2024ත් අමාරුම අවුරුද්දක්

457
2024ත් අමාරුම අවුරුද්දක්

මේ වර්ෂය (2023) අවසානයට මෙන්ම නව වසරක (2024) ආරම්භයට ද අපි පැමිණ සිටිමු. මේ වර්ෂය ගතහොත් ගිය වසරේ බංකොළොත් වූ ආර්ථිකය මේ වර්ෂයේ දී කිසියම් දුරකට ස්ථාවරත්වයකට පත්කර ගැනීමට හැකි වූ වසරක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් මේ කියන්නේ මේ වන විට ආර්ථිකය හොඳ තත්ත්වයකට පැමිණ ඇති බව නම් නොවේ. ගිය වසරේ විදේශ විනිමය හිඟය උග්‍ර වී තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා පෝලිම් ඇති වී විදුලිය කැපී සාමාන්‍ය ජනජීවිතය පවා බොහෝ නොසන්සුන් තත්ත්වයට පත් වූ බව අපට අමතක නැත. එහෙත් අද වන විට එවැනි තත්ත්වයක් නැති අතර විදේශ විනිමය හිඟය ද කිසියම් දුරකට සමනය වෙමින් විදේශ විනිමය සංචිත තත්ත්වය වර්ධනය කර ගැනීමට අප සමත්ව ඇත. රජයේ ආදායම වර්ධන වී ඇත. එසේම ගිය වසරේ සියයට 70 ද ඉක්මවා ඉහළ ගිය උද්ධමනය මේ වන විට අඩු වී පාලනය වී ඇත. එහෙත් මෙහි අදහස බඩු මිල අඩු වී ඇති බව නොව භාණ්ඩ මිල ගණන් අලුතින් වැඩිවෙන වේගය අඩු වී ඇති බව පමණි. කෙසේ වෙතත් වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වීමත් භාණ්ඩ මිල තවත් වැඩි වීමත් සමග උද්ධමනය නැවත වැඩි වනු ඇත. මෙසේ ආර්ථිකයේ කිසියම් ස්ථාවර තත්ත්වයක් ඇතිව තිබුණත් ජනතාවගේ පැත්තෙන් නම් සිදුව ඇත්තේ බදු බර සහ ජීවත්වීමේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වීමයි. මේ පසුබිම තුළ ගෙවී ගිය වසරේ (2023) ආර්ථිකය සහ ලබන වසරේ (2024) ආර්ථිකය ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

වැඩිවෙන වැට් බද්ද

2024 ජනවාරි 01 වැනිදා එනම් හෙට දින සිට සිදු වන්නේ දැනට පවතින වැට් බදු අනුපාතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි වීමට අමතරව අලුතින් තවත් භාණ්ඩ රැසකට සියයට 18 ක වැට් බද්ද පැනවීමයි. මේ නිසා එම අලුත් භාණ්ඩවලට අලුතින්ම සියයට 18 කින් වැට් බද්ද එකතු වීමෙන් ඒවායේ මිල සියයට 18 කින් පමණ ඉහළ යන අතර දැනට වැට් බද්ද තිබෙන භාණ්ඩවලට මිල ගණන් තවත් සියයට 3 කින් පමණ වැඩි වීම සිදුවනු ඇත. මේ සමග භාණ්ඩ හා සේවාවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යන අතර මේ නිසා සිදුවනු ඇත්තේ දැනටමත් බදු බරින් සහ අධික භාණ්ඩ මිලෙන් මිරිකී සිටින ජනයා තවත් පීඩාවට පත් වීමයි. අප දැනටමත් මීට පෙර ලිපි මගින් සාකච්ඡා කර ඇති පරිදි මේ අතිවිශාල බඩු මිල ඉහළ යෑමට සාපේක්ෂව ජනයාගේ ආදායම් මට්ටම් වැඩි වී නැත. මේ නිසා දිනෙන් දිනම සිදුව ඇත්තේ ජනයාගේ ජීවත්වීමේ ප්‍රශ්නය උග්‍ර වීමයි. මේ තත්ත්වය හෙට දිනයේ (01) තවත් උග්‍ර වී අතිමහත් බහුතර ජනයා වැටෙනු ඇත්තේ කබලෙන් ලිපටය.

ඉන්ධන සහ ගෑස් මිල

සියයට 18 ක අලුතින් පනවන වැට් බද්ද ඉන්ධන සහ ගෑස් සඳහා ද අදාළ වේ. එහෙත් ඉන්ධන සහ ගෑස් සඳහා 2024 ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවාය. ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත්වනු ඇත. එසේම මේ අනුව ගෑස් සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ද ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත්වනු ඇත. මේ අනුව වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන් ඉවත් කරමින් සිදු කරන බදු ගැළපුම් නිසා ඉන්ධන සහ ගෑස් සඳහා සියයට 18 කින්ම බදු වැඩිවීමක් සිදු නොවන බව බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය සඳහන් කරයි. ගෑස් සහ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඉකුත් දෙසැම්බර් 28 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් සිදුකරමින් ඇය මේ බව කීවාය. වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කෙරෙන නිසා සියයට 18 ක අලුතින් පනවන වැට් බද්ද ඉන්ධන සහ ගෑස් සඳහා ද අදාළ වන්නේ ඊට වඩා අඩු ප්‍රතිශතයකිණි. මේවා අලෙවි කරන පරිපාලන මිල ගණන් තීරණය කරනු ලබන්නේ රජය විසිනි. මේ නිසා සිදු වනු ඇත්තේ මේ බදු ගැළපුම් අනුව වැඩිවෙන මිල ඉන්ධන සහ ගෑස් සඳහා දැනට පවතින මිලට එකතු කර නව මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කිරීමයි. ඒ අනුව එම නව පරිපාලන මිල ගණන් 2024 මුලදී රජය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. ඉන්ධන සහ ගෑස් වැනි දේවල මිල වැඩි වීම ප්‍රවාහන සහ ආහාර මිල ගණන් ඇතුළු අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ද වක්‍ර ලෙස වැඩිවීමට බලපානු ඇත.

බදු සංශෝධනයේ බලපෑම්

එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැළපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළාය. ඇතැම් අය කියන්නේ සියයට 18 ක නව වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යනු ඇති බවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඉහත සඳහන් කළ පරිදි තෙල් සහ ගෑස් සම්බන්ධයෙන් ද වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කෙරෙන නිසා සියයට 18 ක අලුතින් පනවන වැට් බද්දේ බලපෑම් සිදු වන්නේ ඊට වඩා අඩු මට්ටමකිනි.

වැට් බද්ද අදාළ නොවන භාණ්ඩ

අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පලතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මෙසේද පැවසුවා ය.

‘2002 අංක 14 දරන පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් සියයට 8 ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය සියයට 15 ක් දක්වා ඉහළ දැමුණා.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බදු අනුපාතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යෑමට අපහසුයි. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුණා. නමුත් 2020 ජනවාරි 01 වැනිදා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.

ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

නව වැට් බද්දට මුහුණ දීම

ජනවාරි 01 වැනිදා සිට නොව දැනටමත් බහුතර සාමාන්‍ය ජනයාට ජීවත් වීමට ඇත්තේ ඉතා අපහසු තත්ත්වයකි. නව බදු වෙනස නිසා මේ ජීවත්වීමේ අමාරුකම තවත් උග්‍ර තත්ත්වයට පත් වීම අනිවාර්ය දෙයකි. ජනයාට විවිධ ක්‍රියාමාර්ග හරහා මීට මුහුණදීමට සිදුවනු ඇත. ඇතැම් අයට තම කෑම බීම පවා සීමා කිරීමට සිදුවනු ඇත. වෙනදා ගත කළ ජීවන රටාව වෙනස් කරමින් අවම වියදමින් ජීවත් වීමට අවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වීමට ද බොහෝ දෙනාට සිදුවනු ඇත. එසේම ඊට අමතරව බඩු මිල ඉහළ යෑමට සාපේක්ෂව දැනට කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි නිසා සිදුවනු ඇත්තේ වෙනදාට වඩා මහන්සි වී යම් අතිරේක ආදායමක් සොයා ගැනීමට යොමු වීමටයි. එහෙත් පවතින ආර්ථික වාතාවරණය හමුවේ එය කළ හැකි වනු ඇත්තේ කීයෙන් කී දෙනකුට ද යන්න නම් ප්‍රශ්නයකි. කෙසේ වෙතත් මේ මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යෑමක් නොවන බවයි. එසේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැළපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි. උදාහරණයක් ලෙස ඉහත සඳහන් කළ පරිදි ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙන නමුත් එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි පියවර ඔවුන් පෙන්වා දෙයි. එහෙත් එවැනි බදු ගැළපුම් සිදුවනු ඇත්තේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණි.

ආදායම එක්රැස් කරගැනීම

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද මහතා කියන්නේ 2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළ නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණක් බවයි. 2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව ද ඔහු කියයි. මේ අනුව කෙතරම් වක්‍ර බදු බරක් අලුතින් සාමාන්‍ය ජනයා මත පැටවෙන්නේ ද යන්න පැහැදිලි වනු ඇත.

මේ අපේක්ෂාව කෙසේ වූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම ආදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙන බවත් මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙන බවත් එරන්ද මහතා කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මහතා ද මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

‘බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 3.4 ක් ලෙස වාර්තා වුණා. මහ බැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකථන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකථන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි. මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප සියයට 2-3 අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකථනය කර තිබෙනවා. නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැළපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා දැනට අප පුරෝකථනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා. සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ.’

දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.

තනි පුද්ගලයන් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයන් 204,467ක් බදු ලියාපදිංචි වී සිටි අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. PAYE බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.’

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ටින් අංකයක්

මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි. 2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (ටින් අංකය) ලබා ගත යුතු වේ. මෙය වරදවා වටහාගත නොගත යුතු අතර මෙම ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම යනු කාරණා දෙකකි. මේ අනුව සෑම දෙනකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා සේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක් (ටින් අංකයක්) ද පැවතිය යුතුයි. මේ අනුව ටින් අංකයක් තිබුණාත් බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන්ට ආදායම් බදු ගෙවීමට සිදුවේ. එවිට ඔවුන්ට ආදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වේ. මේ අනුව ටින් අංකයක් තිබූ පමණින් බදු ලිපි ගොනුවක් විවෘත වීම හෝ බදු ගෙවීමට සිදු නොවන බව අප වටහාගත යුතු වේ.

2024 වසරේ අභියෝගය

නව වසර සම්බන්ධයෙන් ජනයාගේ පැත්තෙන් කිව හැක්කේ ඔවුන් මුහුණ දී සිටින ජීවත්වීමේ ප්‍රශ්නය, අභියෝගය තවත් වැඩි වනු ඇති බවයි. ඒ සඳහා ගැළපීමේ අමාරු කාලය පසු කිරීමට ඔවුන්ට සිදුවනු ඇත. රට තවමත් තිබෙන්නේ බංකොළොත් තත්ත්වයක නිසා ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වීම ද සිදු වනු ඇත්තේ ක්‍රමයෙනි. මේ අනුව ක්‍රමයෙන් ආර්ථිකය ඍණ තත්ත්වයේ සිට ධන තත්ත්වයට පරිවර්තනය වීම ද සිදුවනු ඇත. අප පසු කළේ ද අභියෝගාත්මක කාලයකි. අප දැන් සූදානම් විය යුත්තේ ඊටත් වඩා අමාරු සහ අභියෝගාත්මක කාලයකට මුහුණ දීමට බව අවසාන වශයෙන් සටහන් කළ හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment