ස්කූටියේ ගිය පොලිස් නිලධාරිනිය ටිපර් රථයට බිලි

398

ගලේවෙල තලකිරියාගම පන්සල අසලදී ස්කූටි වර්ගයේ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිය පැදචූ තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මරුමුවට පත්වී තිබේ.

පෙරේදා (10 දා) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි චන්දිමා දිල්රුක්ෂි රණසිංහ (12360) නමැති කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

24 වැනි වියේ පසුවූ ඇය ගලේවෙල, ඇතාබැඳිවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය කියයි.

ඇය නිවාඩු ලැබ නිවසට පැමිණ සිට තිබේ. එහිදී පෞද්ගලික අවශ්‍යතාවයකට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් 29 හැවිරිදි ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විපුල බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රසයිඩීන් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment