කලින්ම IMF නොයෑම කාගෙහරි කුමන්ත්‍රණයක් – පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා

174

මේ ආණ්ඩුවට ප්ලෑන් එකක් නෑ

මුලින්ම IMF යන්න කිව්වේ මම

IMF දෙවන වාරිකය ලැබෙයි

තවමත් ප්‍රශ්න කෙරෙන, පාර්ලිමේන්තු කාරක සභාවලදී පවා විවිධ අදහස් ප්‍රකාශ කෙරෙන 2022 අප්‍රේල් 12 වැනිදා රජය විසින් විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය සහ කාලීන ආර්ථික කරුණු කාරණා රැසක් ගැන අපි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඇසූ ප්‍රශ්නවලට ඒ මහතා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය – ගිය අවුරුද්දේ (2022) අප්‍රේල් 12 වැනිදා රජය විසින් අපේ ණය පියවීම තාවකාලිකව අත්හිටෙව්වා. ඒක ගොඩක් අය කිව්වා රට බංකොලොත් වීමක් කියලා. ආර්ථිකය ඝාතනය වුණා ආදී වශයෙන් නොයෙකුත් අදහස් ප්‍රකාශ වුණා. එම ණය පියවීම අත්හිටුවීමේ තීරණය ගැන ඔබේ අදහස කුමක්ද? එය නිවැරදි තීරණයක්ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම දැන් ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිසා ඔය නඩුවේ සාක්ෂි බොහෝ දෙනා ඉදිරිපත් කරලා තියෙනවනෙ. එතකොට මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ගේ සාක්ෂි දැන් අපට තිබෙනවා බලන්න. ඒ විස්තරවලට අනුව ඉතාමත්ම පැහැදිලිවම කාලයක් තිස්සේ මහ බැංකු අධිපතිවරයාගේ පටන් කබ්රාල්ට කලින් එනම් ඩබ්. ඩී. ලක්ෂ්මන් අධිපතිවරයාගේ පටන් ඒ ගොල්ලො මේ ප්‍රශ්නය සංකීර්ණ වෙන බව දැනගෙන හිටියා. හැමෝම මෙය දැනගෙන හිටියා. දැනගෙන හිටිය විතරක් නෙවෙයි ඒ ගොල්ලෝ කළ යුත්තේ කුමක්ද? කියන එක සඳහන් කරලා තිබුණා නිලධාරීන්. උදාහරණයක් ලෙස 2021 ජුනි මාසේ ලක්ෂ්මන් අධිපතිවරයා ලියුමක් ලියනවා. ලියුම් කිහිපයක්ම ලියනවා. ඇමැතිවරයාට ලියනවා. එක අවස්ථාවක දී කරකියා ගන්න දෙයක් නැතිව ජනාධිපතිවරයාට ලියනවා. කරකියා ගන්න දෙයක් නැතිව අගමැතිවරයාටත් ලියනවා. ඒවායේ කියනවා ඔය කියන සල්ලි අපට නෑ කියලා. අපි මහජනතාවට මෙච්චර සංචිත තියෙනවා කිව්වට ඇත්ත සංචිත ඊට අඩුයි කියලා.

ප්‍රශ්නය – භාවිත කළ හැකි සංචිත?

පිළිතුර – ඔව්. භාවිත කළ හැකි සංචිත ගොඩක් අඩුයි. මේ ප්‍රශ්නය එන්න එන්න බැරෑරුම් වෙනවා කියලා. එක තැනකදී අගමැතිවරයාගේ ලේකම්ට ලියනවා. ඔය කිව්වට චීන ණය අපට තියෙනවා කියලා ඇති චීන ණයක් නෑ. ඒවා භාවිත කරන්න බෑ. පාලිත කොහොනට කරුණාකර කතා කරලා කියන්න පුළුවන්ද චීනෙට කතා කරලා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හරවලා දෙන්න කියලා. ඒ ලියන්නෙ 2021 ජූලි මාසෙ මට මතක විදිහට. හැබැයි 2022 මාර්තු මාසෙ වනවිටත් ඒක හදාගන්න බෑ. මොකද ඒ අයගෙ කොන්දේසි සමග කිසිම විදියකට ඔය තිබුණ කියන චීන ණය භාවිත කරන්න හැකියාවක් නෑ. ඇත්තටම තියන චීන ණය භාවිත කරන්න බැරි නම් කොහොමද අලුත් ණය ගන්නෙ. එතකොට කිසිසේත්ම අලුතින් චීන ණය එනවා කියන එක යථාර්ථවාදී නැහැ. මොකද අපේ තියන ටික පාවිච්චි කරන්නවත් ඒ ගොල්ලො ඉඩ දුන්නේ නැහැ.

තව එක හොඳ උදාහරණයක් තමයි එක වෙලාවකදී සිරිවර්ධනලා මණ්ඩල පත්‍රිකාවක් දානවා. ඒකෙ තියෙනවා. මම හිතන්නෙ බංකොලොත් භාවය ප්‍රසිද්ධියේ කියන්න සති හතරකට විතර කලින් ඒක දැම්මේ. 2022 මාර්තු මාසෙ දී. ඒ මණ්ඩල පත්‍රිකාවේ කියනවා අපි අයිඑම්එෆ් එකට යන්න ඕන. යන්නම ඕන විතරක් නෙවෙයි අපි යනවා කියන එක වහාම වෙළෙඳ පොළට, ජාත්‍යන්තරවත්, දේශීයවත් දන්වන්න ඕන. එතකොට ඒ කට්ටියට අපි ගැන විශ්වාසයක් ඇති වෙනවා. එතකොට රුපියලට ඇන්කර් එකක් තියෙනවා කියලා. හැබැයි ඒක පැත්තකට දානවා. එතකොට බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න සති 4කට කලින් හොඳටම දන්නවා ණය ගෙවා ගන්න හැකියාවක් නෑ කියලා. ඒ නිසා අයිඑම්ඒෆ් එකට යන්න ඕන කිව්වත් ඒක කුරුටු ගානවා. එතකොට මම මේ උදාහරණ කිහිපයක් විතරයි කිව්වෙ. තව ඕන තරම් තියෙනවා. මම අහගෙන කියනවා (සිනහ සෙමින්) කබ්රාල් අධිපතිට කවුරුත් කිව්වෙ නෑලු ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි සුප්‍රීම් උසාවියේ නඩුවට ඉදිරිපත් කරලා තියන සාක්ෂිවල සියලුම දේ තියනවා ඒ කට්ටිය මේක පෙන්වලා දුන්න කියලා. උදාහරණයක් ලෙස සංජීව ජයවර්ධන මම හිතන්නේ අයිඑම්එෆ් ප්‍රධානියාට ලියන ලියුමක ඩ්‍රාෆ්ට් එකක් දෙනවා. ඒකෙ තියෙනවා ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එකකට (ණය වැඩසටහනකට) යන්න අවශ්‍යයි කියලා. ඒ ගොල්ල ඉදිරිපත් කරලා තියන සාක්ෂිවලින් මම මේ කියන්නේ. හැබැයි ඒක වෙනස් කරනවා. වෙනස් කරලා ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් කියන එක අයින් කරලා නිකං ඇඟට දැනෙන්නෙ නැති, නිකං දියාරු වෙච්ච වචන සෙට් එකක් එක්ක යවනවා. එතකොට අයිඑම්එෆ් එක ඒ ලියුම පිළිගන්න සූදානම් නැති තත්ත්වයකට වැටෙනවා. නිවාඩ් කබ්රාල් අයින් වුණායින් පසුව තමයි සංජීව ජයවර්ධනගේ ඩ්‍රාෆ්ට් එක ගෝඨාභය ජනාධිපතිවරයා අත්සන් කරලා යවන්නේ ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එකකට (ණය වැඩසටහනකට) යන්න ඕන කියලා.

ප්‍රශ්නය – වත්මන් අධිපතිතුමා වරක් ප්‍රකාශ කරා ගෝඨාභය ජනාධිපතිතුමා අයිඑම්එෆ් සහාය ඉල්ලුවේ 2022 මාර්තුවල දී කියලා?

පිළිතුර – මේකේ දිනය මට මතක නෑ. (ලිපි ගොනුවක් පරීක්ෂා කරයි.) 2022 මාර්තු 07 බෝර්ඩ් පේපර් එක තමයි කපපු එක. මේ තියෙන්නේ. ඒක කැපුවට පස්සේ. 2022 මාර්තු 17 තමයි අර දියාරු කරපු ලියුම ලියන්නේ. ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් කියනවා වෙනුවට ඒක කපලා ඒ ඩ්‍රාෆ්ට් එක යවනවනෙ ජනාධිපතිතුමාට. එතකොට ඒකෙ ඉල්ලන්නෙ නෑ ෆන්ඩ් ප්‍රෝගෑම් එකක්. ඒ ලියුම යන්නෙ පසු දිනක වෙන්න ඇති. එහි ඩ්‍රාෆ්ට් එක තියෙන්නෙ අප්‍රේල් 17.

ප්‍රශ්නය – ඒ ලියුමෙ ණය වැඩසටහනක් ඉල්ලලා නෑ?

පිළිතුර – නෑ. ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලලා තමයි ඩ්‍රාෆ්ට් එක ගැහුවේ. අපට ආරංචි විදියට උසාවි සාක්ෂිවලට අනුව ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් කියන එක කපනවා. කපලා දියාරු කරනවා. ඊට පසුව ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් ඕන කියලා ගෝඨාභය ජනාධිපතිවරයා අත්සන් කරන්නේ 2022 අප්‍රේල් 07 වැනිදා. ඒකෙ තමයි ණය වැඩසටහනක් ඉල්ලන්නේ. එතකොට 2022 මාර්තු 17 ඔර්ජිනල් මේ ලියුම තමයි ඩ්‍රාෆ්ට් කරලා තිබුණෙ. හැබැයි ඒක යැව්වෙ නෑ. ඒක යවන්නෙ 2022 අප්‍රේල් 07.

ණය පියවීම අත්හිටුවීම ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා 2022 අප්‍රේල් 11 සඳුදා දවසක්. මට හොඳට මතකයි. මොකද එදා මම ගියා රූපවාහිනී වැඩසටහනකට. සබ්‍රි ඇමැතිවරවරයා මට කතා කරා සවස 6.00 ට විතර.

ප්‍රශ්නය – සබ්‍රි මහතා එතකොට මුදල් ඇමැති?

පිළිතුර – එයා මුදල් ඇමැති. එයා කතා කරලා කිව්ව මාර වැඩේ අපට සල්ලි වගයක් ගෙවන්න තියනව. දවස් කිහිපයකින්. ඩොලර් මිලියන 70ක් ද කොහෙද පොළියක්.

ගෙවන්න සල්ලි නෑ කියලා. මම කිව්ව වෙන්න බෑනෙ සල්ලි නැති වෙන්නෙ කොහොමද ඩොලර් මිලියන 70ක් කියන්නෙ පොඩි ගාණක්නෙ. ඒක තමයි කියන්නෙ ඩොලර් මිලියන 70ක්වත් නෑ කිව්වා.

ප්‍රශ්නය – 2022 අප්‍රේල් 12 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 30ක් තිබුණා?

පිළිතුර – ඔව්. ඒ වගේ ගාණක්. මට එයා තියෙන ගාණ හරියටම කිව්වෙ නෑ. ඊට පසුව මම කිව්වා ඔයා බලන්න අතමාරුවක් කොහෙන් හරි ගන්න පුළුවන්ද කියලා. අපිත් උත්සාහ කරන්නම් ඉන්දියාවේ පුද්ගලික බැංකුවකට හරි කියලා. ඩොලර් මිලියන 70ක් අතමාරුවක් ගන්න. ඊට පසුව එයා මට කතා කරා එදා රාත්‍රී 9.00 ට විතර. මොකද මට මතකයි මම කෑම මෙසේ වාඩි වෙලා රෑට කෑම කන්න ලෑස්ති වුණා. ටීවී ප්‍රෝග්‍රෑම් එකකට යන්න. එතකොට එයත් කිව්ව ටීවී ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා. එයා කතා කරලා කිව්වා නෑ හර්ෂ 70ක් නෙවෙයි 190 ක් ද කොහෙද ගෙවන්න තියනවා කියලා.

ප්‍රශ්නය – ඩොලර් මිලියන 187 ක් නේද?

පිළිතුර – ඔව්. මිලියන 187 ක් ගෙවන්න තියනවා. මේ චීන ණය පොලියක් ගෙවන්නත් තියනවා. කිසිම විදිහකට ගෙවන්න සල්ලි නෑ කිව්වා. මමත් උඩ ගියා. මම කිව්වා නිවාඩ් කබ්රාල් කිව්වෙ සල්ලි තියනවා කියලා. අපි අහන අහන හැම පාරටම කිව්වෙ සල්ලි තියෙනවා කියලනේ. එතකොට කිව්ව කවුරු මොනව කිව්වත් සල්ලි නෑ කියලා.

ප්‍රශ්නය – පාවිච්චි කරන්න බැරි චීන මුදල් හුවමාරු පහසුකමක් තිබුණා?

පිළිතුර – පාවිච්චි කරන්න බැරි එකකින් වැඩක් නෑනෙ. පාවිච්චි කරන්න පුළුවන් සල්ලි අපට නෑ කිව්වා. මම දැක්ක කලින් ලියුමක ලක්ෂ්මන් අධිපතිවරයා කියනවා අපි ප්‍රසිද්ධියේ කිව්වට බිලියන 2 යි ගණනක සංචිත තියෙනවා කියලා. භාවිත කළ හැකි සංචිත තියෙන්නේ ඍණ ගාණක් කියලා. ඇත්ත වශයෙන්ම ශුද්ධ සංචිත තියෙන්නේ ඍණ ගාණක් කියලා.

මම හිතන්නේ සබ්‍රි ජනාධිපතිට කතා කරා. අර ටීවී ප්‍රෝග්‍රෑම් එක අවසන් වනවිට රෑ 12 වත් වෙන්න ඇති. කතා කරලා එදා රෑ තමයි ඔය තීරණය ගත්තේ. 2022 අප්‍රේල් 11 වැනිදා රෑ වෙන්න ඕන මම හිතන විදියට. අප්‍රේල් 12 වැනිදා තමයි ප්‍රකාශ කළේ. එතකොට කරකියා ගන්න දෙයක් තිබුණෙ නෑ. අයිඑම්ෆ් එකේ නිලධාරියෙක් එක්ක අපි කතා කරනකොට එයා අපිට කියපු දෙයක් තමයි අවුරුදු 30 ගාණක් එයා අයිඑම්එෆ් එකේ වැඩ කරලා තියෙනවා කිව්වා. කිසිම දවසක මෙහෙම වගකීම් රහිත රටක් දැකලා තිබුණෙ නෑ කිව්වා. ඒ කියන්නෙ අන්තිම කට්ටට, බින්දුවට යනකං හැමෝටම බොරු කියපු රටක්. ඒක තමයි වුණේ. එතකොට ඒ වෙලාවේ දිගින් දිගටම මේ කට්ටියට කිව්වා අයිඑම්එෆ් එකට යන්න කියලා. අඩුම ගාණේ 2022 මාර්තු 17 වැනිදා ලියුමවත් හරියට යැව්වෙ නෑ. ණය වැඩසටහනක් ඒකෙන් ඉල්ලුවෙ නෑ. එතකොට 2022 අප්‍රේල් 07 තමයි මේක ඉල්ලුවේ. එතකොට පරක්කු වැඩියි.

මමනේ කිව්වෙ ඉස්සෙල්ලම අයිඑම්එෆ් එකට යන්න කියලා. මම කිව්වෙ 2020 පාර්ලිමේන්තුවට ආපු දවසෙ පළමු වෙනි කතාවේ දී

ප්‍රශ්නය – එය ඔබතුමා කිව්වා ඩබ්. ඒ. විජේවර්ධන මහතා කිව්වා සියලු වාණිජ මණ්ඩල කිව්වා. ඒත් කිව්වෙ අපට සියලු ණය ගෙවන්න පුළුවන් කියලා?

පිළිතුර – එහෙම කියාගෙන හිටියා.

ප්‍රශ්නය – ඒ අනුව 2022 අප්‍රේල් 12 ණය පියවීම හැර අපට ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුණෙ නැද්ද?

පිළිතුර – තිබුණෙ නෑ. එතැනදී අපි දිගටම කිව්වෙ එක පාරටම බංකොලොත් කියන්න නෙවෙයි. අපිට ගෙවා ගන්න බෑ කියලා දන්නවා නම් අපි ඔවුන්ගේ එකඟතාව ලබා ගන්න ඕන. එතකොට වගකීමක් ඇති රටවල් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟතාවක් කලින් ලබා ගන්නවා. එතකොට මේ වගේ හුටපටයක් එන්නෙ නෑ. මතක ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කාරණා 10 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒකෙ මුලින්ම තියෙන්නේ එම එකඟතාව ගන්න කියන එකයි. අපි දාපු ඩොකියුමන්ට් එක බලන්න. එකපාරට දඩෝං ගාල බෝලේ අතඇරිය වගේ කරන්නෙ නැතුව ප්‍රශ්නෙ දන්න නිසා ගිහිල්ලා එකඟතාව ලබාගන්න, සාකච්ඡා පටන් ගන්න. ඒ එකඟතාව ලබාගන්න සාකච්ඡා පටන් ගන්නවා තියා මේ ගොල්ලො එකඟතාවක් ඉල්ලුවේ නෑනෙ. ඒ ගොල්ලො කිව්වනේ ගෙවන්න පුළුවන් කියලා. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟතාව ලබාගෙන මේ ණය පියවීම අත්හිටුවීම ප්‍රකාශ කරා නම් මේක මෙච්චරම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාව ලබාගන්න කටයුතු කරේ නෑ.

ප්‍රශ්නය – නමුත් නව අධිපති නන්දලාල් මහතා පැමිණි පසු ඒ ක්‍රියාවලිය කරන්න බෑ දින කිහිපයකින් නොකියාම ණය පැහැර හැරීමක් සිදුවීමට නියමිතව පැවැති නිසා?

පිළිතුර – ඒක ඉතින් ආණ්ඩුවේ ඇතුළේ ප්‍රශ්නයක්නේ. මම කියන්නේ මට අදාළ නෑ කවුද හිටියෙ කියලා. මම කිව්වේ 2020දි. මේ මිනිසුන්ට ඕන තරම් කල් තිබුණා ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මෙතැනට යන්නෙ නැතුව බේරා ගන්න. හැබැයි කාගෙ හෝ කුමන්ත්‍රණයක් නිසා අයිඑම්එෆ් එකට ගියේ නෑ. යන්න ඕන කියපු හැම පාරම ඒවා කුරුටුගාල නැවැත්තුවා.

ප්‍රශ්නය – කෙසේ හෝ අප බොහෝ ප්‍රමාද වෙලා අයිඑම්එෆ් එකට ගිහින් අනුමත වූ ණය මුදලේ පළමු වාරිකය ලැබිලා, ඊට පසු අයිඑම්එෆ් නිලධාරීන් පළමු සමාලෝචනයට ආපසු දැන් අපි එම ණය මුදලේ දෙවන වාරිකය අපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් ඒකෙ ප්‍රමාදයක් තියෙනවා කියලා කියනවා. ඔබත් කියලා තිබුණා අයිඑම්එෆ් කොන්දේසි 16 කුත් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ කුමක්ද?

පිළිතුර – මම නම් හිතන්නේ දෙවන වාරිකය ලැබෙයි. ඒක නොලැබෙන තැනක නොවෙයි ඉන්නේ. මොකද මෙතැන තියන ගැටලුව තමයි රජයේ ආදායමේ යම්කිසි කඩා වැටීමක් තියෙනවා. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාදයක් තියෙනව. ඒවා තාක්ෂණික ප්‍රශ්න. ඒවා මම හිතන්නෙ යම් කිසි විදිහකට විසඳා ගන්න පුළුවන් වෙයි. හැබැයි පීටර් බෲවර් ගේ කණ්ඩායමට පිටින් ආපු ගවර්නස් කණ්ඩායම තමයි අලුත් නිර්දේශ 16 ක් දීලා තියෙන්නේ. ඒ නිර්දේශ වහාම ක්‍රියාත්මක වෙන්න ඕන නෑ. ඒවා පටන් ගන්නෙ එන අවුරුද්දේ පළමු කාර්තුවේ ඉඳලා. හැබැයි ඒවා කෙරෙන්නේ නැත්නම් අනිත් කිසි දෙයක් කරලා වැඩකුත් නෑ. එතකොට දූෂණයේ තියෙන හිඩැස නැති කරන්න නම් ඔය 16ට එකඟ වෙන්න ඕනා. ඒකෙ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා නිරාකරණය කරගන්න හැකියාවක් තියෙනවා. මේක නිකං තාක්ෂණිකව හිර වෙන්න ඕන නෑ. මේකෙ තියන මූලික හරය අරගෙන අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අන්න එදා තමයි ඔය දූෂණයයි, වංචාවයි, හොරකමයි මෙතැනින් නැති කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒක නැති නොකර අනිත් ටික විතරක් කරලා අපට රට ගොඩගන්න අමාරු වෙනවා.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන්නෙ අයිඑම්එෆ් ණය මුදලේ දෙවන වාරිකයට මේකේ බලපෑමක් නෑ. ඒවා ඊට වඩා දිගුකාලීනයි ?

පිළිතුර – ඔව්. ඔව්.

ප්‍රශ්නය නමුත් ඒ අයිඑම්එෆ් එක සඳහන් කර ඇති නිර්දේශ 6 බරපතළයි කියලා මම හිතන්නෙ ඔබතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කරලා තිබුණා නේද? ඒවා අපට ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන්ද?

පිළිතුර – හැමදේම කරන්න පුළුවන්. කරන්න බැරි දේවල් එකක්වත් එතැන නෑ. අවුරුදු ගාණක් තිස්සේ කළ යුතු දේවල් තමයි ඔතැන තියෙන්නේ. ඒ නිසා එකක්වත් කරන්න බැරි දෙයක් නෙවෙයි. තාක්ෂණික හේතූන් මත පැනලා යන්න ඕන නෑ. තාක්ෂණික කාරණා තියෙනවා නම් ඒවා විසඳගන්න හැකියාවක් තියෙනවා.

ප්‍රශ්නය – අයිඑම්එෆ් එක කියනවා එකඟ වූ ආදායම් ඉලක්කවලට වඩා අපි සියයට 15 ක් පිටිපස්සෙන් ඉන්නෙ කියලා. ඒ නිසා මහජනයා බියට පත් වෙලා ඉන්නවා තව බදු පැනවිලා තව තවත් බදු බර වැඩි වෙයි කියලා. ඒ වගේ අදහසක් මහජනතාවට ඇති වෙලා තියෙනවා?

පිළිතුර – මෙහෙමයි. මම පෙන්වලා දුන්නනෙ උපයනවිට ගෙවීම් බද්ද මෙච්චර සියයට 36 ක් ගහන්න ඕන නැහැ කියලා පාර්ලිමේන්තුවේදී. එතකොට උපයන විට ගෙවීම් බද්ද බලාපොරොත්තු වුණාටත් වඩා සියයට 50 ක් ලැබෙයි. එතකොට ඒක ගළපගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ උපයන ගෙවීම් බද්ද වැඩි කරන්න ඕන නෑ අඩු කරන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ එතැන නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවන්නෙ නැති අය ගැනයි. එතකොට බදු කළමනාකරණය ගැන ගැටලුවක් තියෙන්නේ. එහෙම නැත්නම් බදු පරිපාලනයේ ප්‍රශ්නයක් තියෙන්නේ.

දැන් බලන්න අපි මේ දවස්වල කතා කරන හොර අරක්කු සීල් ගහන එක. දෙතුන් දෙනෙක් හොර සීල් ගහලා විජේදාස රාජපක්ෂට අනුව රුපියල් බිලියන 80 ක් හොරකම් කරනවා නම් ඒක සාමාන්‍ය වැඩ කරන මනුස්සයගෙන් ගන්න බෑනේ. අයිඑම්එෆ් රිපෝට් එකේ තියෙනවා එයාලා පිළිගන්නවා කියලා නිලධාරින් උඩ ඉඳන් යට වෙනකම්ම දූෂිතයි කියලා. එතකොට ඒක කොච්චර ලැජ්ජාවක්ද? එහෙනම් බදු පරිපාලනය ශක්තිමත් කර ගන්න ඕන.

ගෙවන්නෙ නැති කට්ටියගෙන් ලබාගන්න ඕන. දැන් උදාහරණයක් ලෙස උපයන විට ගෙවීමේ බද්ද ගෙවනවිට ගිණුමින් කපලම තමයි බැංකුවට යවන්නේ. එතැන ප්‍රශ්නයක් නෑ. එතකොට උපයන ගෙවීමේ බද්දෙන් බිලියන 100 ක් බලාපොරොත්තු වුණාට මම ගණන් හදපු විදියට බිලියන 125ත් 170ත් අතර ප්‍රමාණයක් එන්න පුළුවන්. බිලියන 130 ක් 140ක් වත් අඩුම ගාණේ ලැබෙයි. මොකද ඒක හොරකමක් නැතුව පඩියෙන් කැපිලා එනවා.

ඊට පස්සෙ ස්වේච්ඡාවෙන් ගෙවන්න තියන පුද්ගලික ආදායම් බද්ද ඒකෙන් බලාපොරොත්තු වෙනවා බිලියන 115ක්. මම බලාපොරොත්තු වෙන්නෙ ඒකෙන් මේ අවුරුද්ද අවසන් වනවිට බිලියන 40 කට 45 කට වඩා එන්නෙ නෑ. ඒ මොකද ස්වේච්ඡාවෙන් ගෙවන්නෙ නැති නිසා. එහෙනම් අපි කොහොමද ඒ කට්ටියට කියන්නෙ මේක ගෙවන්න කියලා. මොකද සියයට 36 ට වඩා අඩු කරගන්න පුළුවන් නම්, සමහර විට මේකෙ ගෙවන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඔය ටියුෂන් මාස්ටර්ලා, සමහර නීතිඥවරු, සමහර වෛද්‍යවරු සමහර ඒක පුද්ගල ව්‍යාපාර තියන කට්ටිය ඒවා ගෙවන්න ඕන.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ සාමාන්‍ය මහජනයා මත බර පටවන්නෙ නැතිව බදු ගෙවිය යුතු ගෙවීමට හැකියාව තියෙන එහෙත් බදු නොගෙවන අයගෙන් බදු අයකර ගන්න කියලා?

පිළිතුර – ඔව් ඒක තමයි. අහන්නකො දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කවුද බදු ගෙවන්නෙම නැති කට්ටිය කියලා ටියුෂන් ටීචර්ලා. සමහර ටියුෂන් ටීචර්ලගෙ ආදායම ඇතැම් නීතිඥවරු, වෛද්‍යවරුන්ට වඩා කිහිප ගුණයක් වැඩියි. ඒ කට්ටිය දරුවන්ට කියලා වැඩක් නෑ. ආර්ථික විද්‍යාවෙ අරක කරන්න ඕන මේක කරන්න ඕන කියලා. ඒ ගොල්ල ගෙවන්නත් ඕන. එතකොට කළු කඩ කාරයො, හොර අරක්කු සීල් ගහන කට්ටිය, ටියුෂන් දෙන කට්ටිය. ඒ ගොල්ලො ඔක්කොමත් බදු ගෙවනවා නම් අසරණ මනුස්සයින්ගෙන් මීට වඩා බදු අයකර ගන්න අවශ්‍යතාවක් එන්නෙ නෑ.

ප්‍රශ්නය – එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු අයකර ගන්න විශාල අගයක් තියනවානේ?

පිළිතුර – නෑ. ඒ ගාන වැරදියිනේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 908 ක් තියෙනවා කියනවා හිඟ බදු. ඒත් ඒ ඔක්කොම හිඟ බදු නෙවෙයි. මෙතැන වෙලා තියෙන්නේ මෙන්න මේකයි. දැන් මාස 36 ක් තියෙනවා එසෙස්මන්ට් යවන්න බදු ගෙවන්න කියලා. ඒ ගොල්ල පිළිගන්නෙ නෑ කියලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරපු එක. දැන් අපි හොයලා බලනකොට අපි දැක්ක මේ මාස 36 ඉවර වෙන්න මාසෙකට දෙහෙකට කලින් තමයි මේ එසෙස්මන්ට් යවන්නෙ. එතකොට ඒක අර මිනිසුන්ට පරීක්ෂා කරන්න වෙලාවක් නෑනෙ. එතකොට එසෙස්මන්ට් එක හම්බ වෙච්ච කට්ටිය කියනවා නෑ නෑ අපි මේක පිළිගන්නෙ නෑ කියලා. එවිට කෙලින්ම ඒක හිඟ බදු හැටියට වැටෙනවා. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ ඒවා රිසොල්ව් වෙනවා. එහෙම වුණාම ඔය කියන හිඟ බදු ප්‍රමාණය එතැන නෑ. මම හිතන්නේ ඇත්ත වශයෙන් හිඟ බදු හැටියට තියෙන්නෙ රු. බිලියන 170 ක් වගේ ගාණක් රු. බිලියන 900 ක් නෙවෙයි. ඔය කොමිටිවල සාකච්ඡා වුණ ආකාරයට ඇත්තටම හිඟ බදු වශයෙන් තියෙන්නේ නවසිය ගාණක් නෙවෙයි බිලියන 170 ක් වගේ ගාණක්.

ප්‍රශ්නය – දැන් අයිඑම්එෆ් වැඩසටහන අපි එම කොන්දේසි ඉටු කරමින් වාරික ලබා ගනිමින් ඉදිරියට යනවා. වසර හතරක් අපි එහෙම යන්න ඕන. ඊට අමතරව මේ වැටුණු වළෙන් ගොඩ ඒම සඳහා රජයට වෙනම වැඩපිළිවෙළක් තියෙන්න ඕන. රජයට ආර්ථිකයේ සෑම අංශයක් සඳහාම වෙනම සැලසුම් හා උපායමාර්ග තියෙන්න ඕන. එහෙනම් අයිඑම්එෆ් වැඩසටහන පමණක් එහි කොන්දේසි ඉටු කරමින් ඉදිරියට ගියාට මේ වැටුණු වළෙන් ගොඩ එන්න රජයට වෙනම සැලසුමක් නැති වුණොත් අපට මේ වළෙන් ගොඩ එන්න පුළුවන්ද?

පිළිතුර – බෑ. රජයට ප්ලෑන් එකක් නෑ. එතකොට අයිඑම්එෆ් එක ගිලෙන්න ඉන්න මිනිහ බේරගන්න එක විතරයි කරන්නේ. අයිඑම්එෆ් එකට සංවර්ධන සැලසුමක් දෙන්න බෑ. ඒක අපි කළ යුතු දෙයක්. එතකොට අපේ වැඩපිළිවෙළ මොකක්ද කියන එක ගැන එතැන එකඟතාවක් නෑනේ. මොකද පොහොට්ටුව එක පැත්තක් එක පැත්තකට අදිනවා. ඊට පස්සෙ රනිල් වික්‍රමසිංහගේ අයිඩියෝලොජි එක තව පැත්තකට ඇදෙනවා. කට්ටියක් කියනවා තාප්ප ගහන්න ඕන කියලා. තව කට්ටියක් කියනවා තාප්ප කඩල පාලම් බඳින්න ඕන කියලා. එතකොට මෙතැන එකඟතාවක් නෑ. මේක නිකං අච්චාරුවක්. මේ අය කෙටිකාලීනව දේශපාලන සුරක්ෂිතාවය පිළිබඳව හිතන නිසා මේ ගොල්ලො ඔය හැම එකකටම මේ වෙලාවෙ ඔව් කියනවා. ඒ වුණාට ප්ලෑන් එකක් නෑ.

මේ රජය අච්චාරුවක්නේ. රනිල් වික්‍රමසිංහගෙ වැඩපිළිවෙළ මේ ගොල්ල ඇත්තටම පිළිගන්නවද? එහෙමත් නැත්නම් මේ ගොල්ලො දේශපාලනමය ආරක්ෂාව වෙනුවෙන් මෙයත් එක්ක ඉන්නවද? මේක එළ හරකයි, මී හරකයි වගේනේ. ඒ නිසා ප්ලෑන් එකක් නෑ.

ප්‍රශ්නය මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා රජයට ප්ලෑන් එකක් තියනවා කියලා ඔබ දකින්නෙ නෑ?

පිළිතුර – මම දකිනවා රනිල් වික්‍රමසිංහගේ තියනවා වැඩපිළිවෙළක්. ඒ ආර්ථික ප්ලෑන් එකත් එක්ක මගේ විරසකයක් නෑ. මොකද ඒ ප්ලෑන් එකේ තමයි මුල ඉඳන්ම අපි ඔක්කොම හිටියේ. ඒ කියන්නෙ රට ලෝකෙට එකතු කරලා. මේක ඩයිනමික් ප්ලේස් එකක් ලෙස පරිවර්තනය කිරීමට. ඒ කියන්නේ දැනුම සහ තාක්ෂණය මත පදනම් වූ අපනයන ක්ෂේත්‍රය හරහා දියුණු වෙන සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් හදන්න ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට. ඔය දැක්ම පොහොට්ටු කාරයින්ට තියනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. පොහොට්ටු කාරයෝ ඉන්නෙ වෙන තැනක. ඒ ගොල්ලන්ගේ මතවාදයයි, රනිල් වික්‍රමසිංහගේ මතවාදයයි දෙකක්. දැන් අපි රනිල් වික්‍රමසිංහගේ මතවදායත් එක්ක කාලයක් හිටියා. හැබැයි අපි රනිල් වික්‍රමසිංහගේ මතවාදයෙන් දැන් වෙනස් වෙන්නේ රනිල් වික්‍රමසිංහට ඇත්ත වශයෙන් මහ පොළොවේ මිනිහගේ දුක තේරෙන්නෙ නෑ. ඒක එයාගෙ තියන දුර්වලතාවක්. සාර්ව තත්ත්වය විතරක් බලලා හරි යන්නෙ නෑ. අපි පිළිගන්නවා මේ මේ දේවල් කරන්න ඕන. නමුත් ඊට අමතරව යම්කිසි සමාජ සාධාරණත්වයක්, යුක්තියක් තියෙන්න ඕන මහ පොළොවේ. එක උදාහරණයක් හැටියට ඊපීඑෆ් එකට බර දැරීම හරහා අපිට පෙනුනා. එයාට ඒක තේරෙන්නෙ නෑ. එයාට ගානක් නෑ.

ප්‍රශ්නය-ඒ යෝජනාව මහ බැංකුව හදලා දුන්න එකක් නේද?

පිළිතුර – මහ බැංකුව හදලා දුන්න එකක් වුණාට මුදල් ඇමැති හැටියට ජනාධිපතිවරයා වගකියන්න එපැයි. ඒ වගකීම ගන්න එපැයි ආණ්ඩුවෙන්. අවසානයේදී ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අනුමැතිය දෙන්නෙ ආණ්ඩුවෙන්නෙ. මගේ කොමිටියට ආවම ඒකනෙ මම කිව්වෙ මට මේකට පක්ෂව ඡන්දෙ දෙන්න බෑ කියලා. මොකද මේ බර පැටවීම අසාධාරණයිනේ. ඒකෙන් ඒත්තු යන්නේ ඒ පැත්ත පේන්නෙ නෑ රනිල් වික්‍රමසිංහට. හැබැයි සජිත් ප්‍රේමදාස එතැනදී අංශක 180 ක් වෙන තැනක ඉන්නේ. එයාට හොඳට මහ පොළොවේ යථාර්ථය තේරෙනවා. සමාජ සාධාරණය, ආර්ථික යුක්තිය කියන්නේ මොකක්ද කියලා එයාට හොඳට තේරෙනවා. අපේ තියෙන්නේ ටීම් එකක්. දැන් මම වගේ අය ඉන්නවා. එරාන්, කබීර් වගේ අය ඉන්නවා. සජිත් සහ අපේ සංකලනයක් මත තමයි අපේ මේ ගමන ඉස්සරහට යන්නේ.

ප්‍රශ්නය – දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඊ. පී. එෆ් එකට බර පැටවෙන්නෙ නැති විකල්ප යෝජනාවක් ඔබ ඉදිරිපත් කරා ද?

පිළිතුර – මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට කලින් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කිව්වේ හර්ෂ ද සිල්වා. මේ අය දිගින් දිගටම කිව්වෙ මොකක්ද? අධිපතිතුමා කිව්වෙ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නෑ කියලා. අපි කලින් බ්ලුප්‍රින්ට් එකක් පාර්ලිමේන්තුවට දැම්මා. ඒකෙ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර සිටිය යුතුයි. නමුත් කළ යුතුම නම් කළ යුත්තේ මේ ආකාරයටයි කියලා අපි කියනවා. ඒ කියන්නේ සියලුම පාර්ශ්වයන්ට දරාගත හැකි විදිහට ඒක බෙදිලා යන්න ඕන කියලා. එතකොට කවුද කියන්නේ බැංකුවලට මේක දරා ගන්න බැහැයි කියලා. කෝ දත්ත? කෝ සාක්ෂි? එතකොට බැංකුවල වත්කම් ගැන ඇසට්කොලිට් ඊවිව් එකක් කරානේ. ඒක අපට දත්ත ඉදිරිපත් කරලා නෑනේ. ඒකෙ රිපෝර්ට් එකක් නෑනේ. එහෙම නැතුව කොහොමද කියන්නේ? ඒ නිසා අපි ඒක පිළිගන්නෙ නෑ. මොකද බැංකුවලට ඕන තරම් අවස්ථාව තිබුණා. බැංකුවල ලාභ බලන්නකො. බිලියන ගණන්නෙ එන්නෙ. ඒ නිසා මේකෙ යම්කිසි කොටසක් දරාගන්න ඔවුන්ට හැකියාවක් තිබුණා. අනිත් හැමෝටම හයි නෙට්වර්ක් අයට, ප්‍රයිමරි ඩීලර්ස්ලට, මේ හැමෝටම යම්කිසි කොටසක් දරා ගැනීමේ ශක්තියක් තිබුණා. හැබැයි ඒවා ඔක්කොම අමතක කරලා ඊපීඑෆ් එකට විතරයි බර දැම්මෙ. ඒකයි අපි විරුද්ධ වුණේ.

ප්‍රශ්නය – මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට කොතරම් කාලයක් යයිද? තව වසරකින් පමණ ජනාධිපතිවරණයක් පැවැත්වීමටත් නියමිතයි. එහිදී ඇතැම්විට ආණ්ඩු වෙනසක් සිදු වෙලා ඔබතුමාලා බලයට පත්වුණොත් ආණ්ඩුව විදියට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මොකක්ද තියන සැලසුම? අයිඑම්එෆ් වැඩසටහනත් අවුරුදු හතරක් දක්වාත් යනවා?

පිළිතුර – මෙහෙමනේ දැන් ජනාධිපතිවරයා කියලා තියෙනවානේ. 2048 වනවිට අපි සංවර්ධිත රටක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි නිකන් ඒක ගමුකෝ. ඒ කියන්නේ දැන් ඉඳලා තව වසර 25 ක් තියෙනවනෙ 2048 වෙනකම්. ඒ අවුරුදු 25 දැන් ඉඳලා සියයට 6.5 කට රට සංවර්ධනය වෙන්න ඕන හැම අවුරුද්දෙම. දැන් මට කියන්න අපිට සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් ලබන අවුරුදු 25 තියා ගන්න පුළුවන්ද? ඊට වඩා පුළුවන්ද? එහෙම නැත්නම් ඒක කර ගන්න බැරි වෙයිද? ඒක අපේ රටේ මිනිසුන්ගේ අතේ තියන වැඩක්.

ඒ නිසා මම කියන්නේ වර්ෂ 2048 රට එතැනට එන්නත් හැම අවුරුද්දෙම සියයට 6.5 කින් ආර්ථිකය වර්ධනය වෙන්න ඕන. කවදද සියයට 6.5 කින් වර්ධනය වුණේ අපේ රට? එහෙම වුණේ නෑනෙ. එතකොට කවුරු හරි 2048 ගැන මේ කියන දේ ගැන කවුරුහරි හිනා වෙනවා නම් ඒ හිනා වෙන මිනිසුන්ට ඇත්ත වශයෙන්ම මොළය තියෙන්න ඕන.

සාකච්ඡා කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment