ගිරුවාපත්තුවෙන් ඇමරිකාවට

238

කර්තෘ : මහාචාර්ය කේ. ඒ. එස් . වික්‍රම

රටේ සාහිත්‍යයේ විවිධාංග අතරෙහි පුද්ගල චරිතාපදාන යනුවෙන් වෙන් කරගත හැකි තරම් ස්වයං ලිඛිත චරිතාපදාන බිහිව තිබෙයි. අතීතය කෙසේ වෙතත් අනගාරික ධර්මපාල ලියූ දිනපොත් සටහන් නිතර නිතර භාවිතයට ගැනෙන අතර සාහිත්‍යධරයන් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ගේ උපන්දා සිට මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ කුමාරතුංග මුනිදාසගේ පියසමර ඉතා වැදගත් චරිතාපදාන සාහිත්‍යයට එක් වූ කෘති වෙයි. පරිපාලනයෙහි නිරත වූ විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් ද තම අත්දැකීම් ඇසුරෙන් ලියා ඇති දේ රසවත්ව කියවිය හැකි අපූරු ග්‍රන්ථ වෙයි. ලීල් ගුණසේකරගේ ග්‍රන්ථයක් වන අත්සන සහ පෙත්සම මහ දිසාපති වරයෙකු ලෙස රජරට ප්‍රදේශයේ සේවය කිරීමේ දී ලද රාජකාරිමය අත්දැකීම් ඇසුරෙන් ලියා ඇති වැදගත් ග්‍රන්ථ වෙයි.

මෙම සාහිත්‍යයට මහාචාර්ය කේ.ඒ.එස්. ලියා ඇති ගිරුවාපත්තුවෙන් ඇමෙරිකාවට නමැති ග්‍රන්ථය එක හුස්මට කියවා අවසන් කළ හැකි කෘතියකි. කාරණා කිහිපයක් නිසා ම මේ ග්‍රන්ථය පිළිබඳව යමක් ලියා තැබීම පඨකයන්ට වැදගත් වනු ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වඩාත් කෙටියෙන් පැවසුවහොත් මාතර නගරාසන්නව සාමාන්‍ය පවුලක උපත ලබා අන්ත අසරණ අත්දැකීම්වලට ලක්ව ධෛර්යයෙන් ගොඩනැඟී උපාධිධරයකු ව ගුරු දිවිය අරඹා පරිපාලනයට බැඳී දිසාපතිවරයෙකු වී ගිරුවාපත්තුවේ ජනතාවට සුවිශාල සේවාවක නිරතව ස්වෝත්සාහයෙන් ඇමරිකාව වෙත ගොස් ආචාර්ය උපාධිය ලබා එහි සරසවියක මහාචාර්ය ධුරයට පත් වීමේ ගමන්මඟ ඔහු මෙහි විවරණය කරයි. මේ ග්‍රන්ථය නූතන ශ්‍රී ලාංකේය යොවුන් පරපුර අනිවාර්යෙන් කියවා බැලිය යුත්තේ අලස කම්මැළි නැඟී සිටීමේ වීර්යයෙන් තොර එකතැන පල්වෙන ජාතියකට මෙයින් පෙන්වා දෙන නැඟී සිටීමේ වීර්ය හෙවත් උට්ඨාන වීර්යය හේතුවෙනි.

විසිවන සියවස මැද භාගයේ ලංකාවේ දකුණු පළාතේ ග්‍රාමීය ජන දිවිය හඳුනාගැනීමෙහි ලා මෙහි එන තොරතුරු අතිශයින් ම වැදගත් ය. ඒවා අතරෙහි කලාත්මක කුසලතා රැසකින් එළිය වන වෙසක් උළලේ තොරතුරු නූතන යාන්ත්‍රික ජීවිත හා නිර්මාණාත්මක යුගය වෙන්කොට හඳුන්වා දීමකි. මාතර නගරය වාමාංශික දේශපාලනයේ ඉතා මැදිහත් නගරයක් වන්නේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ නිසා ය. ඔහු වට පිටාවේ සමසමාජ කොමියුනිස්ට් දේශපාලන ක්‍රියාකාරකම් සාකච්ඡා කෙරෙන්නේ සමාජ විද්‍යාඥයකුගේ විවරණයක් ලෙසින් ය. අගහිඟකම් මධ්‍යයේ වුවත් ආස්වාදනීය හා සතුටින් ජීවත් වූ සමාජයක වතගොත අනාවරණය කරන කතුවරයා එකල දැඩිව පැවැති කුලභේදය නිල්වලා පසුබිමේ ගලාගිය ගංවතුර ආදිය ද විවරණය කරන්නේ නූතන සමාජ වටපිටාවේ උඩුකුරුව ද අපට සිහි ගන්වමිනි.

ලංකාව වර්තමානය වනවිට වල්මත් වූ අධ්‍යාපනයකින් විනාශවී යන වටපිටාවක එදා යුගයේ කෙතරම් සාරවත් අධ්‍යාපනයකින් සැබෑ දක්ෂයන්ට ඉස්මතුව පැමිණෙන්නට තමන්ට විද්‍යා අධ්‍යාපනයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මඟ පෙන්වූයේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයයි. ඊට සමගාමීව මාතර නගරය කේන්ද්‍ර කොට පැවැති සියලුම පාසල්හි අධ්‍යාපනය උසස් මට්ටමක පැවැතිණි. ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයාගේ කාලයෙහි ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි… අප නිජභූමිය ලංකාවයි’ යන වැඩ ගීතය තුළ රට සරුසාර කළ ගොවි සිසු පරපුරක අභිමානය ද මෙහි සිහිගන්වයි.

දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර් ද සිල්වා වැන්නන්ගේ මූලිකත්වයෙන් ගොඩ නැඟුණු වාමාංශික දේශපාලන සමාජය යටත් විජිතයට එරෙහිව ක්‍රියාත්මක වීමත් සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල ආරම්භය සහ ඊට එරෙහිව බණ්ඩාරනායක දේශපාලනය ද ඔහුගේ ඝාතනයෙන් පසු ලංකා දේශපාලන ගමන්මඟ වෙනස්ම ආකාරයකින් විකාශනය වූ අයුරු කතුවරයාගේ විවරණයට හසුවෙයි.

මෙම කෘතිය ආරම්භක කොටසෙහි වඩාත් වැදගත්ම විවරණය වන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ ඒ පසුබිමේ සිරිමා බණ්ඩාරනායක රජය සංවර්ධන යුගයක් ක්‍රියාත්මක කළ ආකාරයයි. ගිරුවාපත්තුවේ උප දිසාපතිවරයෙකු ලෙස මෙම කතුවරයා එම වැඩසටහනට ක්‍රියාකාරීව සම්බන්ධ වූ ආකාරයක් එමෙන්ම එය ගැමි ජන දිවිය නඟාසිටුවීමට කළ බලපෑමත් ඔහුගේ විවරණයට යොමු වෙයි.

ආචාර්ය උපාධියක් සඳහා ඇමරිකානු සරසවියකට පිටත්ව යෑම එක්තරා සංවේගාත්මක අභියෝගාත්මක සංසිද්ධියක් ලෙස ඔහු වාර්තා කරයි. ඇමරිකාවේ දී අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන්නට වූ ආකාරයත් කෙමෙන් කෙමෙන් ඔහු එම දිවියට හුරු වන ආකාරයත් තම ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු ඉතා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිදුකර ආකාරය නූතන විද්‍යාර්ථීන්ට සපයන්නේ බලවත් උත්තේජනයකි.

බිරිය දිවියක සාර්ථකත්වයේ මුදුන් පෙත්තතට පැමිණ ඇති ඔහු සාර්ථක යුගදිවියක් තුළ ශක්තිසම්පන්න බිරිඳකගේ යෝධ සෙවණැල්ල ඔහුගේ දියුණු වේ ප්‍රධාන බලවේගය වූ ආකාරය ඔහු අවධාරණය කරය.ි එමෙන් ම තම දරු දෙදෙනා ද උසස් අධ්‍යාපනයෙන් පිරිපුන් කොට ශ්‍රී ලාංකේය මෙහෙවරට යෙදවූ ඔහු හිනිදුම්පත්තුවෙහි තේ වතු හිමියෙක්ව ජීවිතයේ සැදෑ සමය සතුටින් ගෙවන්නට බලාපොරොත්තුවෙන් සිටී.

සැබැවින්ම නූතන නැඟී සිටින්නට වෙර දරන තරුණ පරම්පරාවට මෙම ජීවන චරිතාපදානය යෝධ උත්තේජනයක් සපයන ග්‍රන්ථයකි.

ගිරුවාපත්තුවෙන් ඇමරිකාවට

● මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
සිංහල අධ්‍යයන අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment