සහල් මගඩියේ තවත් රහස් එළියට මහ මෝල්ලු 120ට වී අරන් සහල් කිලෝව 300ට දෙන්න හදනවා

618

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

දින දහයක් ඇතුළත ලංකාවේ කෘත්‍රීමව නිර්මාණය කර ඇති සහල් පෝලිම් වැළැක්වීමට පියවර නොගතහොත් මහජනතාවත් සමග ජනාධිපති නිල නිවස හා පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන වැටලීමට තණකොළත් රැගෙන දහස් ගණනින් ජනතාව සමග පැමිණෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා පවසයි.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදිත් පෙරේරා මහතා මෙසේ ද කීය.

මේ වන විට ලංකාව පුරා විශාල සහල් හිඟයක් නිර්මාණය වෙලා. පාරිභෝගිකයෝ සහල් මිලදී ගන්න වෙළෙඳසල් ඉදිරිපිට පෝළිම්වල ඉන්නවා. මහකන්නයේ අස්වැන්න අඩුවීම පදනම් කර ගනිමින් යම් සහල් හිඟයක් වෙනවා නම්, යම් වී හිඟයක් වෙනවා නම් ඒක නිර්මාණය වෙන්නේ දෙසැම්බර් මාසේ හෝ ජනවාරි මාසේ. 2022 වසරේ දෙසැම්බර් හෝ ලබන වසරේ ජනවාරි. 2022 ජුනි මාසේ මැද වෙද්දි ලංකාවේ සහල් හිඟයක් හෝ වී හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ. මෙතැන තියෙන්නේ පැහැදිලිවම මාෆියාවක්.

පහුගිය මහ කන්නය කියන්නේ ගොවියෝ අනේක දුක් විඳිමින් පොහොර නැතුව කාබනික පොහොරවලින් ප්‍රතිඵල නැතුව දුක් විඳපු කන්නයක්. ඒ වගා කරපු වී වලට ගොවියට උපරිම ලැබුණේ රුපියල් 120යි. ඒ රුපියල් 120 ට මිලදී ගත්ත වී වලින් සහල් නිෂ්පාදනය කරනවා නම් රුපියල් 220 කියන මිලට පැහැදිලිව සාධාරණ ලාභයක් තියාගෙන සහල් වී කරන්න පුළුවන්. එහෙම තියෙද්දී මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු කණ්ඩායමක් අද කෘතීම ලෙස වී කිලෝ එක රුපියල් 150 ට ඉහළ දාලා අර රුපියල් 120 ට වඩා අඩු මිලකට ගත්ත වී ටික සහල් කරලා පාරිභෝගිකයා අතට පත් කරන්න හදනවා රුපියල් 300 ට. අපි ආණ්ඩුවට කියන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියෝ වී මිල 150 පදනම් කරගෙන නම් සහල් මිල තීරණය කරන්නේ 120ක් දක්වා මිලට ගොවියන්ගෙන් වී ගත්ත ඒවට ගොවියට 150ක් වෙන්න අනිත් රුපියල් 30 ඔය මෝල් හිමියන්ගෙන් අය කරලා දෙන්න. මොකද ඔය මෝල්වල ඇඹරෙන්නේ රුපියල් 150 ට ගත්ත වී නෙමෙයි. කෝ මහ ලොකු කොන්ද ඔය හිටපු හමුදා නිලධාරියාගේ? ජනාධිපතිවරයාගේ බුද්ධි අංශ කෝ අල්ල ගත්තාද මේ ජාවාරම්? ඒක හින්දා බොරු කරන්න එපා. දවස් 10ක් කල් දෙනවා ඒ ඇතුළත මේ හාල් අර්බුදය නිමා කරන්න ඕන. එහෙම නැත්තන් ජනාධිපති ලේකම් කාර්යාලයට, වෙළෙඳ අමාත්‍යාංශයට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, පාරිභෝගික කටයුතු අධිකාරියට තණ කොළ අරගෙන අපි එනවා. හොඳට ඒක මතක තියා ගන්න.” යැයි ද පැවසීය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment