ජයිස්වාල්ගේ ශතකය රාජස්ථාන් රෝයල්ස් දිනවයි

137

2024 අයි.පී.එල්. තරගාවලියේ 38 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පෙරේදා (23 වැනිදා ) රාත්‍රී පැවති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යසස්වි ජයිස්වාල් පන්දු 60කින් ලකුණු 104ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 9 ඇතුළත්විණි. ජොස් බට්ලර් ලකුණු 35ක් සහ නායක සංජු සැම්සන් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්හ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තිලක් වර්මා පන්දු 45කින් ලකුණු 65ක් සහ නෙහාල් වඩ්හේරා පන්දු 24කට ලකුණු 49ක් රැස් කළහ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සංදීප් ශර්මා ලකුණු 18කට කඩුලු 5ක් දවාගත් අතර ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි විය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙම තරගයත් සමග තරගාවලියේ තරග 8කට මුහුණ දී ඉන් තරග 7ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment