දිනූ නිදහස අර්ථවත් කළ 56 ජයග්‍රහණයේ පුරෝගාමියා පිලිප් ගුණවර්ධන

109

අපේ රටේ ඉතිහාසයට බලපෑම් කළ විශිෂ්ට පුතෙකු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු, වීරත්වයෙන් හෙබි පෞරුෂයක් සහිත මිනිසෙකු වූ ද ශ්‍රී ලංකාවේ සමාජවාදයේ පියා ලෙස හා බොරළුගොඩ සිංහයා ලෙස හැඳින්වුණ පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුම 2024 මාර්තු 26 වන දිනට යෙදී තිබේ.

පිලිප් උපත ලැබුවේ 1901 ජනවාරි 11 වන දින හේවාගම් කෝරලේ බෝරළුගොඩයේදී ය. ඔහුගේ පියා හේවාගම් කොරළයේ විදාන ආරච්චි පදවිය හෙබවූ ප්‍රතාපවත් සිංහල බෞද්ධ නායකයකු වූ දොන් ජාකොලිස් රූපසිංහ ගුණවර්ධන බොරළුගොඩ රාළහාමිය. ඔහුගේ බිරිඳ ලියෝනාරා ගුණසේකර මහත්මියය. පිරිමි ළමයින් තිදෙනකු හා ගැහැණු ළමයින් හත් දෙනකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා පිලිප් ය.

පිලිප් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බොරළුගොඩ පන්සලෙන් සහ ඔහුගේ පියා විසින් ඉදිකරන ලද කළුඅග්ගල සිද්ධාර්ථ විද්‍යාලයෙනි. ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ මොරටුව හි ප්‍රින්ස් වේල්ස් විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ය.

බොරළුගොඩ රාළහාමි යනු පුරාණ සිංහල උරුමය ගැන ආඩම්බර වන භක්තිමත් බෞද්ධයන් ලෙස තම දරුවන් ඇති දැඩි කළ පියෙකි. යෞවනයන් ලෙස පිලිප් සහ ඔහුගේ සහෝදරයන් ජාතික ව්‍යාපාර කෙරෙහි ආකර්ශනය විය. 1915 කැරලි කෝලහාලවලට බොරළුගොඩ රාළාහාමි ව්‍යාජ ලෙස සම්බන්ධ කර යුද නීතිය යටතේ මරණ දණ්ඩනය නියම කරන විට පිලිප්ගේ වයස අවුරුදු 14 කි. මෙම අසාධාරණය සම්බන්ධයෙන් පිලිප් පිරිමි ළමයාගේ දෑස්වලින් කඳුළු ගලා ආ අතර ඔහු බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ මාතෘභූමියෙන් නෙරපා හැරීමට අධිෂ්ඨාන කර ගෙන සිටියේ ය.

ඔහු තම මව සමඟ අශ්ව කරත්තයක නැගී ආරක්ෂක භටයන්ගේ හඬට සවන් නොදී කෙලින්ම ආණ්ඩුකාරවරයාගේ නිවස තුළට ගොස් තම පියා වෙනුවෙන් පෙත්සමක් භාර දුන්නේ ය. ආණ්ඩුකාරවරයා එම පෙත්සම සත්‍යයක් ලෙස පිළිගෙන බොරළුගොඩ රාළහාමි නිදහස් කළේය.

ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී පිලිප් සහ ඔහුගේ සහෝදර රොබට් ටී. බී. ආනන්දයේ ගුරුවරයකු වූ නිදහස් අරගලයට සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජය. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නිවසේදී පිලිප් අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර සහ ජෝන් ද සිල්වා සමඟ සම්බන්ධ වූ අතර ඔහු ඔවුන්ගේ දේශප්‍රේමයෙන් ආශ්වාදයක් ලැබීය.

උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළ තරුණ පිලිප් ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික හා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි ලබා ගත්තේය. එක්සත් ජනපදයේ සිටිය දී පිලිප් සමාජවාදයේ පුරෝගාමී මහාචාර්යවරයා වූ ස්කොට් සමඟ අධ්‍යාපනය ලැබීය. ඔහු ඉන්දීය සමාජවාදීන් වන ජයප්‍රකාශ් නාරායන් සෙයිඩ් හුසේන්, ජේ. බී. කුමාරප්පා සහ මෙක්සිකානු විප්ලවවාදී ජේසු වාස් ගොන්සාලෙස් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

1928 දී පිලිප් එංගලන්තයට පැමිණ ක්‍රිෂ්ණන් මෙනන් සමඟ ඉන්දියානු ලීගයේ ක්‍රියාකාරකම්වලට සහභාගි විය. ඔහු කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා, මලයාවේ ටුවාන් මලක්කා සහ මොරිෂස්හි රාම් ගූලාම් සමඟ අධිරාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සංවිධානය කළේය. පිලිප්ගේ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් බි්‍රතාන්‍ය රජය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පිලිප් 1932 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකාවට ගොඩ බැස නිදහස් සටනට පනපෙවීය.

1935 දෙසැම්බර් 18 වන දින ලංකා සම සමාජ පක්ෂය පිහිටු වු අතර එහි පළමු සභාපති කොල්වින් ආර් ද සිල්වා මහතා වුව එහි නායකයා පිලිප් බව සියලු දෙනා දැන සිටියහ. (ආචාර්ය එන්. එම්. පෙරේරා – “පිලිප් ගුණවර්ධන; ලංකාවේ සමාජවාදයේ පියා” – 1972, “ඩේලි නිවුස්” හි නැවත පල කිරීම 1999 ජනවාරි 13). 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී කථානායක ෆොරෙස්ටර් ඔබෙයිසේකරාව පරාජය කරමින් පිලිප් අවිස්සාවේල්ල ජයග්‍රහණය කළ අතර එන්. එම්. රුවන්වැල්ල ජයග්‍රහණය කරන ලදි. 1939 පිලිප් ගුණවර්ධන මහතා හා කුසුමා ගුණවර්ධන මහත්මිය අතර විවාහය සිදු විය.

දෙවන ලෝක යුද්ධ සමයේ දී අධිරාජ්‍යවාදීන් ලංකා සම සමාජ පක්ෂය තහනම් කර වමේ නායකයන් වන පිලිප්, එන්. එම්, කොල්වින් සහ එඩ්මන් සමරක්කොඩි සිරගත කළේ ය. 1942 අප්‍රේල් 05 වන දින ජපන් ජාතිකයන් කොළඹට බෝම්බ හෙලූ විට වමේ නායකයෝ සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඇස් වලට වැලි ගසා ඉන්දියාවට පලා ගියහ. ඉන්දියාවේ පිලිප් ගුරුසාමි යන අනුවර්ථ නාමයන් යටතේ ජීවත් වූ අතර පසුව ඔහුගේ බිරිඳ කුසුමා ඉන්දියාවට පලා ගොස් ඔහු සමඟ එහි එක්විය. ඔවුන්ගේ වැඩිමහල් පුතා ඉන්දියාවේ උපත ලැබූ අතර ඔවුන් ඔහුව ඉන්දිකා ලෙස නම් කළහ.

ටික කලකට පසු සම සමාජ නායකයන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අතර 1943 දී නැවත ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. 1945 දී යුද්ධය අවසන් වන විට වමේ නායකයන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලදී.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේ දී පිලිප් ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස අති බහුතරයකින් අවිස්සාවේල්ල ජයග්‍රහණය කළේ ය. කෙසේ වෙතත්, සවුත්වෙස්ටන් බස් වැඩ වර්ජනයට නායකත්වය දීම නිසා ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි විය. එම අවස්ථාවේ තරගයට ඉදිරිපත් වූ කුසුමා ගුණවර්ධන මැතිනිය නිතරගයෙන් පත් වූ ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස ලක් ඉතිහාසයට එක් විය.

1956 දී මහජන එක්සත් පෙරමුණ යටතේ යළිත් අවිස්සාවේල්ල අසුන ජය ගත් පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත් විය. එය ගොවි කම්කරු ජනතාවගේ නව යුගයක ආරම්භය ද විය. අඳ ගොවියා ශක්තිමත් කර අස්වැන්න වැඩි කිරීම සඳහා කුඹුරු පනත හඳුන්වා දුන් ඔහු, නිෂ්පාදන නිසි ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා බහුකාර්ය සමුපකාර යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය ජනතාව නඟාසිටුවීම සඳහා පසුකාලීනව මහජන බැංකුව ලෙස නම් කරන ලද සමුපකාර සංවර්ධන බැංකුව නිර්මාණය කරන ලදි.

බස් ප්‍රවාහනය සහ වරාය ජන සතු කිරීමේ බලය හිමි වූයේ පිලිප්ට ය. යටත් විජිත පාලනයේ අවසාන විලංගු ඉවත් කිරීම සඳහා කටුනායක බි්‍රතාන්‍ය ගුවන් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලයේ නාවික කඳවුර පවරා ගැනීමට ද ඔහු දායක විය. 1965 දී පිලිප් ඩඩ්ලි සේනානායකගේ ජාතික රජයට බැඳී කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු 1965 සිට 1970 දක්වා බොහෝ රාජ්‍ය සංස්ථා විධිමත් ආයතන බවට පත් කළේය. සෝවියට් සංගමයේ සහාය ඇතිව ඔහු ටයර් සහ වානේ සංස්ථා සංවර්ධනය කළේය. ඔහු රුමේනියානු ආධාරයෙන් ප්ලයිවුඩ් සංස්ථාව වැඩි දියුණු කළේය. යාන්ත්‍රික ධීවර කර්මාන්තයට පහසුකම් සැපයීම සඳහා ඔහු ජපන් හා චීන ආධාර ලබා ගත්තේය.

ලයනල් කාරියවසම්
හිටපු පළාත් සභා මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment