කුජ හතේ නම් සැමියා හෝ බිරිඳ මියයයි…!

4586

නව ග‍්‍රහයින් අතරින් විවාහයට තදින්ම බලපාන ග‍්‍රහයා වන්නේ අඟහරු හෙවත් කුජය. නමුත් සමහරු තවමත් සිතන්නේ විවාහයේදී ශුක‍්‍ර හෙවත් සිකුරු බලවතා කියාය. සිකුරු විවාහකාරකයා බව සැබෑය. ඒත් ලේ ධාතුවට අධිපතිත්වය දරන බැවින් විවාහයේදී සිකුරුට වඩා බලවත් වන්නේ කුජ බව ජ්‍යොතිෂ සිද්ධාන්ත මගින් ඔප්පු කළ හැක.

දැරියක් මල්වරවීමේදී ප‍්‍රධාන වන්නේ කුජගේ භූමිකාවය. එමෙන්ම මල්වර වූ දැරියගේ විවාහය සඳහා පොරොන්දම් ගැළපීමේදීත් මූලික වන්නේ කුජගෙන් යෙදෙන ‘‘කුජ දෝෂය’’ හෙවත් කුජ භෞම දෝෂයයි. එවැනි දෝෂ සහිත කේන්දර පිළිබඳව අතීතයේ සිටම වැඩි අවධානයක් යොමුකිරීම සිරිතක්ව පැවැතිණි.

එමෙන්ම ‘රජ්ජු’ පොරොන්දමේ ‘ශිරෝ’ රජ්ජුවට අයත් නැකත් තුනම කුජ ග‍්‍රහයාට වෙන්කර දීමෙන්ම කුජගේ බලය විවාහයේදී කොතෙක් වේදැයි සිතාගැනීමට පුළුවන. පොරොන්දම් විස්ස අතරින් ‘රජ්ජු’ පොරොන්දමට පැරැන්නන් විශේෂත්වයක් දී ඇත්තේ හේතු සාධක ඇතිවය. එයින්ම කුජගේ බලය විවාහයේදී මූලික වන බව රහසක් නොවේ. තවද, ස්ත‍්‍රීන්ගේ මාස් ශුද්ධියේදීත්, දරුඵල හටගැන්මේදීත් කුජ, ග‍්‍රහයාගෙන් සිදුවන බලපෑම අති මහත් බව සෘෂීන් සොයාගෙන ඇත.

පොරොන්දම් පරීක්‍ෂණයේදී ‘කුජ භෞම දෝෂ’ පිළිබඳව විශේෂයෙන් සොයා බලන්නේ විවාහයට කුජ ප‍්‍රධාන වන බැවින්ය. ජන්ම පත‍්‍රයක කුජ ග‍්‍රහයා ලග්නය, දෙක, හතර, හත, අට සහ දොළොස්වැන්නේ උපතින් පිහිටීම තුළින් කුජ භෞම දෝෂය නිර්මාණය වේ. මෙම භෞම දෝෂ යෙදෙන ස්ථාන හය අතරින් කුජ ග‍්‍රහයා හත්වැන්නේ පිහිටීම සුවිශේෂී බවක් ගෙනදී ඇත. අතීතයේ පටන්ම ඒ පිළිබඳව අපගේ ග‍්‍රාමීය ජනතාව තුළ ඇත්තේ මහත් බියකි. එය දැන් ගමෙන් නගරයටද පැමිණ ඇති බව පෙනේ.

කුජ හතේ පිහිටීම අශුභ බව ජ්‍යොතිෂයේ පෙන්වාදී ඇත. එම පිහිටීම හේතුවෙන් විවාහ දිවිය කෙටි කලකින් අවසන් වෙතැයි මතයක් සමාජය තුළ ගොඩනැගී ඇත. එබැවින් එය කෙතෙක් දුරට සත්‍ය දැයි විමසා බැලීම බුද්ධිමත් ජනතාවගේ යුතුකමක් වනු නොඅනුමානය.

කුජ හත්වැන්නේ උපතින් පිහිටි ස්ත‍්‍රීන්ගේ සිරුරේ ඇති වැදගත්ම අංගවලින් එකක් වන ළය පෙදෙස පිරිපුන් පයෝධරයන්ගෙන් මෙන්ම, ඉණ පෙදෙස පුළුල් වූ උකුළකින්ද සමන්විත වන බව සෘෂීන් පෙන්වාදී තිබේ. එය ස්ත‍්‍රීන්ගේ රූප භෝභාව වැඩිදියුණු කර පෙන්වීමට මහත් රුකුලක් වනු ඇතැයි වැඩිදුරටත් කියා ඇත.

හතේ කුජ නරකය කියන කථාවේ ඇත්තක් නැත්තේද නැත. අඟහරු හෙවත් කුජ හත්වැන්නේදී තම සමීපතම ඥාතියා නසන බව ප‍්‍රකටව ඇති අතර එලෙස කියන්නට පැරැන්නන් පෙලඹුණේ කුමක් නිසාද? හත විවාහය පිළිබඳව කියැවෙන හා ඒ පිළිබඳව කථා කරන ප‍්‍රධාන ස්ථානය වන අතර එහිදී සමීපතම ඥාතියා වන්නේ බිරිඳ හෝ සැමියාය. එසේ වුවද කුජට ඕනෑ ඕනෑ ආකාරයට සමීපතමයා මැරීමට නුපුළුවන. එම නෑයා බිරිඳ හෝ සැමියා හෝ කවරෙකු වුවද ඔහු හෝ ඇය උපතින්ම ගෙන ආ පිරිහුණ ආයුෂ ඇතහොත් පමණක් එලෙස සිදුවීමට ඉඩ ඇත. එවැනි මන්දායුෂ ඇති අය හතේ කුජ සිටියත් නැතත් අකාලයේ මැරෙනවාමය. එය වළක්වන්නට ශක‍්‍ර දෙවියන්ටවත් බැරිය.

කුජ හතේ සිටි පමණින් සැමියාට හෝ බිරිඳට විපත් සිදුවන්නේ නැත. එසේ සිදුවීමට නම් තවත් කරුණු කාරණා කිහිපයක් එයට එකකු විය යුතුමය. එය මරු කපොල්ලක් බවට පත්වන්නේ එවිටය. එසේ නැතුව කුජට පමණක් තනිවම හතේ නෑයා මැරීම කළ නොහැකිය.

කුජ ග‍්‍රහයා හතේ සිටියදී හෝ කුජට හත පෙනුණ විටදීත් නියමිත වයසේදී හෝ ඊට පෙර විවාහ දිවියට ඇතුළුවන ඡන්මීන්ගේ ප‍්‍රමාණය වැඩි අගයක් ගන්නා බව අපගේ පර්යේෂණවලදී තහවුරු වී ඇත. බොහෝ විට එවැනි විවාහයන් ළාබාල විවාහයන් ලෙස හැඳින්විය හැකිය. පාසල් යන අවදියේදී රාහු මහ දශාවක් ලැබුව විට, කුජ හතේ සිටින තරුණ තරුණියන් බොහෝවිට පාසල් ගමනට තිත තබා හොර රහසේ පැනගොස්, විවාහ දිවියට ඇතුළත් වන අවස්ථා රැසක් අප සොයාගතිමු.

කුජ හතේ සිටින ඡන්මීන්ගේ විවාහය ප‍්‍රමාද වීම යහපත් නැති බව සෘෂීන් ප‍්‍රකාශ කර තිබේ. එසේ වීමෙන් විවාහ නොවී සිටීමේ ප‍්‍රවණතාවය වැඩි අගයක් ගනු ඇත. කෙසේ වෙතත් අඩු වශයෙන් විවාහ දිවියට ඇතුළත්වූ කුජ හතේ සිටින කාන්තාවන් තම සැමියාට අසීමිත ලෙස ආදරය කරන බව මගේ පර්යේෂණයන්ගෙන් සනාථ විය. එවැනි බිරින්දෑවරුන් තම සැමියාට විරුද්ධව වචනයක් හෝ කීමට තම ඥාතියෙකුට වුවද ඉඩ දෙන්නේ නැති අතර තම සැමියා වෙනුවෙන් දිවි පරදුවට තබා හෝ සටන් කිරීමට ඔවුන් මැළිවන්නේද නැත.

‘කුජ’ ග‍්‍රහයා අධිපතීත්වය දරන්නේ ලේ ධාතුවටය. එම කාරකත්වය මත කුජ තම සේවාදායකයා වන ජන්මියාට ශක්තිමත් බව හා කාමභෝගී බව නොඅඩුව ලබාදීමට සැදී පැහැදී සිටී. හත්වැන්න විවාහ ස්ථානය, (කලත‍්‍ර ස්ථානය) වන බැවින් ස්ත‍්‍රී, පුරුෂ දෙදෙනාගේ ලිංගිකත්වය හා එහි කි‍්‍රයාකාරකම්ද නියෝජනය කිරීමේ වගකීම පැවරී ඇත්තේද හත්වැන්නටය. එම නිසා අඹු සැමි දෙපළකගේ විවාහ දිවියේ සාර්ථක, අසාර්ථක භාවයද හත්වැන්නෙන් දැනගත හැකිය.

හත්වැන්නේ උපතින් කුජ පිහිටා ඇති පුද්ගලයා සතුව අධික කාමවේගයක් ඇති අතර එම තත්ත්වය ඡන්මියාට ආරෝපණය කරනුයේද අන් ග‍්‍රහයකු නොව, අඟහරු හෙවත් කුජ ග‍්‍රහයාය. එම අධික කාමවේගය හා කාම පිපාසය සංසිඳවීමට හැකිවන්නේ තවත් එවැනිම හතේ කුජ පිහිටන ලද විරුද්ධ ලිංගිකයෙකුට පමණි. එම හේතුව නිසාම හතේ කුජ පිහිටා ඇති කේන්දර සඳහා ගැළපෙන්නේ එවැනිම හතේ කුජ පිහිටා ඇති කේන්දරයක් බව පැහැදිලිය.

ඒ කතාව එසේ වුවද, හත්වැන්නේ කුජ දුර්වල (මිථුන, කටක, කන්‍යා, තුලා යන රාශි වල) පිහිටීමෙන් කුජගේ බලය හීන වන අතර කුජ හතට කුජ හතේම, කේන්දරයක් අවශ්‍ය වන්නේ නැත. නමුත් ගුරුගෙන් හෝ සිකුරුගෙන් ග‍්‍රහ දෘෂ්ටියක් නොලබා, නීචව, සතුරු, දුර්වලව සිටියහොත් දික්කසාදයකින් හෝ ද්වේශ සහගත ලෙස අත්හැර යෑමක් සිදුවීමට බොහෝදුරට ඉඩඇති අතර එක් අයෙකුගේ මරණය පවා සිදුවීමට එය හේතුවක් වනු ඇත. එසේ සිදුවන්නේ හතේ කුජ පිහිටීම නිසාම නොව, මියයන කලත‍්‍රයාගේ මරණය සඳහා විශ්වය විසින් සපයාදුන් කේන්ද්‍රීය සාධක සමඟ ‘‘කර්මය’’ සමපාත වීමෙන්ය.

කුජ හතේ සිටින අය සමඟ හවුලේ කටයුතු කිරීම තරමක් අපහසුය. තද වචන පාවිච්චි කරන මොවුන්, සමහර අවස්ථාවලදී යමක් ඉදිරිපත් කරන ආකාරය වුවද ආවේගශීලී බවින් යුක්තය. විටෙක ප‍්‍රකෝපකාරී ලෙසින් කටයුතු කරන මොවුන් සමහර දේවල් වගකීමකින් තොරව කටට ආ පලියට කියා දමයි. මෙමගින් අන් අයගේ සිත් රිදවන බවක් මොහොතකටවත් නොසිතයි.

කුජ හතේ සිටින මෙවැන්නෝ උපතින්ම ආඩම්බරකාරයෝය. උද්ධච්චකම ඇඟ පුරාය. එලෙසින්ම මහන්තත්තකමද එමටය. හැම විටෙකම සිතනුයේ තමා අන් අයට වඩා උසස් යැයි කියාය. මොනර ලීලාවෙන් ජීවත්වන්නට උත්සාහ කරන මෙවැන්නත්, තමා පිළිබඳව අධිකත්කේසරුවකින් කටයුතු කරන්නන් බව අපගේ පර්යේෂණ මගින් සොයා ගැනිණි. හතේ කුජ සිටින අයගේ ප‍්‍රධාන දුර්වලකම ලෙස පෙන්වා දිය හැක්කේ කෝපගැන්වුණ විටදී මොවුන් ඉතාම දරුණු කි‍්‍රයාවන්ට පෙලඹෙන බවය.

කුජ හතේ සිටින පුද්ගලයන් පිළිබඳව කරන ලද පර්යේෂණවලදී කටක ලග්නයේ ගුරු පිහිටන ලද කේන්දරයක සත්වැන්න වූ මකරයේ කුජ පිහිටා තිබිණි. කටකයේදී ගුරු උච්චවූවාසේම, හත්වැන්න වූ මකරයේදී කුජ ග‍්‍රහයාද උච්චත්වයට පත්වේ. එම පුද්ගලයන් පි‍්‍රයමනාප, ආකර්ෂණීීය පෙනුමකින් යුත්, ධාර්මික මෙන්ම ත්‍යාගශීලී පුද්ගලයන් වන අතර උසස් මානසික තත්ත්වයකින් යුත් මිත‍්‍රශීලී අදහස් ඇති සමාජශීලී අය බව පසක් විණි. සහජයෙන්ම එවැන්නෝ ගමක හෝ ප‍්‍රදේශයක හොඳ නමක් දිනාගත් ප‍්‍රසිද්ධ පුද්ගලයන් බව විශ්වාසයෙන් පැවසිය හැක.

මෙහිදී උච්ච ගුරුගේ සත්තම දෘෂ්ටියට සත්වැන්නේ සිටි උච්ච කුජ ලක්වෙයි. මෙම පිහිටීම හේතුකොට ගෙන ‘‘කුජ දෝෂය’’ හෙවත් ‘‘කුජ භෞම දෝෂය’’ භංග වී යන බව සෘෂීන් ප‍්‍රකාශ කර ඇත. එලෙස කුජ දෝෂය අහෝසි කරවන ක‍්‍රම රාශියක් ජ්‍යොතිෂ්‍යයේ පෙන්වාදී තිබෙන බැවින් හතේ කුජ දුටු පමණින් ‘‘කුජ භෞම දෝෂ’’ ඇතැයි පැවසීමට ඉක්මන් නොවිය යුතුය. එය උගත් ජ්‍යොතිෂඥයාගේ සමාජීය යුතුකම වනු ඇත.

(මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ නොවරදවා බලන්න.)

පාරම්පරික ජ්‍යොතිෂවේදී, අංක විද්‍යාවේදී හා ගුප්ත විද්‍යාවේදී
කොටදෙණියාවේ ඩග්ලස්
නිමලවංශ, ගුණවර්ධන
බෝමුගම්මන පාර, උළුකඬේහන්දිය
හොරගස්මුල්ල, දිවුලපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment