රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්

177

රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද පත්කර ඇත.

මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී. ආර්. වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික), ශෂිකලා ප්‍රේමවර්ධන මෙනෙවිය (ශ්‍රී ලංකා විදේශ සේවය), ඩැනියෙල් ඇල්ෆොන්සස් මහතා (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව, 2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු, උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය, පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතුවීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුදමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.

පසුගිය දශකයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ එල්ටීටීඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි ය.

නමුත් අද වන විට, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින අතර අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින්: එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතුවීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද බලපා තිබේ. එබැවින් මෙම සියලු කරුණු අධ්‍යයනය කර ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීමට නියමිතය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment