ෆොක්ස් හිල් වරද කාගේද?

436

යුද හමුදාවෙන් සත්පුද්ගල කමිටුවක්
මියගිය හා තුවාල ලැබූ අයට වන්ද

දියතලාව නරියාකන්ද ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 07 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කර ඇති අතර මියගිය අයට සහ තුවාලකරුවන්ට වන්දි ලබාදීමටද කටයුතු යොදා ඇත.

පසුගිය 21 වැනිදා සිදුවූ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ පිරිසෙන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇති අතර ඉතිරි 18 දෙනාගෙන් 8 දෙනෙක් දියතලාව මූලික රෝහලේද, 10 දෙනෙක් බදුල්ල මහ රෝහලේද ප්‍රතිකාර ලබති. බදුල්ල රෝහලේ සිටින දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ අවසන් කටයුතු මෙම තරගය සංවිධානය කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිත බව යුද හමුදාව පවසයි.

දැනට පවතින වීඩියෝපට සහ ඡායාරූප උපයෝගි කරගනිමින් මෙම විමර්ශන සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික ජයකොඩි මහතා පවසයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට හා තුවාල ලැබූවන්ට වන්දි ලබාදීම සඳහා තරග සංවිධායකයන් වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය කටයුතු කරමින් සිටින බවට එහි සභාපතිවරයා තමන් දැනුවත් කළ බව ජයකොඩි මහතා කීය. එම ආයතනය රක්ෂණ සමාගමක රක්ෂණය කර ඇති නිසා මෙම වන්දි ලබාදීම සිදුකරන බවත් එම ආයතනය විසින් වන්දි මුදල තීරණය කරනු ඇති බවත් ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment