අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළොත් දේපළ රාජසන්තකයි – රට අරාජික කිරීමට ඉඩ දෙන්නේ නෑ – එජාප සභාපති වජිර

133

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා අවසන් අදියරට පැමිණ එහි සහාය පිළිබඳ තීරණාත්මක මොහොතක වැඩ වර්ජන සිදුකර එම කටයුතු අඩාල කර රට අරාජික කිරීමට රජය ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අබේවර්ධන මහතා මෙසේද කීය.

ජනතාවට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් තිබෙනවා. දරුවන්ට බොන්න කිරි පිටි තිබෙනවා. එදා තිබුණු ප්‍රශ්න බොහොමයක් මේ වනවිට අවසන් කර තිබෙනවා. එදා තිබුණු මේ විශාල ප්‍රශ්න මාස 7 ක් 8 ක් වැනි කෙටි කාලයක් තුළ විසඳාගැනීමට හැකි ිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසයි.

අද අපේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත හිස ඔසවමින් තිබෙනවා. සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණ තිබෙනවා. අද වනවිට ඩොලරයේ මිල පහත වැටී රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ හේතුව මත භාණ්ඩ හා සේවා මිල පහත වැටී උද්ධමනය විශාල ලෙස අඩුවෙලා තියනවා. මේ දේවල් දරාගත නොහැකි පිරිසක් අපේ රටේ සිටිනවා. ඔවුන් සැමවිටම උත්සහ කරන්නේ මේ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කර නැවත වරක් රට අරාජිත කිරීමටයි. රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරමින් සංචාරකයන්ට බාධා කරමින් රට ඉදිරියට යෑම වැළක්වීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ජනතාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයෙන් ක්‍රියාකළ යුතුයි. පටු දේශපාලන වාසි වෙනුවෙන් රට නැවත වරක් අනතුරේ දමන්න එපා.

ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ඉතාමත් ඉක්මනින් ලැබෙයි කියා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මත ප්‍රකාශ කිරීමට නිදහස තිබෙන නමුත් රට කඩාකප්පල් කරන ව්‍යාපාරවලට කිසිම අවස්ථාවක් ලබාදීමට හැකියාවක් නැති බව.

මේ පණිවුඩය ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත්. එතුමා වේගයෙන් රට ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයමින් සිටිනවා. මේ කටයුත්තේදී එතුමා විපක්‍ෂයේ සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළා.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment