මැණික්හින්නේ බීමත් ඇටෙන්ඩන්ගේ ගෝරනාඩුවෙන් – රෝගියාගේ ඥාතීහු වාට්ටුවටම නෙළති

340

වෛද්‍යවරයා ඇතුළු දහයකට තුවාල
දෙපාර්ශවයේ තුවාලකරුවන් රෝහල් දෙකක

ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකුගේ පාර්ශවයට මැණික්හින්න රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සිදුකළ බැණ වැදීමක් මුල්කර ගනිමින් රෝගියාගේ පාර්ශ්වයත් රෝහල් කාර්ය මණ්ඩලයත් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය හා මැණික්හින්න රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු මැණික්හින්න රෝහලටද රෝගියා සමඟ පැමිණි ඔහුගේ ඥාතීන් බව කියන 06 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටද ඇතුළත් කර තිබෙන බව මැණික්හින්න පොලිසිය පවසයි.

මැණික්හින්නේ බීමත් ඇටෙන්ඩන්ගේ ගෝරනාඩුවෙන් - රෝගියාගේ ඥාතීහු වාට්ටුවටම නෙළති

ජලය යැයි කියා පෙට්‍රල්වලින් මුහුණ සේදීමෙන් ඇස්වල ඇති වූ අධික දැවිල්ල හේතුවෙන් ප්‍රතිකාර සඳහා මැණික්හින්න ප්‍රාදේශීය රෝහලට රෝගියෙකු රැගෙන ගිය පිරිසකට බීමතින් සිටි බව කියන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බැන වැදීම ගැටුමට හේතුව වී ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රතිකාර සඳහා පෙරේදා (28) පස්වරු 6.40 ට පමණ රෝගියා රැගෙන රෝහලට පැමිණි පිරිස දිගන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගි වෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලයද රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් පවත්වා තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ප්‍රතිකාර ලබාදීම සඳහා රෝගියා රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එකම ටී ෂර්ටයකින් සැරසී සිටි බවත් ඔවුන් බීමතින් සිටින බවක් පෙනී ගිය හෙයින් ඒ පිළිබඳ විමසීමේදී රෝහලේ පුටු, යකඩ බට හා ගල් මුගුරුවලින් තමන්ට පහරදුන් බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ ඥාතීහු පවසති. ඇස්වලට පෙට්ට්‍රල් වැටීම නිසා අධික වේදනාවෙන් පසු වූ තරුණයාටද එහි දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් පහර දුන් බවද ඔවුහු පැවසූහ.

සිද්ධිය වූ දින රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් පැවැත්වෙමින් තිබූ බවත් ඉරිදා නිවාඩු දින වුවද තමන් රෝහලේ සේවයට වාර්තා කර සිටි බවත් මැණික්හින්න රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඩබ්.සී.කේ. වීරපාන මහතා පවසුවේය.

ගැටුම ඇතිවන අවස්ථාවේ රෝහලේ වෛද්‍යවරයාද බීමතින් සිටි බවටද චෝදනා එල්ල වී තිබේ.

ගැටුමෙන් රෝහලේ පරිශ්‍රයේ නවතා තිබූ වාහන පහකට අලාභහානි සිදුව ඇත. එම වාහන අතර රෝගියා රැගෙන ආ ත්‍රීරෝද රථයද රෝහල ආසන්නයේ නවතා තිබූ පෞද්ගලික මෝටර් රථයක්ද තිබෙන බව පොලිසිය පවසයි.

දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම උත්සන්න වීමත් සමඟ පුටු හා යකඩ පොලු‍වලින් පහරදීම් සිදුවද්දී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිස් ද රෝහල් පරිශ්‍රයෙන් ඉවතට දිවගොස් තිබෙන බව දැන ගන්නට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි. පහරදීමට සම්බන්ධ වූ දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් එහි ගොස් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පරීක්ෂණ මගින් රෝහල් කාර්ය මණ්ඩලය සාමාජිකයින් වගකීම පැහැර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා කීය. මෙම ගැටුමෙන් රෝහලේ රෝද පුටු හා දොර ජනෙල් කිහිපයකට අලාභහානි සිදුව ඇත.

සමන්තී වීරසේකර හා චානක සම්පත් – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment