අලුත් අවුරුදු සාහිත්‍යයත් එක්තරා සංස්කෘතික අංගයක් – මහින්ද කුමාර දළුපොත

දෙමළ සාහිත්‍ය කෘතිවල අලුත් අවුරුද්ද ගැන සඳහන් – මඩුලුගිරියේ විජේරත්න

“මේ අවුරුද්දේ කිරී ඉතිරෙන්ටයි – රටවැසියන්ගේ ආයු වැඩෙන්නයි
රට පුරාම අවුරුදු සිරි – මේන් බලන් එරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගේ මංගල්‍යයේ මේන් බලල්ලා
සිතගේ පැතුම් ඉටුවේ – මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ”

සිංහල හින්දු නව වසර පිළිබඳ සිංහල සංස්කෘතියට අනුව සම්මානනීය මහාචාර්ය මහින්ද කුමාර දළුපොත මහතා අප සමග බෙදා හදාගත් අදහස් සංක්ෂිප්තය පහත පරිදිය.

● අද අපි තරුණ වයසේදී තරුණයන් විධියට දකින අලුත් අවුරුද්ද සහ එදා ඔබ තරුණ වයසෙදි දුටුව අලුත් අවුරුද්ද මොනවගේද?

සිංහල - හින්දු අලුත් අවුරුදු සාහිත්‍ය
මහින්ද කුමාර දළුපොත

අවුරුද්ද බැඳී පවතින්නේ ගමත් සමග. නිදහස් ලෝකයක ජීවත් වුණු ගමත් සමඟ අපිට වඩා අපේ දෙමව්පියෝ අවුරුදු සැමරුවා. එයාලගේ දෙමව්පියෝ ඊටත් වඩා ජයට අවුරුදු සැමරුවා.

අලුත් අවුරුද්ද පොදු පිළිගැනීමට අනුව සම්මත තාරුණ්‍යයේ මංගල්‍යය ලෙසය. එහි ප්‍රධානතම සංස්කෘතික සාධකය අලුත් අවුරුදු කුමාරයා. කිසිම අලුත් අවුරුද්දක අපිට පරණ අවුරුදු කුමාරයෙක් හෝ අලුත් අවුරුදු ළදරුවෙක් හෝ අලුත් අවුරුදු මහල්ලෙක් මුණගැසෙන් නැහැ. සෑම අවුරුද්දකම මුණගැසෙන්නේ අලුත් අවුරුදු කුමාරයා. මේ කුමාර සංකල්පය තුළ පවතින්නේ තාරුණ්‍ය ය. අලුත් අවුරුද්ද තාරුණ්‍ය හා බැඳුණු මංගල්‍යයක් ලෙස හැඳින්වීමට ඒ හා බැඳුණු සිරිත් විරිත් හා චර්යා පද්ධතියක් ගොඩනගා ගැනීමට හේතු ගණනාවක් පවතිනවා. පළවෙනි හේතුව තමයි තාරුණ්‍ය කියන්නේ පල වර්ධනය කරන අවධිය. ඒ අවධියත් සමඟ තරුණ තරුණියන්ගේ විවාහය සහ නව පරම්පරාව බිහි කිරීම කියන දේ අවශ්‍යතාවයක් බවට පත්වුණා. මෙන්න මේ අවශ්‍යතාවයත් සමඟ බක්මහ මංගල්‍යයට මුලපුරන පදනම අපේ සමාජයේ ජනගත වෙලා පවතිනවා. එහි සත්‍යතාවයකුත් පවතිනවා. එනම් බක්මහ අලුත් අවුරුද්ද එළඹෙන විට ජන ක්‍රීඩා, ක්‍රියාකාරකම්, ආහාර සැකසුම් ක්‍රියාවලිය කාණ්ඩ ගැසී විනෝදවීම කියන මේ සියලු දේවල්වලදී තරුණ ප්‍රජාවට මුල් තැනක් හිමිවෙනවා.’

ඒ නිසා අපි ඕනෑම කෙනෙක් පෞද්ගලිකව අලුත් අවුරුද්ද ගැන වර්ණනා කරන විට මම අවුරුදු සැමරුවේ මෙහෙමයි, අපි අවුරුදු සැමරුවේ මෙහෙමයි කියලා කියනවා. ඒ සියල්ල ඔවුන් තරුණ අවධියේ ලද අත්දැකීම් වන්නේ තරුණ මදයෙන්, නිදහසෙන්, කෙළිදෙළෙන් ගතවුණු, ප්‍රේමණීය හැඟුම් පහළ වුණු කාලවකවානුවක් නිසා.

ඔන්න ඔය දේවල් තමයි අපි අලුත් අවුරුද්ද ගැන කතා කරන විට එය තාරුණ්‍යයේ මංගල්‍යය ලෙස සාකච්ඡා කරන්න හේතුව. නමුත් කිසියම් විදියකට එක් අවාසනාවක් පවතිනවා අද දවසේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන තරුණ ප්‍රජාවට තාරුණ්‍යයේ ජවයෙන් පිරුණු, උදාර අභිලාෂයන් සහිත අවුරුද්දක් මුණනොගැසීම හා තරුණ ප්‍රජාව තාරුණ්‍යයේ’ ජවයකින් බද්ධ නොවීම විශාල ඛේදවාචකයක් ලෙස මම දකිනවා.

● අවුරුදු නැකත්, චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳව සිංහල සංස්කෘතියට අනුව අපි කතා කළොත්?

ඔව්. ඕනෑම ජන සමාජයක ඇදහිලි, විශ්වාස පිළිබඳව විවිධ මාදිලියේ ස්වභාවයන් දැක ගන්න පුළුවන්. අලුත් අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් ඒ හා බැඳුණු විශ්වාස පිළිබඳ සාකච්ඡා කරන විට පළමු වන කාරණය තමයි සිරිත් විරිත් වටා ගොඩනැඟුණු නැකත් සම්ප්‍රදායක විශ්වාසයන්. විශේෂයෙන්ම නූතනයේ සූර්ය කේන්ද්‍රීය නැකත් වටා බැඳුණු සිරිත් විරිත් හා වත්පිළිවෙත් වලින් මේ අවුරුද්ද ගොඩනැගිලා තිබෙනවා. නැකැත් වලින් තොරව අවුරුද්ද අනුගමනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ එය ගහට පොත්ත සේ බැඳී පැවතීමයි. මේ අලුත් අවුරුදු නැකත් ජන විශ්වාස හා ඇදහිලි සමග බැඳී පවතිනවා. ලංකා සමාජයේ ජන විශ්වාස කොටස් කොට බැලූ විට එය දේව ඇදහිල්ල හා විශ්වාසය සමග එකිනෙක බැඳී පවතිනවා. එයට එක හේතුවක් අප සතුව කෘෂිකාර්මික සංස්කෘතියක් පැවතීම. අස්වනු නෙළා ගැනීමෙන් පසු ඊළඟ කන්නය තෙක් ඔවුන්ට නිදහසක් ලැබෙන කාලය විනෝදය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් නිසා ඔවුන් සතුටු වීමට එම කාලය යොදා ගන්නවා.

මෙන්න මේ කියන කරුණු මත තමයි බක් මහා මංගල්‍යය කියන සංකල්පය ගොඩනැගිලා තිබෙන්නේ. අන්න ඒ ගොඩනැගීමේ මූලිකම පදනම එහෙමත් නැත්නම් අරටුව බවට පත්වෙලා තිබෙන්නේ විශ්වාස සහ ඇදහිලි. නූතනයේ බලන විට හින්දු සංස්කෘතික සම්ප්‍රදාය සහ සිංහල බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදාය සහ ප්‍රදේශයේ දෙවි දේවතා සහ ජන කොට්ඨාසවල පවතින විශ්වාස යන කාරණා තුනම බලපාලා තිබෙනවා. නමුත් යටත් විජිත පාලන කාලය තුළවත් කිසිදු දෙයක් අප මේ සම්ප්‍රදාය තුළට එකතු කරගෙන නැහැ.

සූර්ය දේව වන්දනාව ශක වර්ෂ සම්ප්‍රදාය සමග ලාංකික සමාජය තුළ තැන්පත් වෙනවා. චන්ද්‍ර මාස ඇදහීම වෙනස් කොට සූර්ය දේව වන්දනාවට යොමු වීමත් සමග හිරු කුමාරයා ලෙස අදහන්න හුරුවෙනවා. ඒ නිසා ඇදහිලි විශ්වාස හා ජන විශ්වාස ලංකාව තුළ පවතින තාක්කල් අවුරුද්ද කියන එක අලුත් වෙවී ඉදිරියට යනවා.

සිංහල - හින්දු අලුත් අවුරුදු සාහිත්‍ය

● අතීත චාරිත්‍ර වාරිත්‍ර කාලීනව යම් වෙනසකට භාජනය වෙලා තිබෙනවා. එය වැඩිහිටි පරම්පරාව අතින් සිදුවුණු අතපසුවීමක්ද නැත්නම් කිසියම් යාවත්කාලීන වීමක්ද සහ ඒ දේවල් සිංහල සංස්කෘතියේ ඉදිරි ගමනට බලපා ඇත්තේ කෙසේද?

ඕනෑම සංස්කෘතියක් ඉදිරියට රැගෙන යෑමට කාලානුරූපීව වෙනස්කම් අත්‍යවශ්‍ය දෙයක්. කිසිදු’ ජන සමාජයක අතීතයේ ගොඩනැගුණු මූලික සිද්ධාන්ත රාමුවක් යටතේ පවත්වාගෙන යනු ලබන ඇදහිලි විශ්වාස, සිරිත්විරිත්, වත්පිළිවෙත් සහ ජන ජීවන සම්ප්‍රදායන් එලෙසින් ම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. එයට හේතුව සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ මිනිසාගේ ක්‍රියාකාරකම් සොබාදහමත් සමඟ ඒකාබද්ධව පැවතීම. එමෙන්ම’ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික කියන සියල්ල සමග ගැටෙමින් ඉදිරියට යෑම නිසා ඕනෑම සංස්කෘතික සාම්ප්‍රදායක් පවත්වාගෙන යන විට මුල ගොඩනැගුණු සම්ප්‍රදායට වඩා තවත් පරම්පරා එකක් දෙකක් යන විට ගොඩනැගෙන ස්වභාවය වෙනස් වෙනවා. ඊට හේතුව මේ සියල්ල ජනශ්‍රැතියට අයිති වීම සහ ජනශ්‍රැතිය යනු මුඛ පරම්පරාගතව පරපුරෙන් පරපුරට දැනුම එකතු කරගෙන පවත්වාගෙන යනු ලබන සම්ප්‍රදායක් වීමයි. එහිදී හඳුනා ගන්නා නිවැරදි මූල සම්ප්‍රදායක් ලෙස ඉදිරියට පවත්වාගෙන යනු ලබනවා. බක්මහ අලුත් අවුරුද්ද අලුත්වෙලා තිබෙන්නේත් පරම්පරා ගණනාවක් වැරදි වැරදි විවිධාකාර අත්දැකීම් අනුගමනය කිරීමෙන් වඩා නිවැරදි සංකල්ප පසුකාලීනව තහවුරු කර ගැනීම හා එම තහවුරු කරගත් සංකල්ප සමග සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යනු ලබනවා. ඒ අනුව සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ නිරායාසයෙන් අලුත් වෙමින් අලුත් මුහුණුවරක් ගෙන නව අත්දැකීම් එකතු කර ගනිමින් ඉදිරියට යන සම්ප්‍රදායක්. උදාහරණයක් විදිහට පැරණි සම්ප්‍රදායේ පැවති දිය බඳුන් පිදීමේ චාරිත්‍රය වෙනුවට නිවසට අමුත්තකු පැමිණියහොත් වතුර වීදුරුවක් අල්ලා බත් බුලත් සඳහා ආරාධනා කරනු ලබනවා. නමුත් වෙනස් වූවා යැයි කියා ප්‍රජාව මේ කිසිදු වටිනාකමක් බැහැර කරන්නේ නැහැ. ඔවුන් පවත්නා සමාජ හුරුකම්වලට නතුවීමක් සිදුවෙනවා.

● සංස්කෘතිය හා සාහිත්‍ය කියන්නේ එකිනෙක බැඳී පවත්නා දෙයක්. සිංහල සංස්කෘතිය හා සිංහල සාහිත්‍ය අතර පවතින සම්බන්ධතාවය මොන වගේද සහ සංස්කෘතික දායාද අනාගතය ගෙන යෑමට සිංහල සාහිත්‍යයෙන් ඉටුවන මෙහෙය කවරාකාරද?

සිංහල සාහිත්‍ය පෝෂණය වෙලා තිබෙන්නේ පාලි සහ සංස්කෘතික මූලාශ්‍ර හා දෙමළ මූලාශ්‍ර මෙන්ම යටත්විජිත වකවානුවේ ඉංග්‍රීසි මූලාශ්‍ර ආදියෙන් ය. ඒ හේතුවෙන් සිංහල සාහිත්‍ය පෝෂණය වීමේ යාවත්කාලීන මුහුණුවරක් අපට දැක ගැනීමට පුළුවන්. අපි ඉදිරියට යන විටත් නවීන ප්‍රවණතා කියන දේවල් සාහිත්‍යයට එකතු වෙනවා. සාහිත්‍යයක ස්වභාවය තමයි අලුත් අලුත් දේවල් එකතු කරගෙන ඒවා ස්වීයකරණයට ලක් කර ගැනීම තුළින් ඉදිරියට පත්වත්වාගෙන යෑම. ඒ නිසා මම හිතනවා සාහිත්‍ය ඉදිරියට පවත්වාගෙන යන්නේ මිනිස් චින්තනය මත කියලා. ඕනෑම රටක සංස්කෘතික චින්තනය පෝෂණය වන්නේ පවත්නා සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජීය සංදර්භය මත.

නව භාෂා, ආකල්ප, සංකල්ප පමණක් නොව සන්නිවේදනයෙන් යුතු නව ලෝකයකට දොරටු විවර වූ තාක්ෂණික සන්නිවේදන යුගයකට අපි පිවිසිලා ඉවරයි. මෙන්න මේ නව සන්නිවේදන ලෝකයේදී අතීතයෙන් පැවත ආ බොහෝ සිද්ධාන්ත අප විසින්ම බැහැර කරමින් ඒ හිස්තැනට අලුත් සංකල්ප එකතු කරමින් පවත්වාගෙන යනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ අපේ ලංකාවේ සිංහල සාහිත්‍ය පවා අලුත් වෙමින් ඉදිරියට යන ස්වභාවයක් අපට දැක ගැනීමට පුළුවන්. එහෙම නොවුනේ නම් අපේ සිංහල සාහිත්‍යය අපේ ඇස් පනාපිටම වළපල්ලට ගිය සාහිත්‍යයක් ලෙස අපට දැක ගැනීමට පුළුවන්.

සිංහල හින්දු නව වසර පිළිබඳ හින්දු සංස්කෘතියට අනුව දමිළ පරිවර්තක, සම්මානනීය ලේඛක මඩුලුගිරියේ විජේරත්න මහතා අප සමග බෙදා හදාගත් අදහස් සංක්ෂිප්තය පහත පරිදිය.

● අද අපි තරුණ වයසේදී තරුණයන් විධියට දකින අලුත් අවුරුද්ද සහ එදා ඔබ තරුණ වයසෙදි දුටුව අලුත් අවුරුද්ද මොන වගේද?

සිංහල - හින්දු අලුත් අවුරුදු සාහිත්‍ය
මඩුලුගිරියේ විජේරත්න

ඔව්. අද අලුත් අවුරුද්ද අලුත් වෙලා. මට මතක් වෙනවා හැට ගණන්වල හැත්තෑ ගණන්වල අවුරුද්ද. ඒ කාලේ අපි ගත කළේ දියුණු නැති රටක. අද වගේ නෙවෙයි අලුත් අවුරුද්දට රෙදි අරගෙන මිනිස්සු ගෙවල්වලට පයින් යනවා. ඉතින් ගමේ ඉන්න අම්මලා, අක්කලා ඔක්කොම එකතුවෙලා ඒ මනුස්සයා වට කරගෙන අලුත් රෙදි තෝරනවා. ඉතින් අලුත් ඇඳුම් විතරක් නෙමෙයි වළලු, සෙල්ලම්බඩු එහෙමත් ඒ මනුස්සයාගෙන් ගන්නවා. අපේ ගෙවල් ගමක නිසා ගෙවල් ගොම මැටි ගාලා සුද්ද පවිත්‍ර කරනවා. දැන් ගොම මැටි ගෙදරක් හොයාගන්න නැහැ. හැබැයි ටවුම ළඟ තියෙන ගම්වල මිනිස්සු රෙදි කඩවලට ගිහිල්ලා රෙදි ගන්නවා. මිනිස්සු වළං ගන්නෙත් කරත්ත වලින්. එහෙම තමයි අවුරුදු වලට ගමේ ගොඩේ මිනිස්සු ලෑස්ති වෙන්නේ. ඉතින් මේක වෙනසක් නෙවෙයිද? වර්තමාන අවුරුද්ද පේන්න තිබෙන නිසා ඒක විස්තර කරන්න ඕන නැහැ.

● අවුරුදු නැකත්, චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳව දමිළ සංස්කෘතියට අනුව අපි කතා කළොත්?

මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ සිංහල අවුරුද්ද අපට ලැබුණේ දකුණු ඉන්දියාවෙන්. දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් අලුත් අවුරුදු සමරනවා වගේම ලංකාවේ සිංහල බෞද්ධයන් අවුරුද්ද සමරනවා. දෙමළ හින්දුන් අවුරුදු සමරන්න හේතුව ඔවුන්ගේ විශ්වාසය වන්නේ ශිව මහා පුරාණයේ තිබෙන කතාවක් වන මහා බ්‍රහ්මයා ලෝකය මැව්වේ අප්‍රේල් 14 වෙනිදා සහ ඒ මැවිල්ල සෑම අවුරුද්දකම මෙහෙම සමරනවා කියලා කියවෙනවා. අනෙක් කාරණය නම් දෙමළ හින්දුන් සහ සිංහල බෞද්ධයින් පමණයි ජ්‍යොතිෂ්‍ය පිළිගන්නේ. මේ අවුරුද්ද ජ්‍යොතිෂ්‍ය හා බැඳුන එකත් නිසා ඒක ඒ දෙගොල්ලෝ සමරනවා. දෙමළ ක්‍රිස්තියානි, සිංහල ක්‍රිස්තියානි, දෙමළ මුස්ලිම් අය ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එයට සිංහල හින්දු අලුත් අවුරුද්ද නොව මා අදහස් කරන්නේ සිංහල බෞද්ධ දෙමළ හින්දු අලුත් අවුරුද්ද විය යුතුයි කියලා.

රජ කාලේ මතක් කළොත් මේ කියන වෙනස හඳුනාගන්න පුළුවන්. රජ කාලයේ අවුරුදු සමරපු හැටි ඩොයිලිගේ දිනපොතේ සඳහන් වෙන්නේ මෙසේය.

ඩොයිලිගේ දිනපොතේ 1815 මාර්තු 09 දින සඳහනේ තිබෙන්නේ මෙසේය. මොල්ලිගොඩ අධිකාරම් නිළමේ අලුත් අවුරුද්දට සුපුරුදු පරිදි දළදා මාලිගාවේ මණ්ඩපය ගොක්කොල හා කෙසෙල් ගස් ආදියෙන් සැරසිය යුතු බවය.

1815 මාර්තු 10 දින ඔහුගේ දින පොතේ මෙසේ සඳහන් වේ. අලුත් අවුරුදු සැමරීම ආරම්භ කිරීම වෙනුවෙන් මාලිගාව අලංකාරවත් උත්සවයක් පවත්වනු පිණිස කටයුතු සම්පාදනය කෙරිණි. රාත්‍රී නවයට අඩ පැයක කාලයක් සඳහා නාථ දේවාලය ගිය අතර එහි අධිකාරම්වරුන් දෙදෙනා හා අනෙක් ප්‍රධානීන් රැස්ව බෙහෙත් දියර සැකසීම අධීක්ෂණය’ කරමින්ය. බෙහෙත් දියර පිරවූ මැටි කල 2 බැගින් හෙට අළුයම විහාරයට මෙන්ම අධිකාරම්වරුන් දෙදෙනාගේ වලව්වටද යැවිය යුතුය. ඒ හිස තෙල් ගෑම පිණිසය. මේ සම්ප්‍රදාය දෙමළ සම්ප්‍රදායෙන් පැමිණියකි. අදටත් දෙමළ හින්දුන් අවුරුද්ද ලැබීමට ප්‍රථම බෙහෙත් දියර මිශ්‍ර ද්‍රාවණයකින් ස්නානය කර අලුත් අවුරුදු පිළිගැනීම සිදු කරයි. අපේ සිංහලයෝ හිස තෙල් ගෑම අවුරුද්ද අවසානයේ සිදුකරති.

ඩොයිලිගේ දිනපොතට අනුව අවුරුදු සංක්‍රාන්තිය පහන් තැටියක ආධාරයෙන් රජවාසල ගණිතයා ලබාදෙයි. එවිට නාථ දේවාලය හේවිසි ශබ්ද වලින් සහ කාලතුවක්කු වෙඩි මුර අටකින් සමන්විත ශබ්ද පූජාවක් පවත්වයි. එදා නැකතට ආහාර අනුභව කරති. නමුත් ආහාර අනුභව කිරීම නැකතට දෙමළ හින්දුන් සිදු කරන්නේ නැත.

රජ කාලයේ අවුරුද්ද නිමාවන්නේ රජතුමාට තෑගිබෝග දීමෙනි. එනම් 14 වෙනිදා හවස් භාගයේ’ රජතුමාට නිලමේවරුන්, දිසාභාර නායකයන් හා ඇමැතිවරුන් මෙසේ තෑගිබෝග දෙනු ලැබේ.

● අතීත චාරිත්‍ර වාරිත්‍ර කාලීනව යම් වෙනසකට භාජනය වෙලා තිබෙනවා. එය වැඩිහිටි පරම්පරාව අතින් සිදුවුණු අතපසුවීමක්ද නැත්නම් කිසියම් යාවත්කාලීන වීමක්ද සහ ඒ දේවල් දමිළ සංස්කෘතියේ ඉදිරි ගමනට බලපා ඇත්තේ කෙසේද?

වෙනස් වෙලා තිබෙනවා. සිංහල රජ කාලේ තිබුණ අවුරුද්ද නෙමේ දැන් තිබෙන්නේ. එයට අංග රාශියක් කාලීනව එකතු වෙලා තිබෙනවා. ඒ සමාජ ප්‍රගමනයේදී සමාජ පරිණාමය සමග සිදුවූවක්. එහෙම වෙනස් වෙන එකත් තමයි අවුරුදු සෙල්ලන් කියල උත්සව කිරීම සහ ලංකාවේ මුලින්ම ඇතිවුණේ 1912 දී. පසුව ගුවන් විදුලිය හා රූපවාහිනිය ඇතිවෙනවාත් සමග වෙනස් වුණා.

දෙමළ හින්දු සංස්කෘතිය සෑදී ඇත්තේ දේව වන්දනය මූලික කරගෙනය. ජ්‍යෝතිෂ්‍යයේ ඒ ඒ ග්‍රහයන් ඒ ඒ දෝෂයන්ට භාරදී දෙවියන්ට භාරදී ඇත. අනෙක් ග්‍රහයන්ටද පුද පූජා පවත්වති. හින්දුන්ට ජ්‍යොතිෂයෙන් තොර ලෝකයක් නැත.

● සංස්කෘතිය හා සාහිත්‍ය කියන්නේ එකිනෙක බැඳී පවත්නා දෙයක්. දමිළ සංස්කෘතිය හා දමිළ සාහිත්‍ය අතර පවතින සම්බන්ධතාවය මොන වගේද සහ සංස්කෘතික දායාද අනාගතය ගෙන යෑමට දමිළ සාහිත්‍යයෙන් ඉටුවන මෙහෙය කවරාකාරද?

දෙමළ සංස්කෘතිය දෙමළ සාහිත්‍යයේ කැඩපතක් කිව්වොත් නිවැරදි. පසුව දකුණු ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතිය ඔප්නැංවීමට සාහිත්‍ය බෙහෙවින් උපකාර වුණා. එකිනෙකෙහි සම්බන්ධතාවය මැනවින් විදහා දක්වන සාහිත්‍ය යුග තිබෙනවා. ඒ ඒ කාලවලදී බිහි වූ සාහිත්‍යයන් සංස්කෘතිය ඔප්නංවනවා. එමෙන්ම මෙම උත්සව මුලින්ම පවත්වලා තිබෙන්නේ සාහිත්‍ය කෘතිවල.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment