බද්ද නැතිව වාහන ගන්න මන්ත්‍රීලා සද්ද නැතුව වැඩ

392

දෙපැත්තෙම අය අත්සනුත් දෙති

තමන්ට තීරු බදු රහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට විශේෂ ලිපියකට අත්සන් ගැනීම ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ද මෙම ලිපිය සඳහා අත්සන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමකදී ඊට අනුමැතිය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.

ඒ අනුව පසුගියදා (05 දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී ස.ජ.බ. මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් කරුණු කියමින් පවසා ඇත්තේ මෙවැනි ඉල්ලීමකට මන්ත්‍රීවරුන් අත්සන් කිරීම අශෝභන ක්‍රියාවක් බවය.

මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අවශ්‍ය නම් රජයේ නිලධාරීන්ට ලබාදෙන ආකාරයේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි ද හෙතෙම එහිදී පවසා ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තදින්ම විරෝධය පළ කර ඇත. රට බංකොළොත් තත්ත්වයක තිබියදී මෙවැනි යෝජනා ක්‍රියාත්මක නොකළ යුතු යැයි ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙම යෝජනාව සලකා බැලීම සඳහා ගෘහ කාරක සභාව වෙත යොමුකිරීමට ද පක්ෂ නායක රැස්වීමේදී අවසාන වශයෙන් තීරණය කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment