ක්‍රිකට් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

160

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පෙරේදා (01 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබීය.

පසුගිය නොවැම්බර් 06 වෙනි දින ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කර මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙම වාර්තාව සකස් කර අවසන් කර තිබූ අතර ඒ පිළිබඳව සිය ප්‍රශංසාව ද අදාළ කමිටුවට පළ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් කටයුතු කළ අතර අදාළ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට කමිටුව කඩිනම් පියවර ගනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව ටෙස්ට් ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මක පද්ධති සමඟ පද්ධති මිණුම් සලකුණු කිරීමේදී විනිවිදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු යහපාලනය සහ යහ භාවිතයන් කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම යන ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කෙරිණි.

මෙම වාර්තාව භාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment