුළ ජනිතව තිබූ අසිමිත කරුණාව, ඔහු දේශපාලන කරළිය දෙසට ඇදගත් සැඟවුණු බලවේගය වූ බව නොරහසකි.

වර්ෂ 1911 ජුනි මස 19 වැනි දින එතුමා බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම පිහිටි, බෝ පැළය පිහිටා තිබූ ස්ථානය වශයෙන් හැඳින්වූ බෝතලේ ගම්මානයේදී මෙලොව එළිය දුටුවේය. පසුකලෙක එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරීම සඳහා තමා උපන් ගම් ප්‍රදේශයෙන් ඉදිරිපත් නොවූයේ, ඒ වනවිටත් තම කීර්තිමත් පියාණන් වන ඩී.එස්. සේනානායක මහතාණන් විසින් එම මැතිවරණ ආසනය නියෝජනය කළ බැවිනි. ඔහු ඊට යාබදව පිහිටා තිබූ, සුප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ සබරගමුව පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම ආසනය නියෝජනය කළේය.

වර්ෂ 1948 දී නිදහස ලබා ගැනීමත් සමගම ඩී.එස්. සේනානායක මහතා රටේ ප්‍රථම නායකයා බවට පත්වූ අතර ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා, වර්ෂ 1931 සිට එතෙක් තම පියා විසින් දරූ ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා පත්වුණි. මෙම තරුණ ඇමැතිවරයා හට තම පියා විසින් ඉටුකරන ලද විශාල සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ කර්තව්‍යය පැවරුණ ද, ඔහුට එවැන්නක් නිසි ලෙස ඉටු කිරීමට හැකිවේ ද යන්න පිළිබඳ බොහෝදෙනා තුළ විශාල සැකයක් පැවතිණි. නමුත් ඉතා කෙටි කාලයක් ඇතුළතදී, තමාගේ හැකියාවන් පිළිබඳ සැකසංකා මතුකරගත් පිරිස වෙතම තම දක්ෂතාවන් මනාව පෙන්වා දීමට ඔහු සමත් විය. කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ඔහු සිදු කළ විශාලතම මෙහෙය වූයේ 1948 දී ආරම්භ කළ ගල්ඔය වාරි සහ ජනපද ව්‍යාපාරයයි. මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයට එකදු ශතයක්වත් විදේශ රටකින් ණයක් ලෙස හෝ ආධාරයක් ලෙස හෝ නොගෙන අපේම රටේ අපේම මුදලින් සම්පූර්ණ කළ බව අප සදා මතකයේ රඳවාගත යුතුය. මේ පිළිබඳව 1948 මැයි මස 21 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් ඩඩ්ලි සේනානායක මහතා මෙසේ පවසන ලදී.

“පරාක්‍රම රජුගේ මුහුද වශයෙන් හැඳින්වුණු පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරන අවධියේදී එදා ලංකාවේ තිබුණු සියලුම වැව්වල ජල ප්‍රමාණයන්ට, පරාක්‍රම සමුද්‍රයේ තිබෙන ජලය සහ අද තිබෙන අනෙකුත් සියලුම වැව්වල ජල ප්‍රමාණයන් ද එක් කළත් ගල්ඔයෙන් ලැබෙන ජලය ඉක්මවා යෑමට නොහැකි බව අපට ස්ථිර ලෙසම ප්‍රකාශ කළ හැක”

වර්ෂ 1952දී, අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයත් සමගම රජයේ විශාල අර්බුදයක් හටගන්නා ලදී. ආණ්ඩු පක්ෂයේ උප නායක වශයෙන් ක්‍රියා කළ, එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු ද වූ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වර්ෂ 1951දී රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්වීම හේතුවෙන්, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ආණ්ඩු පක්ෂයේ උප නායකත්වයට හිමිකම් ලැබුවත්, එතුමාගෙන් අගමැති පුරප්පාඩුව පිරවීමට රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අකමැති වූහ. ඔවුනගේ තෝරා ගැනීම වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. ඒ හේතුවෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඉතා තදබල ලෙස කේපයට පත්විය. නමුත් එම යෝජනාව ඩඩ්ලි සේනානායක මහතා ප්‍රතික්ෂේප කළ අතර, අගමැති ධුරය ඊළඟ ජ්‍යෙෂ්ඨයාට හිමිවිය යුතු බව ඔහු ප්‍රකාශ කරන ලදී. නමුත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉන් සෑහීමකට පත් නොවීය. යම් හෙයකින් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත් කළහොත් ඔවුන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට යන බවට ප්‍රකාශ කරමින්, රජයේ පැවැත්මට පවා තර්ජනයක් ඇති කළහ. උද්ගත වූ මෙම අර්බුදය අවසානයේ සමථයට පත්වූයේ ඩඩ්ලි සේනානායක මහතා ඉමහත් බලපෑම් මත අගමැති ධුරය භාර ගැනීමට එකඟත්වය පළ කිරීමත් සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට එකඟත්වයත් පළකිරීමෙනි. අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඩඩ්ලි සේනානායක මහතා තමා විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට අනුකූලව, පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත ජනතා වරමක් ලබාගැනීම උදෙසා අගමැති වශයෙන් දිවුරුම් දී දින දහතුනක් ඇතුළත එතුමා විසින්ම රජය විසුරුවා හරින ලදී. ඉන්පසු පැවැති මැතිවරණයේදි එතුමා ඉතා ඉහළින් විශිෂ්ට ජයක් ලබාගත් අතර, ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගැනීමට ද සමත් විය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා, ඩඩ්ලි සේනානායක මැතිතුමා යටතේ සේවය කිරීමට එකඟ වූයේ තමා මහත් සේ ආදරය කළ තම මෑණියන්ගේ බලපෑම නිසා බව කවුරුත් දැන සිටි රහසකි. අකමැත්තෙන් වුවද ඇති වූ මේ එකඟතාවය වැඩිකල් නොයාම දෙදරා යෑමට පටන් ගත්තේය. එම අර්බුදයේ ආරම්භය සනිටුහන් වූයේ ‘1952 අගමැති පොරය’ නමින් හැඳින්වූ කර්තෘ අඥාත ප්‍රකාශනයක් පළ වීමත් සමඟය. ඩඩ්ලි සේනානායක මහතා ඉතා දුෂ්ට සහ කූට ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ අයකු ලෙස හැඳින්වූ මෙම පොත් පිංචය, නිර්මාණය කරන ලද්දේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින්ම බව කාගේත් පොදු පිළිගැනීම විය. මෙම අර්බුදය කෙටි කලකින් සමථයකට පත්වූ නමුත් තමාට මුහුණ පාන්නට සිදු වූ අනේක විධ කරදර, දේශපාලනික කුමන්ත්‍රණ හා අයහපත් සෞඛ්‍ය තත්ත්වය යන කරුණු හේතුකොටගෙන වර්ෂ 1953 දී ඩඩ්ලි සේනායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තමා දේශපාලනයෙන් ද ඉවත් වන බවට ප්‍රකාශ කළේය. මේ අයුරින් අප රටේ නායකත්වය ස්වෙච්ඡාවෙන්ම ප්‍රතික්ෂේප කළ නායකයන් පිළිබඳව අපගේ දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසය තුළ සඳහන් වන්නේ අවස්ථා දෙකකදී පමණි. ඉන් එක් නායකයකු වන්නේ මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වු සිරිසඟබෝ රජතුමාය. අනෙක් නායකයා අන් කවරකුවත් නොව ඩඩ්ලි සේනානායක මහතාය. මෙම නායකයන් දෙපළම කැමැත්තෙන්ම බලය අත්හැරියේ තමන්ගේ බලයේ ස්වර්ණමය වකවානුවේදීය.

නියමිත දිනට වසරකට පෙරාතුවම ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරියේ. හිටපු අගමැතිවරයා ලබාගත් ආකාරයේ පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි. ඒ නමුත් ජනතාව ඔහුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ලදී. එවර ආසන 8 කට පමණක් සීමා වුණු එ.ජා.පයට විපක්ෂයේ නායකත්වය පවා ලබාගැනීමට අපොහොසත් විය. එම ප්‍රතිඵලයෙන් විමතියට පත්වූ එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නැවතත් ඩඩ්ලි සේනානායක මහතා හට පක්ෂයේ නායකත්වය භාරගන්නා මෙන් දැඩි ලෙස ආයාචනා කරන ලදී. ආයාචනා කිහිපයකට පසු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාව පක්ෂයේ කිසිදු තනතුරකට නැවත කිසි ලෙසකින්වත් පත් නොකරන ලෙසට වූ පොරොන්දුව මත නායකත්වය භාර ගැනීමට එතුමා එකඟ විය. ඒ අනුව ඩඩ්ලි සේනානායක මහතා හට වර්ෂ 1957දී නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව ක්‍රියා කිරීමට සිදුවිය.

පක්ෂයේ නායකත්වය භාරගෙන අවුරුදු තුනක පමණ සුළු කාලයක් තුළදී, ඉතා අන්ත පරාජයට පත්ව සිටි එ.ජා.පය නැවතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබලතම පක්ෂය බවට පත් කිරිමට එතුමාට හැකිවිය.

රජය තුළ වාමාංශික පක්ෂවල සහභාගිත්වය පිළිබඳව නොසතුටෙන් සිටි එවක නියෝජ්‍ය අගමැති සී.පී. ද සිල්වා මහතා 1964දී රජයෙන් විපක්ෂයට එකතු වීමට තීරණය කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය පාර්ලිමේන්තුවේදී අත්‍යවශ්‍යම ඡන්දයකින් පරාජයට පත්විය. ඉන් අනතුරුව පැවැති මහමැතිවරණයේදි එ.ජා.පයේ නායකත්වය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමා තවත් පක්ෂ සයක සහාය ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකරගත්තේය. කෙසේ නමුත් පසුගිය රජය පෙරළීමට මූලික වූ තැනැත්තා වූයේ සී.පී. ද සිල්වා මහතා බැවින්, ඩඩ්ලි සේනානායක මහතා එතුමාට නව රජයේ අගමැති ධුරය පිරිනමන ලදී. නමුත් සී.පී. ද සිල්වා මැතිතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඩඩ්ලි සේනානායක මැතිතුමා යටතේ සේවය කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කළ හෙයින්, ඩඩ්ලි සේනානායක මැතිතුමා නැවතත් අග්‍රාමාත්‍යවරයා බවට පත්ව රාජ්‍ය නායකයා බවට පත්විය.

රට සංවර්ධනය කළ යුත්තේ ජනතාව හාමතින් තබා නොවන බව එකහෙළා පැවසූ එතුමන්, නොමිලේ හාල් සේරු දෙකක් පවා දෙමින් කළ උත්තම කැපවීමට ඔහු මියගිය පසු කෘතවේදී ජනතාව පළ කළේ නොමිලේ බත්පත දී අප කුසගිනි නිවූ පියාණනි… වී ගහට පිටදී බුදු වේවා ආදී වදන් බැනර් ද රට පුරා ප්‍රදර්ශනය කරමිනි.

නව රජය කෘෂිකර්මය නඟාසිටුවීම උදෙසා බැඳී සිටියේය. තම පියා මෙන්ම ඩඩ්ලි සේනානායක මහතා ද, ජාතියේ උන්නතිය රඳා පවතිනුයේ ආහාර සුරක්ෂිතතාව මත යන්න ඉතා තදින් විශ්වාස කළ අයකු නිසා එතුමා කෘෂිකර්මය දිරිගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරනා ලදී. නමුත් 1970 වසරේදී ඔහු ලද පරාජයෙන් පසුව සමච්චලයක් වශයෙන් එවක නිලධාරීන් හට රැවටුණා යැයි තම විරුද්ධවාදීන්ගේ විවේචනයට ලක් වුවත්, ඔවුන්ගේම සංඛ්‍යාලේඛනවලින්ම එම කාලය තුළදී, විශාල ආහාර නිෂ්පාදනයක් ඇති වූ බවත්, විශේෂයෙන්ම වී නිෂ්පාදනයේ විශාල ඉහළ යෑමක් සිදුවූ බවත් පසුව හෙළිදරව් විය. මහවැලිය යනු ද එතුමාගේ කාලයේදී ආරම්භ වුණු දැවැන්ත වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විය. නමුත් එය නිම කරන්නට පෙර එතුමාගේ රජය මැතිවරණයේදී පරාජයට පත්විණි.

ඩඩ්ලි සේනානායක මහතා ඉතා නිහතමානී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. අගමැති වශයෙන් වුවද කිසිදු ආරක්ෂක නිලධාරියකු නොමැතිව තමාගේ රථය පදවමින් තම මිත්‍රයන් මුණගැසීමට හෝ පෞද්ගලික කටයුත්තක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හෝ යනෙන අයුරු නිතර නිතරම පාහේ දක්නට ලැබිණි. තමා යන්නේ පුද්ගලික ගමනක් යැයි ප්‍රකාශ කරමින් අගමැති ආරක්ෂක නිලධාරීන් හට තමා පසුපස නොඑන ලෙස නියෝග කළ අවස්ථා බොහෝමය. කෙසේ නමුත් නිවසින් බැහැර වී සුළු වේලාවකට පසු එතුමා පසුපසු ආරක්ෂක නිලධාරීන් රහසේ යෑම පිළිබඳව පොලිසිය සෑහීමකට පත්වූයේ එතුමා නිරතුරුවම යන එන තැන් පිළිබඳ පොලිසිය ඉතා හොඳින් දැන සිටි බැවිනි. දිනක් මෙවන් වූ අවස්ථාවක අගමැති සොයාගන්නට නොහැකිව මහත් ආන්දෝලනයක් හටගන්නා ලදී. එතුමා සොයාගැනීමට ඉමහත් වෙහෙසක් දැරූ අවස්ථාවේදී හික්කඩුවේ වෙරළෙහි සැරිසරමින් තම කැමරාවෙන් ඡායාරූප ගනිමින් සිටන බව දැනගන්නට ලැබිණි. තම කැමරාවෙන් ඡායාරූප ගැනීම එතුමාගේ හුදු විනෝදාංශය විය.

එසේම ගොල්ෆ් ක්‍රීඩාව සඳහා ද ඩඩ්ලි සේනානායක මහතා බොහෝ ඇලුම් කළ අයෙක් විය. දිනක් එතුමා ගොල්ෆ් ක්‍රීඩාව පිණිස තමා නුවරඑළියට යන බවත්, ආරක්ෂක නිලධාරීන් හට තමා පසුපස ඒම අවශ්‍ය නොවන බවත් පවසන ලදී. නමුත් එතුමා පිටත් වූවාට පසු පොලිස් නිලධාරීන් සුපුරුදු ලෙස වෙනදා මෙන්ම එතුමා පසුපස ගමන් ගත්හ. තමා විසින්ම රිය පදවාගෙන ගිය එතුමා, රථය රම්බොඩකන්ද තරණය කරන අවස්ථාවේදී වාහනයේ උෂ්ණ මාපකයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගිය නිසාවෙන් එතුමාට රථය නවත්වන්නට සිදුවිය. හෙතෙම වාහනය නතර කොට එය නැවත යථා තත්ත්වයකට පත්වනතුරු අසල තිබූ බෝක්කුවක් මත හිඳගෙන සිටියේය. මෙම තත්ත්වය පිළිබඳ කිසිත් නොදත් ආරක්ෂක පොලිස් නිලධාරීන් එතැනට පැමිණි විට අගමැතිතුමා බෝක්කුවක් මත හිඳගෙන සිටිනු දැක විස්මයට පත්විය. අගමැතිතුමා ද ඔවුන් දැක එතැනින් නැඟිට, ඔවුන් වෙත ගොස් තමන් පසුපසින් පැමිණියාට ඉතා ලජ්ජාවෙන් මෙන් ස්තූති කොට තමන්ව නුවරඑළියට රැගෙන යන මෙන් ඉල්ලීමක් ද කරනා ලදී. ඔහුගේ නිහතමානීකම කෙතරම්ද යන්න මෙයින් විදහා දැක්වෙනු ඇත.

කිසිවිටෙකත් මහජන මුදල්, මහජන සේවකයකුගේ පුද්ගලික අවශ්‍යතාව සඳහා භාවිත නොකළ යුතු බව ඩඩ්ලි සේනානායක මහතා තරයේ විශ්වාස කළේය. අගමැති ධුරය දැරූ මුළු කාලයේදීම තම වාසස්ථානය ලෙස තම පුද්ගලික නිවසම පමණක් භාවිත කළ එතුමා, තමන්ගේ පුද්ගලික කටයුතු වෙනුවෙන් එම නිවෙසේදී වැය වූ යම් මුදලක් වීද එය තමාගේ පුද්ගලික ගිණුමට බැර කළ යුතු බවට තරයේම කියා සිටියේය. අගමැති වශයෙන් එතුමා ස්වකීය සෞඛ්‍ය හේතුන් මත ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී, තමන් වෙනුවෙන් හා එතුමා සමඟ එහි ගිය වෛiවරුන්ගේ ගාස්තු ඇතුළුව වැය වූ සියලුම මුදල් තමාගේම පුද්ගලික මුදලින් ගෙවන ලදී. වර්තමානයේදී නම් මෙවැන්නක් සිදුවීම යනු සිතා ගැනීමට පවා අපහසු කරුණකි. එතුමාගේ මෙවන් වූ ක්‍රියාකලාපයන් නිසා, සාමාන්‍යයෙන් අගමැති අරමුදලින් සපයන ලද මෙවැනි වියදම් වෙන් කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණදුන් එවක අග්‍රාමාත්‍ය ලේකම් ධුරය හෙබවූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා, ‘ඩඩ්ලි සේනානායක-ජනහද දිනූ නායකයා’ යන ග්‍රන්ථයට ප්‍රස්ථාවනාවක් සපයමින්, ගිල්බට් හොලන් විසින් රචිත කවි පන්තියකින් ඩඩ්ලි සේනානායක මහතාගේ ජීවිත රටාවට සම කළ හැකි පද පේළියක් මෙලෙස හුවා දක්වන ලදී.

“මෙවන් යුගයක් අයදින්නේ,
ශක්තිසම්පන්න සිතැති, ශ්‍රේෂ්ඨමත් හදවතක් ඇති,
අවංක අධිෂ්ඨානය උදෙසා කැප වූ,
තනතුරකට ස්වකීය ආත්මය පාවා නොදෙන,
මුදලට වාසියට තනතුරු හඹා නොයන,
අධිෂ්ඨානයෙන් යුතු අනගි අදහස් ක්‍රියාවේ යොදවන,
තම ගෞරවය ආරක්ෂා කරනා,
බොරු කීමට නොහැකි මිනිසුන් ය”

ඩඩ්ලි සේනානායක ගුණානුස්මරණ සංගමය එදා ප්‍රකාශයට පත් කළ කෘතිය ඇසුරින් සකස් කෙරිණි.

ජනතාව වෙනුවෙන් හදවතින්ම කම්පා වූ නායකයා

1953දී ඔහු අගමැතිකම අතහැර දැමූයේ හර්තාලය හා අභ්‍යන්තර කලබල හේතුකොටගෙනය. අටවන එඩ්වඩ් රජතුමා සිංහාසනය අතහැර ගියාක් මෙන් එකල ඔහු අගමැති පදවිය අත්හළේ හෘදය කම්පාවෙනි. හාල් මිල වැඩි කිරීම නිසා (අදට වඩා බොහෝ අඩුවෙන්) කළ හර්තාලය හේතුකොට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලීමේ අවශ්‍යතාවය එළැඹී ඇතත් ඔහු එය ඇතිකරලීමට අග්‍රාණ්ඩුකාරතුමාට අවවාද දීමට මැළි වූයේය. එහෙත් එය කළ යුතුම විය. රජයට නීතිය පිළිබඳව උපදෙස් දීම නීතිපති සතු කාරිය විය. ඔහු සියලු ලියවිලි සූදානම් කර අගමැතිතුමාට දැන්වීය. ඔහු කාර්යාලයට අකමැත්තෙන් පැමිණියේය. නීතිපති පෑන ගෙන තීන්ත කූඩුවෙහි රුවා අගමැතිතුමා අතට දුන්නේය. ඔහු නෙතින් එන කඳුළෙන් යුතුව අත්සන් කළේය. හදිසි තත්ත්වය ප්‍රකාශ කරන ලදී. යුද හමුදාවට රට භාර විය. වෙඩි හඬ ඇසුණි. එකකු මළ පුවත ඇසූ අගමැතිතුමාගේ හදවත කම්පා විය. තවත් කිහිපදෙනකු මියගියේය.

එතුමා බැලීමට අප ගියෙමු. සියල්ල විස්තර කළේය. කඳුළු සලමින් අසාගෙන සිටියෙමු.

අරලියගහ මැඳුරේ කාර්යාලයට ගියවිට බිත්ති මා කරා එන්නාක් මෙන් මට දැනුණා. එම නිසා එයින් පැන යෑමට සිතුණා. ‘මා මගේ ජනයාගේ ලේ බිඳකුදු සෙලවීමට විරුද්ධයි’ යි කියද්දී අපට ඇති වූ හැඟීම විස්තර කිරීම අපහසුය.

ඔහු අගමැති පදවිය අත්හළේය.

මාතර – ජස්ටින් විජයවර්ධන

(1973 ඩඩ්ලි සේනානායක මහතා මියගිය පසු ‘දවස’ පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටා ගත්තකි.)

  • නාරද නිශ්ශංක
advertistmentadvertistment
advertistmentadvertistment