ජනතාවාදී කලාවක ගීතවත් හඬ පෞරුෂය සුනිලා

214
ඇගේ සටන සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය සහ යුක්තිය උදෙසාම විය. සමාජ දේශපාලනය, කලාව, බහුජන ක්‍රියාකාරිත්වය එක හා සමානවම කළමනාකරණය කර ගත් ඇය, පීතෘ මූලිකත්වයට එරෙහිව ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්නට තණමුල් මට්ටමේ ස්ත්‍රී සංවිධාන සහ කණ්ඩායම්වලට ගොඩනැගෙන්නට මඟ පෙන්වූවාය. ස්ත්‍රීවාදය, සාමය, සමානාත්මතාව, බහුත්වවාදය යනාදී නව සංකල්ප ලාංකීය සමාජය තුළ සමාජ ගතකරන්නට ඇය සමත් වූවාය. ඇය ගමින් ගමට ගිය, ජන කණ්ඩායමෙන් ජන කණ්ඩායම සොයා ගොස් ඔවුන් හමු වූ අදහස් බෙදා හදා ගත් ඒ ජන හඬට ඇහුම්කන් දුන් ආදරණීය චරිතයක් විය.

සුනිලා අබේසේකර නම් වූ ඒ සුවිශේෂි ස්ත්‍රිය චාල්ස් අබේසේකර හා ටියුලින් අබේසේකර යුවළගේ වැඩිමහල් දරුවා මෙන්ම එකම දියණිය ලෙසින් 1952 සැප්තැම්බර් 04 වැනිදා උපත ලැබ 2013 සැප්තැම්බර් මාසයේ නව වන දින අපෙන් සදහටම සමු ගත්තාය. ඇය සිය ජීවන සැරිය නිමාකොට 2023 සැප්තැම්බර් නව වනදාට දස වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් ඇය හා බැඳුණු අපගේ නිමා නොවන මතකයන් සිහිපත් කරන්නට අපි සූදානම් වන්නෙමු. සුනිලා කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සහ ඉන්ෆෝම් (INFORM) ආයතනය ආරම්භ කිරීමට පුරෝගාමී වූවාය.

ස්ත්‍රීවාදිනියක වූ සුනිලා පුබල මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. ස්ත්‍රී අයිතීන් මෙන්ම මානව අයිතීන් වෙනුවෙන් හඬ නැගූ ඉදිරියෙන්ම සිටි නායිකාවකි. ඇගේ නායකත්වය සහ ක්‍රියාකාරිත්වය ගෝලීය වශයෙන් පැතිර පැවතුනේ වුවද විශේෂයෙන්ම ඇය දකුණු ආසියාවේ ස්ත්‍රී ව්‍යාපාරයට මඟපෙන්වූ පුරෝගාමී නායිකාවක වූවාය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූ සටන්කාරියක වූවාය. එමෙන්ම ජනතාවාදී කලාකාරිනියක වූ ඇගේ මෙහෙවර සමාජ, සංස්කෘතික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයක් පුරාම පැතිර පැවතුණි. ආන්තීකරණයට ලක් වූ පීඩිත ස්ත්‍රීන්ගේ මෙන්ම පීඩිත ජනයාගේ මානව අයිතිවාසිකම් අරක්ෂා කිරීම සඳහා ඇය කැප වූවාය. ‘සියලු මනුෂ්‍යයින් සමානය; ඔවුන්ට එක හා සමාන ගරුත්වයක් ලැබිය යුතුය. ඒ සඳහා අයිතිවාසිකමක් සෑම මනුෂ්‍යයෙකුටම ඇත’ යන මතවාදයෙහි තිර ලෙසම පිහිටා සිය ජීවිත කාලයම ඒ වෙනුවෙන් නොබියව සටන් කිරීම හේතුවෙන් ඇය පොදුජන ප්‍රසාදයට පාත්‍ර වූ නායිකාවක් වූවාය. මේ ජන ප්‍රසාදය සහ කැපවීම හේතුවෙන් වරක් ඇය එක්සත් ජාතීන්ගේ, මානව හිමිකම් සම්මානයෙන් ද පිදුම් ලැබීය. ජීවත්වීමට මිනිසාට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ ඇය මිනිසාට පමණක් නොව සියලු සතා සිව්පාවාට මේ මහපොළොව මත ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියාය. එපමණක් ද නොව ඇය ගහට කොළට, පරිසරයට ද ආදරය කළාය. මේ ලෝකය සියලු දෙනාටම යහපත්, සාධාරණ, යුක්තිගරුක, සමානාත්මතාව සහිත තැනක් බවට පත් කිරීමට ඇය නිරන්තරයෙන්ම වෙහෙසුනාය.

මෙරට සමාජ ව්‍යාපාර ගණනාවක් බිහිකිරීමෙහි ලා පුරෝගාමී වූ සුනිලා ඒවාට ජීවය ලබා දුන් නායිකාවක ද අනේක විධ කැපකිරීම් කළ ක්‍රියාකාරිනියක ද වූවාය. විශේෂයෙන්ම දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි ලාංකීය ජන සමාජය තුළ සියලු ජනවර්ගවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සාමය ගොඩනැගීමෙහි ලා සිදුකළ ඇගේ කැපවීම අතිමහත්ය. රට තුළ ඝාතනය, භීෂණය අතුරුදන් කිරීම් රජ කළ යුගයක එම දේශපාලන බල ව්‍යුහයන්ට නොබියව මුහුණ දෙමින් සියලු පාර්ශ්වයන් විසින් කරනු ලබන ඝාතනයන්ට එරෙහිව ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’, ‘සාමය සදඟා කාන්තාවෝ’, ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’ යනාදී වශයෙන් වූ ඒකාබද්ධ කාන්තා ජාලයන් ගණනාවක් බිහිකිරීමෙහි ලා සුනිලා පුරෝගාමී වැඩකොටසක් සිදු කළාය. ඒවාට නායකත්වය දුන්නාය.

සුනිලාගේ සමාජ මෙහෙවර කෙතරම් කාර්ය බහුල වුවත් ඇය සිය සමීපතමයන්, මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගතකරන්නට, තම සඟයන් ගැන සොයා බලන්නට ඔවුන්ගේ පමණක් නොව එම පවුල්වල සාමාජිකයන්ගේ පවා දුක සැප බෙදා හදා ගන්නට පවා අමතක කළේ නැත. මේ සියල්ල සඳහා ඇය කෙසේ හෝ කාලය සොයා ගත්තාය. ඇය තුළ වූ අප්‍රමාණ දයාව, සහකම්පනය වචනවලට හැරවිය නොහැකි තරම්ය. දරු දෙදෙනකුගේ මවක් වූ ඇය සිය දරුවන්ට මෙන්ම සිය සටන් සඟයන්ගේ දරුවන්ට ද එක සේ ආදරය කළාය. විවිධ කාරණා හේතුවෙන් සිය දෙමාපිය රැකවරණය අහිමි වූ තම සටන් සගයන්ගේ දරුවන්ට මවක වීමට සුනිලා පසුබට වූයේ නැත. සිය දරු දෙදෙනා පමණක් නොව ඇගේ නිවසේ තවත් දරු දැරියන් හතර පස් දෙනෙක්ම හැදී වැඩුනේ මේ නිසාය. සුනිලා, එකවර මේ සියලු දරුවන්ට එකම පිඟානෙන් බත් අනා කැවූ ඔවුන් සියලු දෙනාගේ මව වූවාය. මිනිස්කම යනු කතා බහට මතවාදයට පමණක් සීමා නොකළ යුතු දෙයක් බව ඇය අපට පසක් කළාය. ඇය, එය සිය ජීවන චරිතය තුළින්ම පෙන්වූ ගැහැනියකි.

ජනතාවාදී කලාවක ගීතවත් හඬ පෞරුෂය සුනිලා

සියලුම ජන වර්ගයන්ට, සිය සංස්කෘතික අනන්‍යතාවට ඇති අයිතිවාසිකම් ගරු කළ සුනිලා, සිය කලා කුසලතාවන් ඒ වෙනුවෙන් භාවිත කළාය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය පෑන සහ හඬ අවදි කළාය. ඇය සුවිශේෂී හඬ පෞරුෂයක් සහිත ගායිකාවක වූවා සේම වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පිණියක ද විය. එමෙන්ම දක්ෂ චිත්‍රපට විචාරකයෙක් ද විය. ලේඛිකාවක ද විය. දක්ෂ පුහුණුකාරිනියක සේම කතිකයෙක් ද විය. කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය විසින් ප්‍රකාශයට පත්කළ ‘ඇය’ සඟරාවට සුනිලා වරින් වර ලියූ චිත්‍රපට විචාරයන් පොතක් ලෙසින් එළි දක්වා ඇත.

ඇයගේ කලා ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන ගණනාවකි. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ චිත්‍රපයට ඇය ගැයූ ’හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ ’ ගීතය මෙන්ම ධර්මසිරි පතිරාජයන්ගේ ‘බමරු ඇවිත්’ චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ඇය ගායනා කළ ’උදුම්බරා හිනැහෙනවා’ ගීතය අදටත් ශ්‍රාවකයින් හෘදායංගවම වැළඳගත් චිත්‍රපට පසුබිම් ගායනා වේ.

එමෙන්ම ඇය රංජිත් ධර්මකීර්තිගේ ‘මෝදර මෝල සහ අංගාරා ගඟ ගලා බසී’ වැනි වේදිකා නාට්‍ය තුළ ඇය සිය ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාව අපූරුවට හෙළි කළාය. ඇගේ පළමු චිත්‍රපටය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ’ගොළු හදවතයි’.

‘විමුක්ති ගී ප්‍රසංගයේ සහ කාලයේ රාවය’ යන ගීත ප්‍රසංගවල ගී ගායනා කළ අතර භීෂණය, මනුෂ්‍ය ඝාතනය රජකළ සමයක ’විසාලා’ කැසට් පටයට ගී ගයමින් නිහැඬියාව බිඳදමා භීෂණයට එරෙහි පොදු ජන විරෝධය සමාජගත කළාය.

ඇගේ සටන සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය සහ යුක්තිය උදෙසාම විය. සමාජ දේශපාලනය, කලාව, බහුජන ක්‍රියාකාරිත්වය එක හා සමානවම කළමනාකරණය කර ගත් ඇය, පීතෘ මූලිකත්වයට එරෙහිව ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්නට තණමුල් මට්ටමේ ස්ත්‍රී සංවිධාන සහ කණ්ඩායම්වලට ගොඩනැගෙන්නට මඟ පෙන්වූවාය. ස්ත්‍රීවාදය, සාමය, සමානාත්මතාව, බහුත්වවාදය යනාදී නව සංකල්ප ලාංකීය සමාජය තුළ සමාජ ගතකරන්නට ඇය සමත් වූවාය. ඇය ගමින් ගමට ගිය, ජන කණ්ඩායමෙන් ජන කණ්ඩායම සොයා ගොස් ඔවුන් හමු වූ අදහස් බෙදා හදා ගත් ඒ ජන හඬට ඇහුම්කන් දුන් ආදරණීය චරිතයක් විය. සුනිලා බිම් මට්ටමේ සිට ගෙන ගිය දැනුවත් කිරීමේ ක්‍රියාවලිය අදටත් විශේෂයෙන් සිහිපත් කළ හැකි ක්‍රියාදාමයකි.

ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මෙන්ම මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයේ මුදුන් මුලක් වූ සුනිලාගේ අහිමිවීම හේතුවෙන් හිස් වූ ඉඩ පිරවීමට අපට තවමත් නොහැකි වී ඇත. එය කවදා කවුරුන් විසින් පුරවනු ඇතිදැයි සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. මෙය ලාංකීය ස්ත්‍රීවාදී ව්‍යාපාරය හමුවේ ඇති අභියෝගයකි. එහෙත් මේ අභියෝගය කෙසේ හෝ ජයගැනීමට වෙර දරමින් අපි ඔබ ගිය මඟ ඔස්සේම යන බව ආදරණීය සුනිලා අපි ඔබට කියමු. ඔබ කියාදුන් මිනිසත්කම් සුරකින බවට සපථ කරමු.

● වයලා පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment