රූප ඡායා මැවූ කමල්ගේ ආනන්දනීය හඬ “ඔබයි මමයි” අසමු විඳිමු

335

සුන්දරත්වය පිරුණු චමත්කාරජනක මතකය යළි පුබුදුවන්නට අප අතීතයෙන් ගෙන ආ මතක සුවඳ යළිත් විඳින්නට දශක හතර හමාරක කාලයක් මුළුල්ලේ සිනමා ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අත්දැකීම් සමුදායෙන් ලබාගත් අත්දැකීම් එකතු කරගනිමින් කමල් අද්දරආරච්චි රංගධරයා ඉදිරිපත් කරනු ලබන ‘ඔබයි මමයි’ ප්‍රසංගය එළැඹෙන සැප්තැම්බර් මස 16 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00 ට වෝටර්ස් ඒජ් හෝලයේදී පැවැත්වේ.

රූප ඡායා මැවූ කමල්ගේ ආනන්දනීය හඬ "ඔබයි මමයි" අසමු විඳිමු

එදා මෙදා තුර ඔහු විසින් දායකත්වය ලබාදුන් නිර්මාණයන්හි දැකගත හැකි වූ මනරම් ගී එකතුවක් වේදිකා පසුතලයේ දෙපස ඇති තිර මත ප්‍රදර්ශනය කරමින් ප්‍රවීණ වාද්‍ය වෘන්දයක් සමගින් එම ගීත ගායනා සජීවීව ඉදිරිපත් කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

එමෙන්ම කමල්ගේ ප්‍රියතම ගී අතරට එක්වන තවත් සිනමා ගීත කිහිපයක් ඇතුළුව නැසී ගිය ප්‍රවීණ සුවිශේෂී ගායන ශිල්පීන්ගේ තෝරාගත් ගීත කිහිපයක්ද මෙම ගී ප්‍රසංගය තුළ ඔහු විසින් ගායනා කරනු ලබයි. මෙම ගීත අතරේ ඔහුගේ ස්වතන්ත්‍ර ගීත රැසක්ද ගායනා කරනු ලබන අතර ඇතැම් ගී සඳහා නර්තනාංගද එක් කෙරේ. මෙම ප්‍රසංගයේදී යුග ගීත කිහිපයක් ගායන කෙරෙන අතර ඒ සඳහා ඉන්ද්‍රාණි පෙරේරා, උරේෂා රවිහාරී සහ සුබුද්ධි ලක්මාලි එක්වනු ඇත. තවද කමල් විසින් දමිළ සිනමා ගීතයක්ද ඉදිරිපත් කිරීම මෙහි ඇති සුවිශේෂී අංගයක් වනු ඇත.

මෙම ගී ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ප්‍රවීණ වාදන ශිල්පී ප්‍රියන්ත ගමගේ විසින් මෙහෙයවනු ලබයි. කමල්ගේ වේදිකා පසුතල නිර්මාණය රොෂාන් රණසිංහ විසින් මනා ලෙස නිර්මාණය කර ඇති අතර එය සම්ප්‍රදායෙන් බැහැර වූ සංගීත සංදර්ශන වේදිකා සැරසිලිවලින් බැහැර වී තිබේ.

කමල්ගේ රංගන හා ගායන දායකත්වය ලද චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත ඇතුළත් සප්තකන්‍යා, වෙද හාමිනේ, රතුරෝස, හිරුට මුවාවෙන්, සමුද්‍ර ඡායා වැනි නිර්මාණයන්හි ඇතුළත් ගීත රැසක් ඔබයි මමයි ප්‍රසංගය තුළ ගායනා කරන අතර පෙම්බර මධූ, එක්ටැම් ගේ, සිකුරුලියා වැනි තෝරාගත් චිත්‍රපට ගීත කිහිපයක්ද ඔවුන් විසින් ගායනා කරනු ලබයි.

දේශීය සංගීතය පෝෂණය කළ සංගීත ගාන්ධර්වයන් වන ප්‍රේමසිරි කේමදාස, පණ්ඩිත් අමරදේවයන් ඇගයීමට ලක්කරමින් ඇරඹෙන මෙම ප්‍රසංගයෙන් අපගේ දුකට පත් වූ කලාකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පිහිටක් වීමද කමල්ගේ තවත් අරමුණක් වේ.

රූප ඡායා මැවූ කමල්ගේ ආනන්දනීය හඬ "ඔබයි මමයි" අසමු විඳිමු

ඔබයි මමයි ප්‍රසංගය පිළිබඳව කමල් අද්දරආරච්චි පසුගිය 22 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පැවැසීය.

“මම මේ කලාව ඉතාමත් නිවැරදිව ඉතාමත් ගෞරවනීය විදිහට තෝරාබේරාගෙන ජනතාව වෙත නිර්මාණය කරලා තිබෙනවා සහ ඒ නිර්මාණ ඉදිරිපත් කරල තිබෙනවා. හැබැයි මම දැන් දුවන්නේ රිසර්ව් ටැංකියක. එහෙම කිව්වොත් හරි. මොකද පරණ කරපු දේවල් නැවත නැවත ආවර්ජනය කරමින් ඒවා ඉතාමත් හදබැඳගෙන තිබෙනවා වගේම ඒ නිර්මාණ නොනැසී පවතිනවා. මේ කාලවකවානුව ගත්තහම මම කියන්නේ නැහැ අනෙක් කලාකරුවන් තමන්ගේ අනන්‍යතාවය ගොඩනඟා ගන්න විදිහේ වැඩ කරන්නේ නැහැ කියලා. මම කරන නිර්මාණ එක්ක මට ලොකු සබඳතාවයක් තියෙනවා. ඒ වගේම ගෞරවනීය හැඟීමක් තියෙනවා. මගේ එදා නිර්මාණ තවමත් මිනිස්සුන්ගේ සිත්සතන් තුළ කිඳාබැස තිබෙනවා. ඒ වගේම මා විසින් ගායනා කළ ගීත ඒවා එතරම් ජනප්‍රියත්වයට පත්නොවුණත් ඉතිං මම තීරණය කළා ඒවා මගේ රසිකයන්ට තිළිණ කරන්න. කාලයක් තිස්සේ මගේ හිඩැසක් තිබුණා ජනතාවට හොඳ සංගීතමය අත්දැකීමක් ලබාදන්න ඕනෑ කියලා. සංගීතය ඉතාමත් ඛේදනීය තත්ත්වයක තියෙන්නේ. මොකද සංගීතය කිව්වහම අපිට සික්ස්එයිට් කියන බීට් එක ඇරණහම අපිට කකුල් දෙකට නටගන්න පුළුවන් ගීත තියෙන්නේ. අද කාලේ උසස් රසාස්වාදයේ නිර්මාණ බිහිවෙන්නේ හරි අඩුවෙන්. ඉතිං ඒ කාරණාවත් එක්ක අද මේ අභාවයට ගිය දේවල් සමග සංගීත ක්‍ෂේත්‍රයේ ගායක ගායිකාවන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් නිර්මාණ අභාවයට ගිහින් තියෙනවා. ඉතිං මම ඉදිරිපත් කරන ගායන කලාවේ ඇතැම් ගීත විශේෂයෙන් මගේ චිත්‍රපට ගීතවල සංගීතය ආචාර්ය කේමදාසයන් සංගීතය සපයලා තියෙනවා. ඉතිං මේ සියලු දේ එක්ක මම තීරණය කලා වෙනස් ශෛලියක ප්‍රසංගයක් පවත්වන්න.

රූප ඡායා මැවූ කමල්ගේ ආනන්දනීය හඬ "ඔබයි මමයි" අසමු විඳිමු

ඒ වෙලාවේ මට අවස්ථාවක් ලැබුණා වගේම මට ආරාධනාවක් ලැබුණා ගාල්ල වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සංගීතය සංදර්ශනයකට සහභාගි වෙන්න. මම ඒ වෙලාවේ ඇහැව්වා තව කවුද සින්දු කියන්න එන්න කියලා. කවුරුත් නැහැ ඔයා විතරයි ඉන්නේ කියලා කිව්වා. කාලයක් තිස්සේ මගේ හිතේ පැලපදියම්වෙලා තිබුණ ඔබයි මමයි කියන මේ වැඩසටහන නැවත යළි ගෙන එන්න පටන්ගත්තේ. ඉතිං ඒක එතැනින් නොනැවතී නැවත ජනතාව කරා ගෙන එන්න මම තීරණය කළා. මගේ යුග ගීත ගායනා කරන්න එක් ගායිකාවක් විදිහට ඉන්ද්‍රානි පෙරේරා වගේම අනෙක් ගායිකාව සුබුද්ධි ලක්මාලි තෝරාගත්තා. එතැනින් ආරම්භයක් ගත්තොත් මේ වැඩසටහනේ හැඩය කුමක්ද කියලා මම කතා කරනවාට වඩා එළැඹෙන 16 වැනිදා ඇවිත්ම නරඹන්න කියලා මම ආරාධනා කරනවා.

● දිනේෂ් විතාන

රූප ඡායා මැවූ කමල්ගේ ආනන්දනීය හඬ "ඔබයි මමයි" අසමු විඳිමු

advertistmentadvertistment
advertistmentadvertistment