සියවස් ගණනක අතීතයකට පමණක් හිමිකම් කියන සිංහල අවුරුදු උළෙල පිළිබඳව වංශ කථා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍රයන්හි පැහැදිලි තොරතුරු ඇතුළත් වන බවක් සඳහන් නොවේ. එහෙත් ජෙට්ඨමූල මාසයේ‘නැකැත් කෙළිය’ නම් වූ උත්සවයක් පැවති බවට තොරතුරු ඇතුළත්ය. සාහිත්‍ය මූලාශ්‍රවල ඇතුළත් පුරාණ භාරතයේ පැවති ‘ගිරග්ග සමජ්ජ’ විනෝද උළෙල අනුකරණය කරමින් මෙහිද වාර්ෂික ප්‍රීති උත්සවය පවත්වන්නට ඇතැයි අනුමාන කෙරේ.

‘පුරාණ නැකැත් කෙළිය’ වර්තමාන බකමහ උළෙල ලෙස අනුමාන කළ හැක්කේ, අදද එය පූර්ණ ලෙසීනැකැත් චාරිත්‍ර’ ආශ්‍රිතව පවත්වාගෙන යන බැවිනි.

පසුගිය සියවසෙහි මුල් දශක ත්‍රිත්වය ගෙවීගිය පසු දිවයිනේ පළමු විද්‍යුත් මාධ්‍යය ලෙස සැළකිය හැකි ‘ලංකා ගුවන් විදුලිය’ දොරට වැඩීම සිදුවූ අතර එතැන්හි සිටීබක්මහ උළෙල එළඹීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ නව ප්‍රවණතාවයක් හට ගැණිනි.

සාම්ප්‍රදායික කෙළි සෙල්ලම්, නැකැත් චාරිත්‍රවලට සූදානම් වීම, මේ අරභයා රාජ්‍ය යාන්ත්‍රනයේ මැදිහත්වීම, විවිධ සංවිධානයන් විසින් පවත්වන්නට යෙදෙන උත්සව ආදිය පිළිබඳව ශ්‍රාවකයා වහා දැනුවත් කෙරුණේ එකී මාධ්‍යයට ආවේනික ‘සංගීතමය විචිත්‍රාංගයන්’ ද යොදාගැනීමෙනි. ඒ සඳහා ‘සිංහල අවුරුද්ද’ පාදක කොටගෙන නව ගීත සාහිත්‍යයක් නිර්මාණය කෙරුනු අතර, ‘බක්’ මාසය උදාවූ මුල් දින කිහිපයේ සිටම, ‘අවුරුදු ගීත’ වාදනය සිදුවිය.

බක් මාසය හැඩ කරන ගී රස විත්ති

මින් අඩසියවසකටද පෙර යුගයකදී මුද්‍රිත ජනමාධ්‍යයට ද වඩා කිහිප ගුණයක ප්‍රබලත්වයකින් යුතුව වර්තමානයේ සමාජ මාධ්‍යය අත්කරගෙන ඇති ජනප්‍රියතාවය හිමිකරගෙන සිටියේ ‘ගුවන් විදුලිය බවට වත්මන් වැඩිහිටියන් සාක්ෂි දරනු ඇත. අද දිනයේ රූපවාහිනි මාධ්‍යය විසින් සිදුකරන අවුරුදු නැකත් වේලාවන් අවසන් තත්පරය දක්වා විකාශය කිරීමේ ක්‍රමවේදය එදා හඳුන්වාදී ක්‍රියාත්මක කළේ ගුවන් විදුලියයි. අවුරුදු සමයක අසිරිය විඳගන්නට, එහි උණුසුම ළමා ළපටි – තරුණ ප්‍රජාවට හැඟෙන්නට ඉඩ හරින්නට පරිසරයේ සහ ප්‍රජාවගේ ක්‍රියාකාරකම් හැරුණුවිට ප්‍රබලව ක්‍රියාත්මක වූයේ ගුවන් විදුලි මාධ්‍යයයි.

‘ඊට මහෝපකාරී වූ සිංහල අවුරුදු ගීත සාහිත්‍යය පිළිබඳව සටහනකි මේ.’

ගුවන් විදුලිය මාධ්‍ය ආයතනයක් ලෙස, තමන්ගේම ගීත පටිගත කිරීමේ ක්‍රමවේදය දියත් වූයේ 40 දශකයේ මධ්‍ය භාගයේ සිට බව කියැවෙයි. ඊට මුල්වූයේ එදවස භාරතයේ සිට සංගීත විෂයේ පුළුල් ලෙස හදාරා, සුදුසුකම් සපුරා සියරට පැමිණි සංගීතඥ සුනිල් සාන්තයන්ය. ඔහුගේ ‘ඕලු පිපීලා වෙල ළෙලදෙනවා …….’ එහි නිර්මාණය කළ පටිගත කළ මුල්ම ගීතය ලෙස හැඳින්වෙයි. එසමයේ ශ්‍රාවකයන් එක රැයින් වසඟ කරගත් ඔහුගේ ගීත ආරේ හෙළ බොදුණුවන්ගේ මහා ජාතික උළෙල අරභයා ගැයුනු නිර්මාණයක් වෙයි. අන්තර්වාද්‍ය සහ පසුබිම් සංගීත ඛන්ඩ පමණ ඉක්මවා යොදාගෙන සිය ස්වභාවික ගී හර යටපත් කර දැමීම පිළිකෙව් කළ ඔහුගේ එදවස සෑම ගීතයකම පාහේ ඉතා පැහැදිලිව, පිරිසිදුව සුනිල් ගී හර නැඟෙයි.

සිංහල අවුරුද්දේ….. මංගල ගී සද්දේ…
සිංහල අවුරුද්දේ….. ඔංචිලි හැම පැත්තේ…..

(රචනය, සංගීතය – සුනිල් සාන්ත)

පනහ දශකය (50) ගෙවී යද්දී, ලාංකිකයන්හට සිය මව්බසින් පළමු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය වූ ‘සිනමා කලාව’ තිළිණ වී දශකයක් ගෙවෙමින් පැවති අතර, එකී මාධ්‍යය කලාව කරා රොදබැඳ ගත් ඔවුහූ වැළ නොකැඩී එදා බසින් ‘බයිස්කෝප්’ නරඹන්නට එක්රොක් වූහ. විවේකයෙන් විනෝදයෙන් ගත කරන්නට වඩාත් නැඹුරු වූ බක්මහේ සිංහල අවුරුදු සමය ඉලක්ක කොට වඩ වඩාත් සිනමා කෘති එළිදක්වන්නට නිෂ්පාදකයෝ වළි කෑහ. කථා පුවතට කිසිසේත් සම්බන්ධ නොවුනද, ‘අවුරුදු’ ගීයක් දෙකක් ඊට ඇතුළත් කළේ නම් මැනැවැයි සිතන්නට ඇත.

1964 වසරේ අප්‍රේල් මස 04 දින තිරගත වූ ‘ධීවරයෝ’ සිනමාපටයෙන් එළිදුටු ගීයක්, පසුකාලීනව ‘සිංහල අවුරුදු ගීත කලාවේ’ සංකේතය බවට හැරිනි. බොදුණු ගීත සාහිත්‍යයේ මුදුන් මල්කඩ බඳු ගීත රැසක් ගැයූ ඉස්ලාම් භක්තික ‘මොහිදීන් බෙග්’ ශිල්පියා ඇතුඵ එදා ගායන ලොවේ ජය කෙහෙළි බැන්දූ ‘ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා’, ‘ලතා වල්පොළ’ පිරිස ඊට එක්විය. අදද මාධ්‍යයෙන් සහ අවුරුදු ක්‍රීඩා උළෙලකින් සවන වැකෙන එය හැට වසරක අවුරුදු මිහිර සිහි කැඳවයි.

කොවුලා බටලී පිඹිනවා කොට්ටෝරුවා බෙර ගහනවා….
ඒ මැදටයි කයිතාලම අවිච්චියා එහි නටනවා….
ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා …….
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔන්චිල්ලා….

(ගී පද – කරුණාරත්න අබේසේකරගෙනි)

සිනමා කලාවේ ඉහත කී ප්‍රවණතාවය 70 දශකයේ උපුටා දැක්විය හැකි අවස්ථාවන් අතර 1979 නොවැම්බර් මස තිරයේ ඇඳුණු මහඇදුරු සුනිල් ආරියරත්න ගේ ‘පොඩි මල්ලි’ සිනමා කෘතිය උදෙසා ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවංගත ධර්මසිරි ගමගේ සූරීන් ලියූ ගීතයක් වෙයි. ඉහත ධීවරයෝ සිනමා පටයේ ගීතයේ රූපක අකෘතිමය ස්වරූපය එහිද දක්නට හැකිය. සිංහල සිනමා ගීතාවලියේ දුර්ලභ නියෝජනයක් ලද ගායන ශිල්පී නැසීගිය ඩෙස්මන්ඩ් ද සිල්වා ගැයූ එහි සංගීත නිර්මාණය ආචාර්ය වික්ටර් රත්නායකගෙනි. බයිලා වේග රිද්ම ගී ආර ඇසුරේ ගීත ගැයූ ඩෙස්මන්ඩ් ද සිල්වා, සිය සුපුරුදු රටාවෙන් බැහැරව සිංහල සිනමා ගීතයකට දායකත්වය දැක්වූ එකම අවස්ථාව මෙය වේ දැයි විමසනු වටී.

බක් මාසය හැඩ කරන ගී රස විත්ති

සිංහල ගැමි ජනතාව එදවස සිය ජාතික මහෝත්සවය සැමරූ අයුරු එහි පද පේළි අතරට ගොනු කර ඇත්තේ පාරම්පරික ජාතික කෙළිදෙලෙන් සමන්විත ‘සැබෑ අවුරුද්ද’ කවරාකාරයේද යන්න මනා ලෙස මතුකර දෙමිනි. අලුත් අවුරුද්දේ සුවිශේෂීත්වය, සිංහල සංස්කෘතිකාංග, ඇවැතුම් පැවතුම්, ගමක වෙසෙන ඥාතීන්ගේ අව්‍යාජ අන්තර් සබඳතාවයන් ගීයකට හකුළුවා දැක්වූ නිදසුන් අතර කැපී පෙනන එය මේ ගණයේ ගීත අතර වඩාත් සුන්දර පබැඳුමකි.

ඔංචිලි වාරම් කියා ළමිස්සියන් නැළවුනා……
ආච්චි සුදු හාමිනේ අග්ගලා පොඩි හාමිනේ….
කදේ වැටී නෑ ගමනින් ගෙදරට අද පැමිණුනා….
සුබ අවුරුද්දක් කියා ඔක්කොම වස්දොස් ගියා…
අං ඇදලා පොල් ගසා ජල්ලි ජකිරි ජල්ලියා …..
අතිරස නැන්දම්මලා සුවඳැල් මාමණ්ඩිලා ….
මේසේ උඩදි යාළු වෙන්න බලං හිඳං හිනැහුනා…..
රංචු ගැසී පන්චි කවඩි පොළන හිනාවයි….
අපේ ගමේ මල් පීදෙන නැකැත් වෙලාවයි…
දොන්ත දොතොං රබන් හරින් අවුරුදු කුමරි …
කිරි උතුරා ගමට වඩින නැකැත් වෙලාවයි…

ජනප්‍රිය සිනමා රැල්ලේ ජය දද නැංවූ ‘සේන සමරසිංහ’ කලාකරුවාගේ කෘති පෙළ අතර රැඳුන ‘චංචල රේඛා’ ලාංකීය සංස්කෘතියේ සොයුරු සබඳතාවය පිළිබඳව තේමාවකින් සැරසිගත්තේය. 1981 වසරේ දී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණවූ එහි මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්‍රමසිංහ ගේ

ගීයකට අවුරුදු අසිරියේ පද බැඳුම එක්කළේ ආචාර්ය අජන්තා රණසිංහයන්ය. ස්වර රචනය සරත් දසනායකයන්ගෙනි.

රබාන රත්වෙන නැකැත් වෙලාවට නළාව පිඹහං කොහෝ කොහෝ…………..
මී අඹ අත්තේ කොහෝ කොහෝ දොළාස් මහේ මඟුල් දොහේ……..

60 දශකය ගතවෙද්දී, ‘මහගමසේකර – පන්ඩිත් අමරදේව’ සුසංයෝගය දලු ලා වැඩී පැතිර යමින් පැවති අතර, දේශීය ජන සංගීත රටා, තමා ප්‍රගුණ කළ උත්තර භාරතීය රාගධාරි සංගීත කලාව සමග මුසුකරමින් අමරදේවයෝ සංගීත පර්යේෂණ කලාවක නිරත වූයේ ගුවන් විදුලියේ ‘මධුවන්ති’ වැඩසටහන ඔස්සේය. සහස්‍ර වසර ගණනක දුරාතීතයේ සිට මෙකී යුගයේදී පවා උතුම් ගොවිතැන ජීවනෝපාය කරගත් ගැමි ජනතාවකට මෙය නිසැකවම ආසිරි පැතුමක් ම වන්නට ඇත.

කරන කියන කියන වැඩ කටයුතු සිතු ලෙස ඉටුවන්නයි…..
වහින වැස්ස ගලා ගොසින් ගොඩම සරු වෙන්නයි…
පැහෙන ගොයම රන්වන් වී කරළින් බරවෙන්නයි…
ලබන අලුත් වසර ලොවට සුබසෙත සලසන්නයි…

නව වසරේ නව හිරුගේ නව සඳුගේ කැළුම් බලා…..
රස මිහිරෙන් … යස ඉසුරින් ..තොස වඩමින් උදම්වෙලා…
සිතුම් විමන එළිදල්වා පැතුම් පතමු ලක් දනහට උදම් වෙලා…………..

(මහගම සේකර)

චාරිත්‍රානුකූලව අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීම අකුරටම ඉටු කළ දනන්, ඒවාට සැරසෙන්නේ දින ගණනාවක සිටය. ඖෂධීය සංයෝග සකස් කරගෙන හිසතෙල් ගෑම මෙන්ම එකී වසරට නියමිත නැකැත් වේලාව අනුව ‘ස්නානය’ කිරීම ආදී මෙකී කටයුතු නොපිරිහෙළා අදටත් වඩා අතීතයේදී සිදු කළ බවට තොරතුරු එමටය. පන්ඩිත් අමරදේවයන් ගේ ජන ගීත සමුච්ඡය නියෝජනය කළ තරමක් අප්‍රකට නිර්මාණයක මේ බව මතුකර දක්වයි

දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලූ……………
සේලේ ඇඳලා නෙරිය තියලා මිදුලේ සක්මන් කරයි කලූ……….
දහසක් දීලා වළලු තනාලා දෑතේ පටලා බලයි කලූ……
දුනුකේ මලසේ උළුගෙයි ඇඳිපිට ඔළිඳ කෙළින සැටි බලන් කලූ….

ගොවීන් සිය අස්වනු කපා ගෙට ගෙන ඊළඟ කන්නය එළඹෙන තෙක් ලැබුණු ‘බක්මහ’ විරාමය ගහකොළ මලින් ඵලින් බරවී, සොබාදහම සුවපත් වන වසන්ත සමයයි. වාරයට ඵල හටගන්නා දේශීය තුරුවැල් සිය අතුපතර මල් ඵල ගැන්වීමේ අසිරිය අරිසෙන් අහුබුදු කවියාගේ පෑන් තුඩින් සටහන් වූයේ මින් අඩසියවසකටද එපිටදීය. සුනිල් සාන්තයන්ගේ හඬින් වරෙක රසගැන්වුනු එය පසුව පන්ඩිත් අමරදේවයන් විසින් වඩාත් මධුරතර ගැයුමකින් එළිදැක්විය.

බක් මාසය හැඩ කරන ගී රස විත්ති

මල් මල් ගුමු ගන්වන්නී………..
මී වදවල පැණි පුරවන්නී….
කුරුළු සරින් කන් පිනවන්නී…
මුළු ලොව උයනක් කරවන්නී…..

ජෝර්ජ් ලෙස්ලි රණසිංහ නම් වූ කෘතහස්ත පුවත්පත්කලාවේදියාණෝ ගී පද රචනා කලාවේ පෙළහැර පෑවේ සිනමා ගීතයේ පමණක් නොවේ. ඔහු ලියූ අරුත්බර ගී ගුවන් විදුලි ගායකයන්ගේ හඬින් ද ගැයුනු වාර ගණන මහත්ය.

සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි…
යලට මහට කෙත්සරු වී පැහෙන්නයි…
ගොයම් කරල් රන් පාටින් දිළෙන්නයි…
අවුරුද්දේ සුබ ආසිරි ගෙනෙන්නයි…
නවහිරු පායා නවසඳු පායා….

(සංගීතය – බන්දුල විජේවීර, ගැයුම එඩ්වඩ් ජයකොඩි සහ රෝහණ බෝගොඩ ශිල්පීන් විසිනි)

දිවංගත ආචාර්ය ලයනල් රන්වලයන් විසින් සාම්ප්‍රදායික ජනගී ඇසුරෙන් සිදුකළ නව නිර්මාණ පෙළකින් මෙම ‘අවුරුදු ගීතාවලිය පුළුල් වූයේ නව සහස්‍රකයේදීය. යුගයක් ගෙවීගොස්, නව පරපුරක ආගමනයෙන් විකසිත වූ රූප මාධ්‍ය ජාලයේ සංගීතමය විචිත්‍රාංගයන් හැඩවෙන්නේ ඔහුගේ නිර්මාණයන්ගෙනි. රූපවාහිනි මාධ්‍යය ඉලක්ක කොටගෙන නර්තනාංග සමග ඉදිරිපත් කෙරෙන ‘රන්වල බළකායේ’ නිර්මාණ වත්මන් අවුරුදු සමය ඔපවත් කරයි.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment