බොහෝ කලකට පෙර “කැමිලස් පෙරේරා” යන නමට වඩා බොහෝ දෙනකු “ගජමෑන්” යන නමට හුරුව සිටියහ. කැමිලස් පෙරේරාගේ “ගජමෑන්” යන නමින් හැඳින්වුවද සියල්ලෝම ප්‍රිය කළේ “ගජමෑන්” යන නමටය. කොටින්ම කිවහොත් “ගජමෑන්” යනු එකළ චිත්‍ර කතා පත්තර කියවන රසිකයන්ගේ ළඟම හිතවතකු විය. “වීරයකු” විය. “ගජමෑන්” කොමඩියක් වුවද, යුනිකෝ, ටාසන්, කව්බෝයි වීරයන්ට වඩා ගජමෑන් ජනප්‍රිය චරිතයක් බවට පත් විය. එහෙයින්ම කැමිලස් පෙරේරා ද චිත්‍ර කතා රසිකයන් අතර ජනප්‍රිය චරිතයක් විය. ගජමෑන් මෙන්ම ඔහු ද දුටු නොදුටු බොහෝ පිරිසක් අතර “ගජ මිතුරෙකු” විය. ඒ රසවතා පසුගියදා දිවි සැරිය නිමා කළේ තවත් යුගයක නිමාව සනිටුහන් කරමිනි. මේ ලිපිය අදින් වසර කිහිපයකට පෙර ඔහුගේ නිර්මාණ දිවියට අඩ සියවසක් පිරුනු මොහොතේ සකස් කරන ලද ලිපියකි.

චිත්‍රකතා වංශයේ හාස්‍ය පරිච්ඡේදය - ගජමෑන්

කැමිලස් පෙරේරා යන නම මෙරට බාල තරුණ මහලු කොයි කා අතරත් ප්‍රකට නමක් බවට පත්වන්නේ මීට වසර පනහකට පමණ එපිට කාලයක සිටය. කාටුන් චිත්‍ර කලාවේ මෙරට ඔටුනු පලන් කැමිලස් පෙරේරාගේ තෙලිතුඩින් නිර්මාණය වූ දොංසේතං, ගජමෑන්, සිරිබිරිස්, මගෝඩිස්තුමා ඇතුළු විවිධ කාටුන් ගලක කෙටූ අකුරු මෙන් මෙරට පාඨක ජනතාව අතර නොමැකී පවතින්නේ ඔහු විසින් තනාගත් අනන්‍යතාවයක් තුළින් පාඨක සිත් ආලෝලනය කිරීමට ඔහු සතු වූ හැකියාව හේතුවෙන්ය.

“මම ඉපදුනේ මීගමුවවේ. නගර මධ්‍යයේ තිබුණා ශාන්ත මරියා කියා ලොකු පල්ලියක්. තව පැත්තකින් මුහුදු වෙරළ, ඊළඟට ක්‍රීඩා පිට්ටනිය. මගේ ළමා වියේ තිබුණ සුන්දරම මතක අතර ඔය කියන ස්ථාන සුවිශේෂී තැනක් ගන්නවා. මම මුල් අධ්‍යාපනය ලබන්නේ ශාන්ත සෙබස්තියන් මිශ්‍ර පාසලින්. ඊළඟට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙ. නැවත 4 ශ්‍රේණියේදී මීගමුවේ ශාන්ත මරියා විදුහලට ඇතුළත් වෙනවා. එතැන ඉඳලා උසස් පෙළ දක්වා ඉගෙන ගන්තේ ශාන්ත මරියා විද්‍යාලයෙන්.”

තමන්ගේ දිවිමග පළමු කඩඉම වන අධ්‍යාපනයට අත්පොත් තැබූ විදුහල් තුනත්, එහිදී මුහුණ දීමට සිදුවූ රසවත් මතක සටහන් කීපයකුත් මෙනෙහි කරමින් ප්‍රවීණ කාටූන් චිත්‍ර ශිල්පි කැමිලස් පෙරේරා, තමන්ගේ පනස් වසරක නිර්මාණ චාරිකාව පිළිබඳ මතකය මෙනෙහි කරන්නට විය. කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි පිහිටි ඔහුට අයත් නිවසෙහි අපගේ පිළිසඳර සිදුවිය.

“පාසල් කාලයෙත් මම චිත්‍රවලට තරමක සමත්කමක් දැක්වුවා. ඒ කාලෙ ඉංග්‍රීසි මාධ්‍ය තමයි ගොඩක් පාසල්වල තිබුණේ. මමත් අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි මම සිංහල සාහිත්‍යය හැදෑරුවා. එළුඅත්තනගලුවංශය, ගුත්තිලය මනුතාපය වගේ සිංහල පත පොත, ඊට අමතරව ඉංග්‍රීසි සාහිත්‍යය. ඔය අංශ දෙකෙන්ම මම ගොඩක් පොත්පත් බැලුවා.

ඒ වෙද්දීත් විෂයයක් විදිහට නැතත් මම ඉස්කෝලෙදි දකින ගුරුවරුන්ව ළමයින්ව චිත්‍රයට නැඟුවා. එක දවසක්… අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමාව මම චිත්‍රයට නැඟුවා. ඒ දවස්වල ඉස්කෝලෙ ප්‍රචාරයක් ගිහින් තිබුණා, අපේ විදුහල්පතිතුමා පාසල් වේලාවෙන් පස්සෙ පොඩි අඩියක් ගහනවා කියලා. ඒක හඟවන්නත් එක්ක අරක්කු බෝතලයක් මේසෙ උඩ තියෙන, කකුල් දෙක මේසෙ උඩ තියන් ඉන්න විදියට තමයි මම විදුහල්පතිතුමා චිත්‍රයට නැඟුවේ. කොහොමහරි ගුරුවරුන් මාර්ගයෙන් මේ චිත්‍රය විදුහල්පතිතුමා අතට යනවා. ඊට පස්සේ මට කාර්යාලයට එන්න කියනවා. මම එතුමාව මුණගැහෙන්න ගියහම මට කියනවා… මේක හොඳට ඇදල තියෙනවා. මීට පස්සෙ මාව චිත්‍රයට නැඟුවොත්, කාටවත් පෙන්වන්න එපා ඒක මට ගෙනත් පෙන්වන්න කියලා.

“දවසක්… අපට උගන්වන තව ගුරුවරයෙක්ව මම චිත්‍රයට නඟනව. ඒකත් කොහොමහරි ඔහු අතට යනවා. එදත් මට එන්න කියල පණිවුඩයක් එවනවා. මම යනවා. ඒ පාර ඉස්කෝලෙ ළඟ තියෙන කඩයකට මාව එක්ක ගිහින් බනිස් ගෙඩියකුයි තේ එකකුයි අරන් දීල, එතුමත් කියනවා මේ චිත්‍රය හොඳයි හැබැයි මීට පස්සෙ මේ වගේ චිත්‍රයක් ඇන්දොත් කාටවත් පෙන්වන්න එපා මට විතරක් ගෙනත් පෙන්වන්න කියලා.

මගේ චිත්‍ර කලාවට ගුරුවරු කවුරුත් නෑ. ඒක මා විසින්ම හදාරල, එදිනෙදා දකින හමුවන අයව රූපයට නඟල ප්‍රගුණ කරගත්ත කලාවක්. හැබැයි මෙහෙම දෙයක් වුණා. ඒ දවස්වල බ්‍රිතාන්‍ය රජයෙන් කළ චිත්‍ර තරගයකට ඉදිරිපත් වෙන්න මම කොළඹ ආනන්ද විදුහලට ආවා. ඒ ආවෙ තාත්තත් එක්ක. එතැනදී මට ප්‍රථම ස්ථානය ලැබෙනවා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා.”

කොහොම හරි කාලයක් යද්දි මට හිතෙනවා මටත් කාටූන් චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඇත්නම් කියලා. එහෙම හිතෙන්න තවත් එක හේතුවක් තමයි මම කතෝලිකයෙක් හින්ද පල්ලි යනවනේ. ඒ ගියහම මම දකිනව විශේෂයෙන් ඉරිදා දවසට ඔබ්සවර්, සිළුමිණ වගේ පත්තරවල තියෙන කාටූන් මිනිස්සු බොහොම කැමැත්තෙන් බලනවා. ඒව දකිද්දී මටත් හිතෙනව ඇයි මටත් බැරි මේ වගේ දක්‍ෂ කාටූන් ශිල්පියෙක් වෙන්න කියලා.

මේ කාලය වෙද්දී මම උසස් පෙළ ලියල ඉවරයි. ඔය වෙද්දී මම මීගමුවෙ අම්බලම්මුල්ලෙ මැටි කර්මාන්තශාලාවක මැටියෙන් පොඩි පොඩි නිර්මාණ කරන්න පුරුදු වෙනවා. ඔය අතරෙ රජයේ ගැසට් පත්‍රයේ තිබුණ රැකියා ඇබෑර්තුවක් දැකල ඒකට ඉල්ලුම් කරනවා. අන්තිමට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විදිහට මාව ඒ රස්සාවට තෝරා ගන්නවා. පළමුවෙනි පත්වීම ලැබෙන්නේ පුත්තලම කච්චේරියේ සැලසුම් ශිල්පියෙක් විදිහට.

රස්සාවක් ලැබුණ කියල මගේ කාටූන් සිහිනය ඒකට යටවෙන්න දුන්නෙ නෑ. ටික දවසකින් මාරුවක් අරන් කොළඹට එනවා. එතකොට නවසිය හැටේ දශකය. ඒ ඇවිත් මම ඇඳපු “පොකට් කාටූන්” ටිකක් අරන් ලේක්හවුස් ආයතනයට යනවා. ඒ ගිහින් පිළිගැනීමේ කවුන්ටරය ළඟ පැය ගාණක් ඉන්නවා. එතැනින් එහාට මට යන්න අවසරයක් නැහැ. මට කවුරුත් කතා කරන්නෙත් නෑ. හැබැයි මම දිනපතාම යනවා. එතැන ඉන්න කවුරුවත් මගේ දිහා බලන්නෙවත් නෑ. ඒ වෙද්දී මට කාටූන් අඳින්න පුළුවන් වුණාට ඒවා අර්ථයෙන්, නිර්මාණශීලී බවින්, අඩු නිර්මාණ. ඒ හින්ද වෙන්නත් ඇති මට කාගෙවත් අවධානයක් යොමු නොවෙන්න ඇත්තෙ.

කොහොම හරි වෙද්දි මට ඕනවෙලා තිබුණේ මගේ කාටූන් එකක් පත්තරේක දාගන්න. එතැනදී මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් ලේක්හවුස් එකේ වැඩ කරන සුමනා සපරමාදු මහත්මිය හඳුනා ගන්නවා. ඇය මාර්ගයෙන් මම සරසවිය පත්තරේට කාටූන් කීපයක් අඳිනවා. එතකොට සරසවිය පත්තරේ කර්තෘ වෙලා හිටියෙ විමලසිරි පෙරේරා මහත්තය. මම මුලින්ම ඇන්දෙ අන්දරේගෙ “රා මදින්නා” කියන කවියෙ පද හතරට ගැළපෙන කාටූන් චිත්‍ර හතරක් ඒක සිද්ධ වෙන්නෙ 1964 අවුරුද්දෙ.

ඔහොම ඉන්න අතරෙ මගේ තව මිත්‍රයෙක් දවසක් කිව්ව “දවස” පත්තරේ එයාගේ යාළුවෙක් ඉන්නව එයාව මුණගැහෙන්න යමු කියල. එම්. ඩී. ගුණසේන සමාගමට අනුබද්ධව තමයි ඒ දවස්වල දිනපතා දවස පත්තරය කරන්නේ. කොහොම හරි මම මුලින්ම “දවස”ට යන්නේ පොකැට් කාටූන් ටිකක් ඇඳගෙන. එතැනදී මට කියනවා තීරු කාටූන් ටිකක් අඳින්න කියලා. එතකොට තීරු කාටූන් කියන්නෙ මොනවද කියලවත් මම දන්නෙ නෑ. පුස්තකාලවලට ගිහින් ඒ පිළිබඳ අවබෝධයක් අරන් මම ඒ අභියෝගය ජය ගන්නවා. 1965 අවුරුද්දෙ ජනවාරි මාසෙ “තෙපානිස්” කියල මම දවස පත්තරේට කාටූන් එකක් අදිනවා. ඒක තමයි මම දවස පත්තරේට ඇන්ද මුල්ම කාටූන් එක…”

ඒ කාලෙ ලේක්හවුස් ආයතනය තමයි පත්තර අතර දැවැන්තයා වෙලා හිටියෙ. මගේ උත්සාහය වෙලා තිබුණෙත් කොහොම හරි ලේක්හවුස් පත්තරේක කාටුන් අඳින එක. ඔහොම ඉන්න අතරෙ ගම්පහ පැත්තෙ මගෙ හිතවතෙක් කිව්ව සිළුමිණ පත්තරේ වැඩ කරන ගණේමුල්ල පැත්තෙ එයාගේ හිතවතෙක් ඉන්නව, යමු එයාව මුණගැහෙන්න කියලා. ඔහොම දවසක් අපි එතුමාව මුණගැහෙන්න ගෙදරට ගියා. ඔහු තමයි සිළුමිණ පත්තරේ ආරම්භක කර්තෘ කෙනකු වෙච්ච පියසේන නිශ්ශංක මහත්තයා. ඒ ගෙදරට ගියහම ඕන කෙනෙක් කෑම කාලම තමයි එන්න ඕනෑ.

එතුමාව මුණගැහුණම මට කිව්ව අහවල් දවසෙ ලේක්හවුස් එකට ඇවිත් එතුමාව මුණගැහෙන්න කියලා. ඒ කාලය වෙද්දී ඩී.එෆ්. කාරියකරවන මහත්තය වැඩ කළේ “ජනතා” කියලා ලේක්හවුස් පත්තරයක. එතුමා තමයි ඒ වෙද්දී ජනතා පත්තරේ කර්තෘ වෙලා හිටියෙ. ඒමන් කාරියකරවන ඒ පත්තරේම ප්‍රවෘත්ති කර්තෘ විදිහට වැඩ කළා. පස්සෙ ඩී. එෆ්. කාරියකරවන, සිළුමිණේ ප්‍රධාන කර්තෘ ධුරයට පත්වෙනවා. ඊට පස්සෙ පියසේන නිශ්ශංක මහත්තය මට කිව්ව තීරු කාටූනයක් අඳින්න කියලා. ඒ පාර තමයි මම “දොං සේතං” අඳින්න ගන්නේ.

ටික දවසක් යද්දි ‘දොං සේතං’ පාඨකයන් අතර ජනප්‍රිය වෙන්න ගන්නව. ඊට පස්සෙ මම ඒකට තව චරිත කීපයක් එකතු කරනවා. සිමෝනා ලෙස දොං සේතංගේ බිරිඳ. මෙරායා කියලා දුව. ඔය වගේ චරිත එකතු කරනවා. මම පස්සෙ කාලෙක දැනගත්ත ඩී. එෆ්. කාරියකරවන මහත්තය එතුමාගේ ගෙදර අයටත් මේ නම්වලින් කතාකරල තියෙනව කියලා. ඒ තරමට ‘දොං සේතං’ ජනප්‍රිය වුණා. පස්සෙ 1961 වර්ෂයේදී මොකක් හරි ප්‍රශ්නයක් හින්ද මේක නතර කරනවා. මගේ කාටූන්වල එක විශේෂත්වයක් තමයි මොකක් හරි ප්‍රශ්නයක්, විහිළුවක් ආකාරයෙන් මතුකරල, ඒ සඳහා පාඨක අවධානය යොමු කරවීම. ඒ ‘දොං සේතං’ නතර කළා කියල මගේ ගමන නතර වෙන්නේ නෑ. ඊට පස්සෙ “දැක්කොත් පත්මාවතී”. ඊට පස්සෙ 1968 වර්ෂයේදී “සිරිබිරිස්” කියල සිළුමිණට ඇන්ද කාටූන් එක බොහොම ජනප්‍රිය වෙනවා.

චිත්‍රකතා වංශයේ හාස්‍ය පරිච්ඡේදය - ගජමෑන්

“මම කුඩා වියේදීම කලාවට ගොඩක් ළැදියි කිව්වනේ. චාලි චැප්ලින්ගේ චිත්‍රපට, ඊට අමතරව අපේ මුල්ම චිත්‍රපටය කඩවුණ පොරොන්දුව ඒ දවස්වල මම හරි ආසාවෙන් නැරඹුවා. කඩවුණ පොරොන්දුව පනස් වතාවකට වැඩිය නරඹල ඇති. මට අදත් ඒ පුරුද්ද තියෙනවා. දැනුත් මම හරියට චිත්‍රපට බලන කෙනෙක්.

ඔහොම මගේ කලාව කරගෙන යන අතරෙ, දවසක් ඩෙන්සිල් පීරිස් මහත්තය චිත්‍ර කතාවක් කරන්න කියල මට කිව්ව. එතුමා ඒ දවස්වල ඔබ්සවර් පත්තරේ වැඩ කළේ. ඒ කාලෙ ඊවිනින් ඔබ්සවර් කියල හවස පත්තරේකට තමයි මේක අදින්න කියන්නේ. මගේ ඇඟේ තියෙන්නෙ කාටූන් චිත්‍ර කලාව හින්ද, ඒ ඉල්ලීමට මගේ ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ. ඉල්ලීම අහක දාන්න බැරි හින්ද මම අකැමැත්තෙන් ඒ චිත්‍ර කතාව ඇන්ද. ඒක පී. බී. අල්විස් පෙරේරාගේ කවි පන්තියක් ඇසුරෙන් කළ නිර්මාණයක්.

ඔය වෙද්දී එක කාටුන් එකකට ගෙවන්නෙ රුපියල් පහයි. ඕක ගන්න ඕන හින්ද දිනපතාම ඇන්ද. රජයේ රස්සාවෙන් ඒ කාලෙ මට ලැබුණේ රු. 280යි. දැන් මට පොඩි ප්‍රසිද්ධියක් ලැබිලයි තියෙන්නේ. මම කොහොමත් හිනාව, කතාව අඩු පුද්ගලයෙක් හින්ද එදත් මම බොහොම නිහඬව තමයි මේ දේවල්වල යෙදුණේ.

සිළුමිණ, ජනතා, නවයුගය, සරසවිය ඊට අමතරව මිහිර පත්තරේ “ටික්කා” කියල කාටූන් කතාවක් ඔහොම කරගෙන යන අතරෙ තමයි ලංකාවෙ පළමු චිත්‍රකතා පත්තරය විදියට “සතුට” පත්තරය බිහිවෙන්නෙ. 1972 අගෝස්තු 28 වැනිදා තමයි “සතුට” මුද්‍රණය වෙන්නේ. ඊට දවස් දෙකකට ඉස්සරින් තමයි මට කිව්වෙ ‘සතුට‘ට කාටූන් චිත්‍රකතාවක් අඳින්න කියලා.

“ගජමෑන්” බිහිවෙන්නේ “සතුට” පත්තරයෙන්. ඒක ඉහළම ජනප්‍රියත්වයට පත්වෙනවා. ගජමෑන් පළමුවැනි වතාවට අඳින්නේ ඒ කාලෙ ජනප්‍රියම සින්දු කොටස් කීපයක් මුල්කරගෙන. ඒව පාඨකයන්ට අලුත් අත්දැකීම් වෙනවා. ඊට අමතරව 1974 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්ද මුල්කරගෙන ගජමෑන් විශේෂ අතිරේකය සමග සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර, සිරිත් විරිත්, නැකැත් සඳහන් කරල විශේෂ මුද්‍රණයක් නිකුත් කරනවා. ඒකෙ පිටපත් ලක්‍ෂ ගාණක් අලෙවි වෙනවා. විහිළුවක් මගින් තමයි නැකත පවා පාඨකයාට දැනුම් දුන්නේ. ඔහොම යද්දී ලේක්හවුස් මුද්‍රණයක් විදියට ආපු “සතුට” පත්තරය නවත්වනවා. ඒක තමයි මගේ හැරවුම් ලක්‍ෂ්‍යය.

එතෙක් වෙලා එක දිගට තමන් සතු මතකය ආවර්ජනය කරමින් සිටි කැමිලස් පෙරේරා, ඔහුගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී කඩඉමක් වන සිත්තර චිත්‍රකතා පත්තරය ආරම්භ වූ ආකාරයත්, එහි විකාශනයත් පිළිබඳ රසවත් හරබර තොරතුරු රැසක් පවසන්නට විය.

‘සතුට’ නතර කළා කියල මම අසතුටට පත් වුණේ නෑ, මට ජීවත්වෙන්න රජයේ රස්සාව තියෙනව. කාටූන් ඇඳීමේ හැකියාව මගේ ළඟ තියෙනවා. ඉතිං මම කිසිදේකින් සැලුනෙ නෑ. ඔය අතරෙ දවසක් චින්තන ජයසේන මහත්තය මාව හොයාගෙන එනවා. ඒ ඇවිත් කිව්ව අනුර බණ්ඩාරනායක මහත්තය “අද’ කියල පත්තරයක් කරන්න යනවා, ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඇත්ත වශයෙන්ම ඒ කාලෙත්, අදත් මම දේශපාලන පක්‍ෂවලට ඒ හැටි සම්බන්ධ නැහැ. මම ඡන්දදායකයෙක් විතරයි. මම මගේ මාධ්‍යවල කාටූන් හරහා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුද්ගලයෙක් පමණයි. ඉතිං මම චින්තන මහත්තයට කියනවා දේශපාලනය අඳින්න නම් බැහැ. මට අනන්‍ය වෙච්ච කාටූන් හරහා විතරක් මම පත්තරේට සම්බන්ධ වෙන්නම් කියලා. එහෙම වැඩ කරගෙන යද්දී තමයි “සිත්තර” පත්තරේ බිහිකරන්න යෝජනාවක් එන්නේ.

මෙතැනදී චින්තන ජයසේන මහත්තය ගෞරවයෙන් මතක් කරන්න ඕන. එතුමා තමයි මට මෙච්චරක් දුර එන්න පාර පෙන්නුවේ.

සිත්තර ආරම්භ කරන්න ඉස්සර අපි පත්තරේ දැන්වීමක් දානවා. ඒක දාන්නෙ මෙහෙමයි. “චිත්‍ර ශිල්පීන් අවශ්‍යයි සහතික අනවශ්‍යයි” කියලා. මොකද මමත් එහෙම බිහිවෙච්ච මිනිහෙක්නේ. මල්ටිෆැක්ස් ආයතනයෙන් තමයි සිත්තර ආරම්භ කරන්නේ. අර දැන්වීම් දැකල විශාල පිරිසක් ආව. එයින් දෙන්නෙක්ව තෝරා ගත්තා. මමයි ඒ දෙන්නයි පත්තරේ පටන් ගත්තා. ඔය වෙද්දිත් මම රාජ්‍ය සේවයේ රැකියාව කරනවා. ඒ අතරතුර තමයි පත්තරේ කරන්නෙත්. හැබැයි මට පොඩි නිදහසක් දීල තිබුණා. ඒ දවස්වල ඒ අයවත් හිතුවෙ නෑ සිත්තර මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. ඔය අතරෙ මම බලන්ගොඩ සරත් මධු සිත්තර පත්තරේට ගන්නවා. කොහොමහරි සතියට පත්තර ලක්‍ෂ දෙකහමාරක් අලෙවි වන තැනට සිත්තර පත්වෙනවා. පුදුම ඉල්ලුමක් තිබුණේ. ගජමෑන්, ඉතිං ඊට පස්සෙ පාඨකය අතර අතිශය ජනප්‍රිය වෙනවා.

“අද විවිධ කලා ක්‍ෂේත්‍රවල ඉහළටම ගිය පුද්ගලයන්, ඊට අමතරව පුවත්පත්වල කර්තෘ ධුර දරන කීපදෙනකු ඉන්නවා. 1982 මාර්තු මාසෙ මගේම ආයතනයක “ගජමෑන් සමඟ සත්සිරි” කියල පත්තරයක් පටන් ගන්නවා. ඒකත් විශාල ඉල්ලුමක් සහිත පත්තරයක් බවට පත්වෙනවා. ඔහොම ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි මගේ පනස් වසරක නිර්මාණ ජීවිතය.

කැමිලස් පෙරේරා සතු සුවිශේෂී කාටූන් ශෛලිය නොහඳුනන කෙනකු නොමැති තරම්ය. ලාංකික පුවත්පත් කලාව තුළ ඔහු තබා ඇති ලකුණ ඔහුටම ආවේනිකවූවක්ය.

ගජමෑන් ඔබට සුබ ගමන්

● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment