මේ මගේ කතාව: අසිහියෙන් ලියූ සටහන්

259

මං රෝගියෙක්

මට කතාවක් තියෙනවා කියන්න. මං දන්නෙ නෑ ඒක කතාවක්ද කියලත්. ඒත් මං ඒක කියන්න ඕන. කවුරුවත් අහන්න නැතත් කියන්න ඕන. මං කියන්නෙම නෑ නෙමෙයි, මං කියන්නම ඕන ඒක. ඉතිං අහන්න. මං පටන්ගන්නම්. කොහොමද පටන්ගන්නෙ? කොතනද ආරම්භය? කොතනින් පටන්ගත්තත් එකයි. පටන්ගත්ත තැන ආරම්භය:

මං දිළිඳු මිනිහෙක්. මගේ තාත්තා මට මතක නෑ. මගේ අම්මා මා එක්ක ඉන්නවා. ඒත් අම්මාට මතකයක් නෑ දැන්. අම්මාට මතකයක් තිබුණා නම් මං අකැමතියි. අම්මාට මගේ මතකයන් හොඳ දේවල් වෙලා නෑ කවදාවත්. මං දන්නෙ නෑ මිනිස්සු මට මෙච්චර අකමැති ඇයි කියල. මාව මිනිසුන්ට පේන්න බෑ. විශේෂයෙන් ලොක්කන්ට. පරිපාලන නිලධාරීන්ට. පිරිස් කළමනාකරුවන්ට. නිකන් පාර අතුගාන මනුස්සයෙක් ගන්න. කවුද එහෙම මිනිහෙක් ගණන් ගන්නෙ? මිනිහා උදේට වතුර බෝතලයක් අරන් පාරට එනවා. පස්සෙ බෝතලය බිමින් තියල බල්ලො එළවනවා. ඊට පස්සෙ ඉදල අරන් එහා කොනේ ඉඳන් මෙහා කොනට අතුගාගෙන යනවා. ඒත් ඒ මිනිහා වුණත් මාව ගණන් ගන්නෙ සතියයි දෙකයි. ඊට පස්සෙ ඒ මිනිහා එක්ක නිකමට හරි වාදෙක පැටලුණොත් මිනිහා මට ඉදල අරන් එනවා පහර දෙන්න. මං එච්චර එපා කරපු එකෙක්.

මං නොයෙක් රස්සා කළා. ගුරුකම, පත්තර රස්සාව, මාර්ගෝපදේශනය, පිටපත් ලිවීම, පරිවර්තනය. මේ හැම රස්සාවකදිම මට විරුද්ධකාරයො සිටියා. මගේ ප්‍රගති වාර්තාව හොඳ නෑ. මගේ කාර්යාල ලිපි ගොනුවේ වැඩිපුර තියෙන්නෙ විනය පරීක්‍ෂණවලට ආපු ලියුම්. ඒත් එහෙම වෙලත් මට සාමවිනිසුරුකමක් තියෙනවා. මං ජනාධිපතිතුමා පත් වෙච්ච වෙලාවේ එතුමා උස්සලා ලොකු ලිපියක් ලිව්වා. එතකොට මං පත්තරකාරයෙක්. මට කර්තෘතුමා කිව්වා ජනාධිපතිතුමා වෙනුවෙන් ලිපියක් ලියන්න කියල. මං ඇහුවා මොන විධියෙන්ද ඕන කියල. “මොනවා අහනවාද මිනිහො! රජතුමාට ගහන්න පුළුවන්ද!” කර්තෘතුමා බැණ වැදුණා. ඉතිං මං එතුමා සුද්දෝදන රජතුමාගේ ඥාතියෙක් කියල ලියලා දැම්මා. ලිපිය පළ වූ දවසෙම මට රජ මැඳුරෙන් කථා කළා. මගෙන් ඇහුවා මොනවාද ඕන කියල. මං කිව්වා “සිගරට් එකක්” කියල. එදාම හවස මට සිගරට් බණ්ඩලේකුයි සාමවිනිසුරුකමකුයි එවලා තිබුණ රජ මැඳුරෙන්. මං සාමවිනිසුරුකම ගත්තා. ඒත් පත්තරේ පිංතූරෙ දැම්මෙ නෑ. පත්තරකාරයො තමන්ගේ පිංතූරේ පත්තරේ දාන්නෙ නෑනෙ.

මං මෙහෙම හිටියාට හොඳ නැඩයෙක් කියල හිතන්න එපා. මට ලෙඩ තියෙනවා. මට හර්නියා කියල මොකක්දෝ ලෙඩක් තිබුණා. ඒකට මොකක්ද මන්ද ඔපරේෂන් එකක් කළා. දැන් මට පිළිකාවක්. මං පිළිකා රෝගියෙක්. ඒකට දොස්තරලා කිව්වෙ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කියල. ඒකටත් ඔපරේෂන් එකක් කළා. ඔපරේෂන් එකෙන් කපලා අයින් කළා. ඔව්. දැන් මට ඒ වගේ ආසාවල් නෑ. දැන් මං ආසා ප්‍රහීන කළ මිනිහෙක්. මං ශාන්තුවරයෙක් නෙවෙයි. මං ඕනම පාපකාරී දෙයක් කරන්න පුළුවන්. දැන් වුණත් මෙතනට නයෙක් ආවොත් මං “නයිහාමි, මේ අහන්න! මැරෙන හැටි මං පෙන්වන්නම්!” කියල වැඳ වැඳ යන්නෙ නෑ. මුගුරකින් ගහලා නයා මරනවා. මං හුඟක් නයි මරලා තියෙනවා. මං ඉස්සර නයින්ට ආසා කළා. අර පඬිවර කතාවක් තියෙනවානෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කියල. ඒ කතා මං ඇහුවෙ නෑ. මං ඇති තරම් නයි රෙද්ද අස්සෙ දාගත්තා. පස්සෙ මට තේරුණේ හුඟක් නයි මට විදලා කියල. හුඟක් කාලයක් මං නිල් වෙලා හිටියෙ. ඒ, නයි ගහලා. කාලයක් මං රතු වෙලා හිටියා. පස්සෙ රතු කොළ වෙලා, කොළ නිල් වුණා. දැන් මං ආයෙත් මගේ සාමාන්‍ය පාටට ඇවිත්. ඒත් ඡන්දයක් කිට්ටු වෙද්දි මොනවා හරි පාටකට හැරෙන්න පුළුවන්. ඒකට මට දොස් කියන්න එපා. මට සිගරට්ටුවක් දෙන්නෙ කවුද මං උගෙ පාටට හැරෙනවා. දැන් තමුන්නැහැ දෙනවකො මට සිගරට්ටුවක්. ගාන සැරයි නේද! රුපියල් තිහක්! එහෙනම් දෙනවකො බීඩියක්. විමලා බීඩියක් නම් වඩා හොඳයි. අන්න එතකොට මං හැරෙන්නම් තමුන්නැහැ කියන පාටකට.

මොනවා වුණත් මං පිළිකා රෝගියෙක්. මං බෙහෙත් බිබී ඉන්නෙ. බෙහෙත්වලට බර ගානක් වියදම් වෙනවා මාසෙකට. එච්චර වියදමක් දරන්න මට බෑ හැමදාම. කඩේට එන මිනිහෙක්ගෙන් සිගරට් උගුරක් අදින්න ඊයේ හැන්දෑවෙ මං ජිනදාස මුදලාලිගේ කඩේ ගාවට ගියා. එවෙලාවේ මුදලාලි කිව්වෙ “පත්තරේට දැන්වීමක් දාලා ආධාරයක් ඉල්ලන්නකො මහත්තයා” කියල. මං ඒකට ලෑස්ති වුණා. ලෑස්ති වුණා කියන්නෙ දැන්වීමත් ලිව්වා. ඒත් මගේ බිරිඳ ඒකට කැමති වුණේ නෑ. “අපට ලැජ්ජ කරන්න එපා” කියල එයා කිව්වා. ඉතිං මං කාටවත් ලැජ්ජ කරන්නෙ නැතුව බෙහෙත් නොබී ඉන්නවා. ඇත්ත කිව්වොත් මං වැඩිය රස කෑම ඉල්ලන්නෙත් නෑ දැන්. කැරට් අලයක්, බිත්තරයක් කාපු කාලයක් මතක නෑ. බිරින්දෑ ගේන බේත් වේල පවා හුඟක් වෙලාවට මං මඟහරිනවා. බිරිඳ ඒක දන්නවා. එයා නොදන්නවා ගානට ඉන්නවා. සෑම සාර්ථක මිනිහෙක් පසුපසම ගැහැනියක් ඉන්නවලුනෙ. එයා පවුල ගොඩදාන්න හුඟක් මාන්සි වෙනවා. ඇත්තෙන්ම කාටවත් අත පාලා ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙන එක කියල සමහර වෙලාවට මට හිතෙනවා. කලකිරීමෙන් හිත ඔද්දල් වුණු වෙලාවට මං ඇඳට වෙලා බලන් ඉන්නවා මාර පුත්‍රයා වඩින කන්. සමහර දවස්වල මාර පුත්‍රයා මගෙ ඇඳ ළඟටම එනවා. ඒත් ඒ පුතයා මා කැටුව යන එක පැත්තක තියල “කොහොමද තෙල් මිල බැස්සා නේද?” කිය කියා විකාර කතා දොඩවලා යන්න යනවා. මාර පුත්‍රයා දන්නෙ නෑ තෙල් මිල බැස්සා කියල මෙහෙ ඉන්න මාරයො දෙන සහනයක් නෑ කියල.

මං උගත් මිනිහෙක් නෙවෙයි. මං උසස් පෙළ නම් සමත් වුණා. ඒ සමත් වුණේ ජිනානන්ද සෙන්ට්‍රල් එකෙන්. ඒ දවස්වල අපේ තාත්තා ඒකෙ ඉගැන්නුවා. තාත්තා උදේ ඉස්කෝලෙ යනවා. හවසට සුරාබදු එකේ වැඩ අල්ලනවා. එදා අද වගේ ළමයි ගොඩක් විශ්වවිද්‍යාලෙට ගත්තා නම් මාව විශ්වවිද්‍යාලෙට අහු වෙන්න තිබුණා කියල මගේ බිරිඳ කියනවා. ඇත්ත වශයෙන් මට විශ්වවිද්‍යාලෙ යන්න එක ලකුණයි මදි වුණේ. හැබැයි තුන්වෙනි පාර. හතරවෙනි පාරක් නොතිබ්බෙ හොඳ වෙලාවට. ඒ දවස්වල නම් මං විශ්වවිද්‍යාලෙට යන්න හරිම ආසාවෙන් සිටියෙ. හුඟක්ම ඒ, ජේබී සර්ගේ දේශනයකට සහභාගි වෙන්න. ඒත් පස්සෙ මං පත්තරකාරයෙක් වුණාම ජේබී සර්ගේ දේශන අහන්න ලැබුණා. දොරමඬලාවෙත් හුඟක් ඇහුවා. වතාවක් මං විශ්වවිද්‍යාලෙ පුවත්පත් කලා ඩිප්ලෝමාවක් කළා. එහිදී මෙඩල් එකට යන්න වැඩිම ලකුණු තිබුණෙ මට. ඒත් ඩිප්ලෝමා ප්‍රදානය දවසෙ මෙඩල් එක දුන්නෙ මට නෙවේ, කවදාවත් පන්තියේ නොදැකපු ගෑනු ළමයෙකුට. කාරියකරවනද කවුද කියල කෙනෙක් එතකොට පාඨමාලා සංවිධායක. ඒ සිද්ධියෙන් පස්සෙ මට විශ්වවිද්‍යාලෙ එපා වුණා. ජේබී සර් නම් ඉඳහිටලා හම්බෙනවා. හම්බුණාම අහන්නෙ “අපේ පැත්තෙ ඇවිල්ලා මගෙ පොඩි ඉන්ටවිව් එකක් කරනවාකො පත්තරේට” කියල. කොහොම හරි මං ගමේ පදිංචියට ගියාම ජේබී සර්ගෙ ඇසුර නැවතුණා.

දැන් ඉඳහිටලා මට කථා කරන්නෙ පොතක් ලියපු ලේඛකයෙක් විතරයි. “දැන් මහත්තයා ලියන පත්තරේ මොකක්ද?” කියල කථා කරන කෙනා අහනවා. මං එතකොට “දැන් මං පත්තරේක වැඩ කරන්නෙවත් ලියන්නෙවත් නෑ” කියල කියනවා. ඔහු එවිට “ආ ඇත්තද!” කියල සුසුම් හෙළනවා. “මොකක් හරි වුවමනාවකටද කථා කළේ?” කියල ඇහුවාම ලේඛකයා කියන්නෙ “ඔව්. මං මගේ පොත ගැන පත්තරේට මොනවාහරි ලියවාගන්න කථා කළේ. ඒත් දැන් වැඩක් නෑනෙ” කියල. පත්තරේට නොලිව්වත් මං තවම පොත් කියවනවා කියල මං කියන්න කලින් ලේඛකයා ටෙලිෆෝන් එක තියලා. ඊයේ මට පොතක් ලියපු නීතිඥ මහත්තයෙක් කථා කළා. ඔහු කියනවා “ඔයාගේ ඉස්සර දිවයිනේ තීරුව කියවලා මං මගේ නවකතාව ලිව්වෙ. ඒ නිසා මට ඔයාගේ විචාරය ඕනමයි” කියල. මං ඇහුවා “කවදාද පොත පිට වුණේ?” කියල. “ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පිට වුණේ. ස්වර්ණ පුස්තකයට කලින් ෆේස්බුක්වල පොත ගැන කොච්චර කථා කළත් විනිශ්චය මණ්ඩලයේ හිටපු ජරා යක්කු ටිකක් පොත කැපුවා.” නීතිඥ තුමා කියාගෙන ගියා තරහෙන්. “මට ඕන ඔබතුමා ලවා පොත ආයෙත් අවුස්සලා ගන්න.” ඔහු තව කතාවකට ලෑස්ති වුණා. ඒත් ඒ එක්කම ගෙදර ලයිට් ගියා. දුරකථනයත් විසන්ධි වුණා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment